Gossip

භාර ඔප්පු කරන්න කියලා සල්ලි කඩාගන්න වංචනිකයන්ට ඔබත් හසුවුණාද?

මීට දින කිහිපයකට පෙර මාතර බස්නැවතුමෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බසයකට නැඟුණු වයස අවුරුදු 40 ක් පමණ වන මනා ආරෝහ පරිණාහ සම්පත්තියකින් යුත් හොඳින් හැඳ පැළඳ ගත් මහත්මයෙකි.

බසයේ ඉදිරිපස දොරටුවෙන් බසයට පිවිසි ඔහු බසයේ සිටි සියල්ලන් අමතා ඉතා පැහැදිළි ලෙසින් සිය කතාව ඇරඹීය. ඒ මෙලෙසිනි.

“මේ බස් එක ගමනාරම්භ කරන්න තව විනාඩි දහයක් තියෙනවා. ඊට කලින් තමුන්නාන්සේලාගේ අවසරයෙන් මට පුංචි කාරණයක් කියන්න ඉඩ දෙන්න. මම තමුන්නාසේලා හැමෝම දන්න ‘ග්‍රීන් වුඩ්’ ජාත්‍යන්තර සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂකවරයෙක්. මම අද තමුන්නා‍න්සේලා හමුවට ආවේ විශේෂ කාරණයක් මුල්කරගෙන. මගේ නෝනා ‘ඩීකොම් ඉන්ටර්නැෂනල්’ සමාගමේ එකවුන්ටන්ට් කෙනෙක්; අපිට අවුරුදු දෙකක සුරංගනාවියක් වගේ ලස්සන දුවක් සිටිනවා. අපේ දුවට මීට අවුරුද්දකට කලින් දරුණු ලේ පිළිකා රෝගයක් වැළඳුණා. මුලදී ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ගත්තා. (ඔහු මෙහිදී ශ්‍රී ලංකාවේ මුල් පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක නම් කියාගෙන කියාගෙන ගියේය) නමුත් ඒ ප්‍රතිකාර වලින් ප්‍රයෝජනයක් නැති නිසා අපි දුවව එංගලන්තයටත් අරගෙන ගියා. එතනදී අපිට හරි පුදුම සිද්ධියකට මුහුණ දෙන්න වුණා.

අපි ආපහු එන ගමනේ දී ඉන්දියාවෙන් ආපු සන්නාසියෙක් ගැට්වික් ගුවන්තොටුපළේදී මුණගැහුනා. ඒ සංන්නාසියා අපිට කීවේ ඉන්දියාවේ පෙරුම්බුදුර් වල තියෙන කෝවිලට අරගෙන ගිහින් බාරයක් වෙන්න කියලා. එත‍කොට දරුවාගේ අසනීපය හොඳකරන්න පුළුවන්නම් අපිට ඒ වෙලාවෙම දැනගන්න ලැබෙයි කියලා. කොහොම හරි අපි ඊළඟ සතියේම දරුවව ඒ ඉන්දියාවේ කෝවිලටත් අරගෙන ගියා. එතනදී ඒ නායක පූජක තුමා අපිට කීවා පත්තිනි මෑණියන්ට බාරයක් වෙන්න පුළුවන්නම් දුවගේ අසනීපෙ එහෙම්පිටින්ම සුවකරන්න පුළුවන් කියලා. හැබැයි ඒ බාරය ඔප්පු කරන එක බරපතලයි කිව්වා.‍ මෙම පුද්ගලයා මෙසේ කියත්ම බසයේ සිටි සියළු දෙනාගේ අවධානය ඔහු වෙතට යොමුවනු පෙනිණ. ඉන්පසු ඔහු වැඩිදුරටත් කීවේ එහි නායක පූජකයා තමන්ට කී කතාවක් පිළිබඳවය.

ඒ පූජකතුමා කීවා දුවට මේවගේ අසනීපයක් හැදිලා තියෙන්නේ මාත් නෝනත් පෙර සංසාරයේ කරපු මහ බරපතල පාපකර්ම නිසා කියලා. ඒ පාපයෙන් අත්මිදෙන්න නම් මම හරි නෝන හරි අපේ රටේ මහ මඟ හිඟා කාලා ගන්න මුදල් වලින් පත්තිනි මෑණියන්ගෙ රන් පිළිමයක් හදලා ඒ කෝවිලට පූජා කරන්න කියලා. කොහොම හරි අපි ඒ බාරය වුණාට පස්සේ දුවගේ අසනීපය පුදුම විදිහට සුව වෙන්ඩ පටන් ගත්ත බව අපිට වැටහුණා. දැන් අපි කොහොම හරි මේ බාරය ඉෂ්ඨ කරන්න ඕනේ. නැත්නම් අපේ දරුවව අපිට නැති වෙනවා. (ඔහු මෙසේ කියා මඳක් නිහඬව සිටි‍යේ තම හැඟීම් ආවේග පාලනය කර ගැනීමට නොහැකි වගක් අගවමිනි) මගේ නෝනත් මේ වෙන කොට සල්ලි හොයන එක ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ බාරය ඔප්පු කරන්න අපි රුපියල් ලක්‍ෂ 12 ක් හොයාගෙන තියෙනවා ඉතුරු ලක්‍ෂ 08 හොයන්න තමයි අපේ රැකියාවල් පවා අතහැරලා මේ විදිහට ඔබ හමුවට ආවේ.”

කෙසේ හෝ ඔහුගේ මේ කතාව අවසානයේ විනාඩි 10 ක කාලයක් තුළ එම බස් රථයෙන් පමණක් රුපියල් දහසක වැනි මුදලක් ඔහුට උපයාගත හැකි බව මට වැටහිණ. එමෙන්ම ඔහුගේ එම කතාව යන අතරේම මම ජංගම දුරකතනයෙන් අන්තර් ජාලය ඔස්සේ ඉන්දියාවේ ශ්‍රී පෙරුම්බුදුර් කෝවිල පිළිබඳව විමසීමක් කළෙමි. එහිදී ඔහු කී එම කෝවිල සම්බන්ධ කිසිදු හාස්කමක් පිළිබඳව එහි සඳහන්ව නොතිබූ අතර 1991 දී හිටපු ඉන්දීය අගමැති ඝාතනය ලක්වූයේ එහිදී බව එහි සඳහන් විය. එමෙන්ම ඔහු අසනීපය ඇරඹුණු කාලය සහ එම බාරය ඔප්පු කිරීමට පටන් ගත් බව පැවසුණු කාලය අනුව වුව ඔහුට එතරම් මුදලක් උපයාගත හැකිවීම පිළිබඳවද මා තුළ සැකයක් ඇති විය. මා අවසා‍නයේ ඔහු සහ ඔහුගේ බිරිඳ සේවය කරන බව කී සමාගම් පිළිබඳවද අන්තර් ජාලයෙන් තොරතුරු විමසා බැලුවෙමි. එහෙත් එවැනි ආයතන පිළිබඳ තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ වත් සටහන්ව නොතිබුණි.

සිඟා කෑම හෙවත් යාචක වෘත්තිය ආත්ම ගෞරවය පිළිබඳ කිසිදු තැකීමක් නොකොට කළ යුතු රැකියාවකැයි බොහෝ දෙනා සිතති. එහෙත් මෙවැනි මුදල් යැදීම් වලින් පැවසෙනුයේ ආත්ම ගෞරවය රැක ගනිමින්ද සිඟා කෑමේ ක්‍රම දැන් අප රටේ පවතින බවය. එහෙත් මෙය හුදු සිඟා කෑමක් නොව වංචනික ලෙස මුදල් ලබා ගැනීමක් වන බැවින් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත්කිරීමට පොලිසියට බලය තිබේ.

එමෙන්ම ‍කිනම් හෝ මහජන ආධාරයක් එකතුකිරීමේ දී ඒ සම්බන්ධයෙන් අදාල ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ ලිඛිත අවසරයක් ලබාගත යුතුය. එහෙත් මෙවන්නවුන් වංචනිකයන් බැවින් එබඳු දේ සඳහා යොමු නොවන අතර ඉතා අවාසනාවන්ත ලෙස එවැනි නීතිමය තත්ත්වයන් පිළිබඳව අපරටේ බොහෝ දෙනෙක් නොදනිති.

මේ අතර කිසියම් රෝග සුවයක් මුල්කොට මුන්නේස්වරමේ ප්‍රධාන පූජක තුමාගේ නියමයෙන් ඒ සඳහා පූජාවක් කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ බස් රථ වලට නඟින තරුණයෙකුද මීට පෙර මගේ අවධානයට යොමුවී තිබේ. ඔහු කෙතරම් සට කපට ලෙස මෙය සිදුකරන්නේද යත් එම මුදල් තමන්ට ඇල්ලීමටවත් වරම් නොමැති බව කියමින් කුඩා බෑගයක් මගීන් වෙතට දිගු කොට ඊට මුදල් එකතුකරනු දක්නට ලැබේ. එමෙන්ම බසයේ පූජ්‍ය පක්ෂය සඳහා ඇති අසුනට ඉදිරියෙන් බුද්ධරූපයක් හෝ දේවරූපයක් ප්‍රදර්ශනය වුවහොත් බසයේ මගින් ඇමතීමට පෙර ඔහු ඊට ද වඳිනුයේ තමන්ගේ ව්‍යාජ දැහැමි බව ප්‍රදර්ශනය කරනු පිණිසය.

ඔවුන් නිසා සමාජයට සිදුවන ප්‍රධානතම හානි දෙකකි. ඉන් පළමුවැන්න අහිංසක ජනතාව ඔවුන්ගේ සටකපටකම් වලට හසුවීමය. දෙවැන්න විවිධ රෝගාබාධ සුව කිරීම සම්බන්ධයෙන් විද්‍යාව අතික්‍රමණය කළ විවිධ ගුප්ත ප්‍රතිකාර ක්‍රම ඇතැයි යන මිත්‍යා විශ්වාසය වසංගත මෙන් රටපුරා පැතිරයාමය. ඒ අනුව නම්බුකාර සිඟාකෑමේ මුවාවෙන් මෙලෙස සමාජයේ සැරිසරන කූට වංචනිකයන්හට නොරැවටීමට ජනතාව වගබලා ගත යුතු අතර මෙම වංචනික ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අදාල අංශද වහා ක්‍රියාත්මක විය යුතුය.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!