Gossip

භාතිය සන්තුෂ්ලාගෙන් ඈත්වෙන්න බැහැ – අපි අතරේ කිසිම තරහක් නෑ – උමාරා සිංහවංශ

“වස්සානයට අත වනනා” ගීතය ගැන කියද්දිම මතක්වෙන කෙනෙක් තමයි උමාරා සිංහවංශ කියන්නේ. විදෙස් ගත වුණු නිසා උමාරා කාලයක් දකින්න ලැබුණේ නැහැ. කොහොමවුනත් ඇය ආයෙමත් ලංකාවට පැමිණ සංගීත වැඩකටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් වුණු ලිපියක්.

උමාරා හදිසියේ මියුසික්‌ ස්‌ටුඩියෝ එකක් පටන්ගන්න හිතුවේ ඇයි ?
ඒක මගේ පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක්‌. මොකද මම වෘත්තීය මට්‌ටමෙන් සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධවුණේ අවුරුදු දහයේදී. මට සංගීත ක්‍ෂේත්‍රයේ තියෙන සියලු දැනුම අනාගතයේ මේ ක්‍ෂේත්‍රයට එන්න කැමැති අයට උගන්වන එක හොඳයි කියලා හිතුණා.

මේ වැඩේ කරන්නේ කවුරු වෙනුවෙන්ද?
ඉදිරි අනාගතයේදී ක්‍ෂේත්‍රයට එන්න කැමැති අයට මගපෙන්වීමක්‌ විදිහට තමයි කරන්නේ. මොකද කට්‌ටියට හරි දේ මොකක්‌ද වැරදි දේ මොකක්‌ද කියලා පෙන්වා දෙන්න ඕනෑ.

උමාරා මේ වැඩේ කරන්නේ තනියමද?
ගොඩක්‌ වෙලාවට තනියම තමයි කරන්නේ. පවුලේ අයගෙනුත් මට ලොකු සහයෝගයක්‌ ලැබෙනවා.

මෙහි තියෙන විශේෂත්වය?
මාත් එක්‌ක වැඩකරපු කලාකරුවන් ගොඩක්‌ දෙනෙක්‌ මේ වැඩේට එකතු කරගන්නවා. මොකද මේක කරන්න හදන්නේ මගෙන් ඉගෙනගන්න සිසු සිසුවියන්ට සංගීතමය පැත්තෙන් ලොකු දැනුමක්‌ ලබාදෙන්න.

උමාරාගේ මේ වැඩේට නංගි උමාරියා නැතිද?
අනිවාර්යයෙන්ම එයත් ඉන්නවා. නංගි මගේ සංගීත පාසලේ වැඩමුළුවකට පවා සහභාගි වුණා. වෙනස්‌ විදිහේ පාසලක්‌ තමයි මම ආරම්භ කළේ.

නංගියි ඔයයි එකතුවෙලා මේ වැඩේ කළානම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
ඇත්තම කියනවා නම් නංගි මට වඩා ගොඩක්‌ කාර්යබහුලයි. මම අවුරුදු හයක්‌ ලංකාවේ හිටියේ නැහැ.

ඒ කාලය තුළදී උමාරාට තිබුණ තැන උමාරියා උදුරාගත්තා කියලා හිතෙන්නේ නැතිද?
නැහැ. නංගි කියන්නේ උමාරියා. මම කියන්නේ උමාරා. අපි දෙන්නා අතරේ ලොකු වෙනසක්‌ තියෙනවා. මම රට ගියේ වස්‌සානයේ ගීතය නිකුත් කළාට පස්‌සේ.

ඇයි හදිසියේ රට ගියේ ?
මට ඕනෑවුණා පවුල් ජීවිතය කියන්නේ මොකක්‌ද කියන එක ගැන හොඳ අවබෝධයක්‌ ලබාගන්න. මම පුංචි කාලේ සංගීත වෙනුවෙන් හරියට විදෙස්‌ ගතවුණා. ඉතිං මට බැන්දට පස්‌සේ ඕනෑවුණා විවාහ ජීවිතය සුන්දරව ගතකරන්න. ඒකයි රට ගියේ. ඒ කාලේදී මම ජෑස්‌ සංගීතය හැදෑරුවා. කොහොමත් මම රට ගිය කාලේ නංගි වැඩකරලා ඉදිරියට ආවා.

උමාරා දැන් B&S ලාගෙන් ඉවත්වෙලාද?
අපොයි නැහැ. අපි ප්‍රසංගවලදී මුණගැසිලා එකට වැඩකරන වෙලාවල් තියෙනවා.

උමාරා මියුසික්‌ ස්‌ටුඩියෝ එකට B&S ලාගෙන් සහයෝගයක්‌ ලැබෙන්නේ නැතිද?
මගේ ඉස්‌කෝලේ පළමු වැඩමුළුවට ඔවුන් දෙන්නා ඇවිත් ලොකු සහයෝගයක්‌ ලබාදුන්නා.

උමාරා මියුසික්‌ ස්‌ටුඩියෝ නමින් මෙය එළිදැක්‌වූයේ ඔබේම කියලා අනන්‍යතාවක්‌ ගොඩනගාගන්නද?
ඔව්. අනිවාර්යයෙන්ම. උමාරා මියුසික්‌ ස්‌ටුඩියෝ එක එළිදැක්‌වූයේ මගේ පාසලේ දරුවන්ගේ කටහඬවල් ජනතාවට පෙන්වන්න හිතාගෙන. ඒ හරහා අනාගතයේදී මට සහ මගේ ගායක කණ්‌ඩායමට ගොඩක්‌ වැඩසටහන් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.

ඒ කියන්නේ ඉදිරියේදී උමාරාගේම පිරිසක්‌ හදාගන්න තමයි හදන්නේ ?
ඔව්. මගේ පිරිසක්‌ හදාගන්න. ඒ පිරිසත් එක්‌කම යන්න තමයි සූදානම.

භාතිය සන්තුෂ්ලාගෙන් එතකොට ඉවත්වෙනවාද?
ඈත්වෙන්න බැහැ. ලංකාව පොඩි රටක්‌නේ.

උමාරා ප්‍රසංගවලට සහභාගිවීම නවත්වනවාද?
මම ලංකාවට ආවාට පස්‌සේ ප්‍රසංගවලට සහභාගි වුණා. දැනටත් ඒකේ වෙනසක්‌ නැහැ. ඉදිරියටත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අපි ප්‍රසංගවලට සහභාගි වෙන්නේ භාතිය සන්තුෂ් ටීම් එකත් එක්‌කම නෙමෙයි.

ඇයි ඒ ?
අපි සියලු දෙනා දැන් තනියම ප්‍රසංගවලට යනවා. අපි සියලු දෙනා එකතුවෙලාත් ප්‍රසංග කරනවා.

B&S ලාත් එක්‌ක හිටපු අය සී සී කඩ වීසිවෙලාද?
එහෙම දෙයක්‌ නැහැ. කලාකරුවෝ විදිහට අපි තනි තනිව මිනිස්‌සුන්ට පේන්න ඉන්නවා. මිනිස්‌සු අපිව වර්ග කරනවා B&S ලාත් එක්‌කම ඉන්න ඕනෑ කියලා. එහෙම දෙයක්‌ නැහැ. අපි වෙන වෙනම ප්‍රසංගවලට යනවා. හැබැයි අපි අතරේ කිසිම තරහක්‌ නැහැ. අපි එකමුතුයි. අපි හැමෝටම දැන් පවුලක්‌ ඉන්නවා. ඉස්‌සර හිටියා වගේම ප්‍රසංග කරන්න අමාරුයි.

පසුගිය දවස්‌වල රියෑලිටි වේදිකාවේදී උමාරියා ගැන වැඩිපුර කතාබහට ලක්‌වුණා. මොකද ඒ ගැන හිතන්නේ ?
ගොඩක්‌ ආඩම්බරයි. අද නංගි දිහා බලද්දී ලොකු ආඩම්බරයක්‌ දැනෙනවා.

ඔබට තිබුණ අවස්‌ථාව ගිලිහුණා කියලා හිතෙන්නේ නැතිද?
මට හිටපු ප්‍රෙක්‍ෂකයන් වැඩිවෙලා මිසක්‌ අඩුවෙලා නැහැ. මම ලංකාවෙන් ගියා වගේම තමයි ආපහු ලංකාවට ආවහමත්. ඒ ගැන ගොඩක්‌ ආඩම්බරයි. වස්‌සානේ ගීතයෙන් මම ගමටත් ගියා. නැතිනම් උමාරාව අඳුරාගත්තේ කස්‌තුරි සුවඳ ගීතයෙන් හෝ භාතිය සන්තුෂ් සමග සින්දු කියන තරුණිය කියලානේ.

ආපහු ඒ වගේ ගීතයක්‌ කරන්න අදහසක්‌ නැතිද?.
ඒක තමයි මට තියෙන බැරෑරුම් වැඩේ. වස්‌සානේ ගීතයෙන් පසුව ගොඩක්‌ දෙනෙක්‌ බලාපොරොත්තුවෙන්නේ ඒ වගේ ගීතයක්‌. ඉතිං මට ඔවුන්ව අහකදාන්න බැහැ. ඒක හින්දා කාලයක්‌ අරගෙන ගීතයක්‌ කරනවා.

කොහොමද පවුල් ජීවිතය ?
ගොඩක්‌ හොඳයි. කාර්යබහුල වුණාට මගේ පුතාට දැන් අවුරුදු හතරයි. සැමියා සංගීතයට ලැදි නොවුණාට මට ලොකු සහයෝගයක්‌ ලැබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!