Gossip

බස් එකේ යනවට යනවද ?.. තමන්ට තියෙන අයිතීන් ගැන හරියට දැනගනද යන්නේ..?

 

ලංකාවේ අපිට පොදු ප්‍රවාහනය කිව්වහම මුලින්ම මතක් වෙන්නේ බස් එක. ඉන් පස්සේ තමයි කෝච්චිය මතක් වෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම මුලින්ම මතක් වුනාට බස් ගැන අපිට තියෙන්නේ ඒ තරමටම මිහිරි මතකයන් කියන්න අමාරුයි. මොකද බස් වල අපිට ඕන තරම් කොන්දොස්තරලගේ රැවුම් ගෙරවුම්, අනික් බස් මගීන්ගේ කරදර, අතවර වගේ දේවල් පුරුදු නිසා. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ගොඩක් බස් මගීන් දන්නෙ නෑ බස් මගියෙක් විදියට තමන්ට හිමිවෙන අයිතිවාසිකම් ගැන. ආන්න ඒ නිසා ඒ අය ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වුනත් කට පියාගෙන යන පුරුද්දක් තියෙනවා, බස් එක තමන්ගේ නෙවෙයිනේ කියලා හිතලා. ආන්න ඒක වැරදියි. මුලින්ම බස් මගියා තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න ඕන. ඉන් පස්සේ ආන්න ඒ අයිතිවාසිකම් කඩ වෙන මොහොතකදී හරි විදියට ක්‍රියාත්මක වෙන්නත් දැනගන්න ඕන. අපි මේ ලියන්නේ ආන්න ඒ අයිතිවාසිකම් ගැන තමයි!

බස් එකක යන්න නං ටිකට් තියෙන්න ඕනනේ. හැබැයි සමහරු ටිකට් නොගෙන බස් එකේ යන්නේ ඉබ්බට. ඒක වැරදියි. ඒ වගේම සමහර කොන්දොස්තරලා ඉන්නවා බස් එකේ සල්ලි ගත්තට ටිකට් නොදෙන. ආන්න ඒකත් වැරදියි. ඒත් බස් මගීන් මේ ගැන ප්‍රශ්න කරන්නේ නැති තරම්. කොන්දොස්තර ටිකට් නොදුන්නත් ඔහේ පාඩුවේ ඉන්නවා. දැන් ඔය දුර බස් වල එහෙම කොන්දොස්තරලා මගින් මගියෙක්ව නග්ග ගත්තට පස්සේ සමහර වෙලාවට ටිකට් එකක් කඩන්නෙ නෑ. බස් මගියත් ගණන් ගන්නෙ නෑ. මොකද මගියා හිතන්නේ තමන්ව මගින් නග්ග ගත්තු එකම තමන්ට කරපු උදවුවක් කියලා. හැබැයි ටික්කෝ පැන්නොත් කෙළවෙන්නේ අර බස් මගියට මිසක් කොන්දොස්තරට නෙවෙයි. ආන්න ඒ නිසා කරුණාකරලා බස් එකකට නැගලා සල්ලි දෙනවා නං, තමන් යන ගමනාන්තයට, තමන් දුන් මුදලට සරිලන ටිකට් පතක් ලබාගන්න. කොන්දොස්තර ඒක නොදෙනවා නම් මතක් කරන්න. ඒක තමන්ගේ අයිතියක්!

මෙන්න මේක පොඩ්ඩක් උභතෝකෝටික දෙයක්. බස් එකක කොච්චර මගීන් සංඛ්‍යාවක් පටෝගෙන යන්න පුළුවන්ද? ඒක හරියටම කියන්න බෑ. මොකද ලංගම බස් එකක් වුනත්, ප්‍රයිවට් බස් එකක් වුනත් දවසේ අන්තිම බස් එක වුනොත් බස් එකේ යන්න ඉන්න එවුන්ව තියලා යන්නද? බැහැනේ. ආන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවක තදබද වෙලා යන්න වුනත් මොකුත් කියන්න අමාරුයි. හැබැයි දැන් බස් වල ඉස්සර වගේ හතර වටෙන් මිනිස්සු එල්ලගෙන, ෆුට් බෝඩ් එකෙත් මිනිස්සු එල්ලගෙන යන්න බෑ. පොලිසියෙන් දැක්කොත් බස් එකට දඩ. එතකොට ඔය ඒසී බස් එකක මිනිස්සුන්ව ගන්න පුළුවන් සීට් ගාණට විතරයි. හිටගෙන යැවිලි බෑ. පොලිසියෙන් දැක්කොත් ඒත් දඩ. ඒ නිසා බස් එකේ ප්‍රමාණයට වඩා මිනිස්සු පටවගෙන, ඇතුළේ ඉන්න මිනිස්සුන්ටත් යන්න අමාරු තරම් වදයක් විඳින්න වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒක තමන්ගේ අයිතියක්!

දැන් කාලේ ඔය දුර බස් වල එහෙම තියෙන බොහෝ විට අනිවාර්‍ය අංගයක් තමයි උඩින් එල්ලලා තියෙන ටීවී එක. ඒ එක්කම බස් එකේ පිටිපස්සට යනකල් තැන් තැන් වල සෙට් කරලා තියෙන බෆල් සෙට් එකකුත් තියෙනවා. ආයෙ කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි චූන් එකක් ගියපු වෙලාවට බස් එක එළිමහන් සන්දර්ශනේක බෆල් කණු යට හිට්ටෙව්වා වගේ. බස් එකම ඩිස්ටි ඩිඩින්! හැබැයි මතක තියාගන්න. සාමාන්‍යයෙන් කණට අවහිරයක් නොවෙන ප්‍රමාණයට වඩා සද්දෙන් ඩිස්ටි ඩිඩින් සිංදු නෙවෙයි, පිරිත් දාගෙන ගියත් ඒක වැරැද්දක්. ආන්න ඒකට විරුද්ධ වෙන්න පුළුවන් බස් එකේ යන මිනිස්සුන්ට. ඒක තමන්ගේ අයිතියක්!

රියදුරු මහත්තයා තමයි බස් එකක ඉන්න මගීන්ට තියෙන්න ඕන මූලික ආරක්ෂාව. ඇයි ඉතින්, ජීවිත කීයක් මනුස්සයාගේ අතේද. ආන්න ඒ නිසා තමයි බස් එකක් එළවන රියදුරු මහත්තයා හරි සෞඛ්‍ය තත්ත්වයෙන්, මනා සිහියකින්, මනා අවධානයකින් සිටිය යුතු වෙන්නේ. මෙහෙමයි. රියදුරු මහත්තයාත් කරන්නේ රස්සාවක්. සමහර වෙලාවට ඊයේ රෑ මළගෙදරක් වුණු නිසා නිදිමරලත් අද බස් එක එළවන්න වැඩට එන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේක ලිපිකරු රස්සාවක් වගේ නෙවෙයි. පොඩ්ඩක් එහා මෙහා වුනොත් තමන්ගේ ජීවිතේ වගේම තව ජීවිත ගණනාවක් ඉවරයි. ආන්න ඒ නිසා බස් එකේ රියදුරු මහත්තයා පොඩි ෂොට් එකක් එහෙම දාගෙන එහාට මෙහාට මඳ පවනේ වැනෙන තත්ත්වයක ඉන්නවා නං, මහන්සියකින් හරි නිදිමතකින් හරි පෙළෙනවා කියලා දැනෙනවා නම්, කායික අපහසුතාවයකින් හරි දුබලතාවයකින් හරි පෙළෙනවා කියලා දැනෙනවා නම් බස් එක එළවන්න වෙන රියදුරු මහත්තයෙක් දාන්න කියලා ඉල්ලන්න මහජනතාවට පූර්ණ හැකියාව තියෙනවා. ඒක තමන්ගේ අයිතියක්!

සමහර බස් රියදුරු මහත්තුරු ඉන්නවා, ඉස්සර කරපු රස්සාව ෆයිටර් ජෙට් එලෝපු එක වෙන්න ඕන. ආයෙ සීටීබී බස් එකක් හරි තමන්ගේ ප්‍රතිවාදී බස් එකක් හරි දැක්කහම කෙලින්ම ගියර් පොල්ල ගලෝලා අතට අරගෙන තමයි පාගන්නේ. ආයෙ ඇක්සලේටරේ උඩට එන්නෙත් නෑ. බස් එකේ රෝද පාරේ ගෑවෙන්නෙත් නෑ. ඒකටම හරියන කොන්දොස්තර කොළුවා. “අයියේ අන්න සුපුනි එක ඉස්සරහා, ඇරලා යං, කඩාගෙන යං” කියලා රියදුරු මහත්තයාව ලොකුම එකෙන් උනන්දු කරවනවා. ඉතින් මගීන් ටික දෙයියෝ බුදුන් සිහි කරගෙන, ක්‍රෑෂ් පොසිෂන් එකට ඇවිත් බයේ ගැහි ගැහී ඉන්නවා මේ රේස් යෑම දැකලා. හැබැයි මතක තියාගන්න. අනතුරු දායක විදියට රියදුරු මහත්තයා බස් එක එළවනවා නම්, ඒකට අනිවාර්‍යයෙන්ම විරුද්ධ විය යුතුයි. පොඩ්ඩක් එහේ මෙහේ ගැස්සුනොත් අවසාන වෙන්නේ රියදුරු මහත්තයාගේ ජීවිතේ විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිතෙත් ඉවරයි. එහෙම විරුද්ධ වෙන එක තමන්ගේ අයිතියක්!

බස් එකක යනකොට විශේෂයෙන්ම කාන්තාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන අප්‍රසන්නම අත්දැකීමක් තමයි ඔය ලිංගික හිරිහැර. ඒ කියන්නේ බස් වල ඉන්න අසහනකාරයෝ ෂේප් එකේ ජැක් ගහන්න ට්‍රයි කරනවා, එහෙන් මෙහෙන් අතගාන්න ට්‍රයි කරනවා, බස් එක බ්‍රේක් ගහනකොට ඇඟට එනවා. ඔන්න ඔය වගේ දහසකුත් එකක් දේවල්. ගොඩක් වෙලාවට කාන්තාවෝ උත්සාහ කරනවා කට පියාගෙන ඔය අතවර විඳගෙන කොහොමහරි ගමනාන්තයට යන්න. සමහරු නම් ආයෙ කෙලින්ම කුඩේ අරගෙන නණ ටික මූණේ හිටින්න දෙනවා. ඔය විශාල වශයෙන් සිද්ධ වෙන පොදු ප්‍රවාහනයේ ලිංගික අතවර හා හිරිහැර ඇරෙන්න, වෙනස් විදියේ හිරිහැර කරදරත් සමහර වෙලාවට විඳින්න වෙනවා. ආන්න ඒ වගේ වෙලාවකට කට පියාගෙන ඉඳලා හරියන්නෙ නෑ. වහාම බස් එකේ ඉන්න අදාළ බලයලත් නිලධාරියා වෙන කොන්දොස්තර මහත්තයාට මේ ගැන කියන්න ඕන. එතකොට එයා ගන්නවා පියවරක්. හැබැයි එහෙම සාධාරණයක් සිද්ධ වෙන්නේ නැතිනම් කෙලින්ම පොලිසියට කථා කරලා කියන්නත් අදාළ සිදුවීමට මුහුණ දෙන කෙනාට පුළුවන්. ඒකට එයාට පූර්ණ අයිතියක් තියෙනවා!

සමහර වෙලාවට ඔය කොන්දොස්තර සහ මගියෝ අතර කෂිලි බිෂිලි ඇදෙනවනේ. ගොඩක් වෙලාවට ඔව්වා වාග් ප්‍රහාර හුවමාරු විතරයි. හැබැයි කලාතුරකින් ඕවා සැන්ටි නැතුවම ගහමරා ගන්න යුද්ධ වෙලා තමයි නවතින්නේ. මේ වගේ අවස්ථාවක කොන්දොස්තර මහත්තයා අතේ වැරැද්ද තියෙන්න පුළුවන් වගේම මගියා අතේත් වැරැද්ද තියෙන්න පුළුවන්. ඔය සමහර මගියෝ ඉන්නවා නාහෙට නාහන. උන්ට ඕන විදියට මොකක් හරි වෙන්නේ නැත්තං ඔන්න ගේමක් ඇදෙනවා. ඒ වගේම තමයි කොන්දොස්තරලා ඉන්නවා මෙලෝ අණක් ගුණක් නැති. උන් මිනිස්සුන්ට කතා කරන්නෙම පොල් කුඩු ගාණට දාලා. හරියට මිනිස්සු බස් එකේ පිනට යනවා වගේ. ඉතින් ඔය කොහොම වෙතත් බස් මගීන්ටවත්, කොන්දොස්තර මහත්තයාටවත්, ඩ්‍රැයිවර් මහත්තයාටවත් බැහැ එක්කෙක්කෙනාව තලා පෙලන්න, වලි දාගන්න, හිරිහැර කරන්න. එහෙම තත්ත්වයක් යටතේ කෙලින්ම පොලිසියට කතා කරන්නත් පුළුවන්, කෙලින්ම බස් එක පොලිසියට අල්ලන්නත් පුළුවන්. බස් එකේදී තමන්ට එහෙම වාචිකව හරි ශාරීරිකව හරි හිරිහැරයක් වෙනවා නං ඒකට විරුද්ධ විය යුතුයි. ඒක තමන්ගේ අයිතියක්!

දැන් ඔය වගේ ප්‍රශ්නයක් වෙලාවට කතා කරන්නේ කාටද? එක්කෝ ටිකට් එක පිටිපස්සේ තියෙන බස් හිමිකරුගේ අංකයට කතා කරන්න පුළුවන්. නැත්නම් ඔය උඩ කියලා තියෙන සීරියස් ප්‍රශ්නෙකදී කෙලින්ම 119 ගහලා පොලිසියට කතා කරන්න පුළුවන්. එහෙම පොලිසි යන්න තරම් සීරියස් නැති, ඒත් සීරියස් ප්‍රශ්නයක් නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අංකෙට කතා කරන්න පුළුවන්. ඒක බස් එකේත් ගහලා තියෙනවා!

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!