Gossip

පොළගෙකු දමා බිරිඳ මරන්න හදපු සැමියා ඇතුළු පිරිසට ඇපත් නැතිවෙයි

තිත් පොළඟකුව ඇඟට දමා දෂ්ට කිරීමට සලස්වා බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ සැමියා, අහිකුණ්ඨික තරුණයා සහ එම සිද්ධියට ආධාර අනුබල දෙමින් කුමන්ත‍්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ සිටින සැකකරුවන් දෙදෙනාට සහ සැකකාරියට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඞී. ඒ. රුවන් පතිරණ මහතා සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙසට 10 වැනිදා නියම කළේය.
ගම්පහ ඉඳිගොල්ල, සිරිමල් උයනේ පදිංචි ඩබ්. ඒ. නිහාල් මැඩොන්සා (අවු. 54) නමැති එක්දරු පියා සහ තඹුත්තේගම පදිංචි මහතුන්ගේ ජයරත්න නමැති අහිකුණ්ඨික තරුණයා සහ සැකකාර සැමියාගේ අනියම් බිරිය යැයි කියන 45 හැවිරිදි සංජීවනී ධම්මිකා අබේවර්ධන නමැති එක්දරු මව මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණි.
එම නඩුව කැඳවූ අවස්ථාවේ පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වූ ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. අසංක රංගන මහතා සමඟ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන සුජීව සහ සේනාරත්න යන නිලධාරීහු මෙසේ පැවසූහ. පළමුවන සැකකරු වන අහිකුණ්ඨික සැකකරුගේ පදිංචිය සම්බන්ධයෙන් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
ස්ථිර ලිපිනයක් නැති තැන් තැන්වල යමින් නයි නටවන අයෙක්. ඇප ලබා දුනහොත් සැකකරු නැවත සොයා ගත නොහැකිය.
දෙවැනි සැකකාරිය වන ධම්මිකා නමැත්තියගේ පෙරත්ත මත මෙම ඝාතනය සිදු කිරීමට සැකකාර සැමියා කටයුතු කර ඇති බවට මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව කියමින් එම සැකකාරිය විසින් සැකකරුට යවන ලද කෙටි පණිවිඩ වාර්තාවක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
තුන්වැනි සැකකරු වන සැකකාර සැමියා ඉකුත් අප‍්‍රියෙල් මස 05 වැනිදා පැමිණිලිකාරියට නයෙක් කෑමට සැලැස්වීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙමින් පවතින බවත්, තුන්වැනි සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වන හෙයින් සැකකරුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට අවසර ලබා දෙන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
වසන්තා ගුණසේකර, සංජය ගුණසේකර, ගිහාන් බස්නායක, තුසිත සෙනරත් සහ තිස්ස ගුණවර්ධන යන නීතිඥ මහත්ම මහත්මීන් 1, 2, 3 යන සැකකරුවන් වෙනුවෙන් පිළිවෙළින් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිරෝෂණ පෙරේරා මහතා පෙනී සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!