Gossip

“පොලිසිය ඇතුලෙත් හොරු, සල්ලාලයෝ, අපරාධ කාරයෝ ඉන්නවා..”

දූෂිත රාජ්‍ය ආයතන අතරින් හැමදාමත් මුලින් කියැවෙන තමක් වන්නේ පොලිසියයි.
මේ දිනවල ඒ චෝදනාව වැඩියෙන් පෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ බව කියන හෙරොයින් ජාවාරමක් ගැන හෙළිවීමත් සමගය. මේ චෝදනා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න උත්තර දුන්නේ මෙසේය.
මාධ්‍යයට ප්‍රකාශයක් කරලා පහු වැනිදාට ඔබට කියන්න පුළුවන්ද නෑ මම ඊයේ කිව්ව එක වැරදියි ඒක මෙහෙම නිවැරදි වෙන්න ඕන කියලා. ඒ වගේම හෙටත් ඒ කතාවම කියනවා, අනිද්දාත් කියනවා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් වර්තා කරන්නේ ඔබ දෙන තොරතුරු ගැන විශ්වාස කරලා.
එතැනින් එහාට මාධ්‍ය කොහොමද ඔබ ගැන විශ්වාසයක් තියන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ හිටපු, නමුත් අද අපරාධ කරයෙක් වෙලා ඉන්න පොලිස් නිලධාරියා කළ ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම යැයි කියන කතාව චිත්‍රපට කතාවක් වගේ පියවරින් පියවර පුවත් පත් වාර්තා කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් දුන් තොරතුරු පදනම් කරගෙන. අද ඒ කතා ඔක්කොම සුරංගනා කතා වෙලා. මෙහෙම ජනතාව ඉදිරියේ විහිළු චරිතයක් වෙන්න ඔබට පුළුවන්ද? එහෙම වියයුතුද?
නෑ. එහෙම නොවිය යුතුයි පැහැදිලිවම. නමුත් යම් යම් සීමිත අවස්ථාවන්වලදී මුල් අවස්ථාවේදී නිවැරදි යැයි නිගමනවලට එළබෙන තොරතුරු පසු කාලයේදී ඊට අනුශාංගිකව එකතු වන තොරතුරුත් එකක් ගළපද්දී වැරදි වෙන්න පුළුවන්.

එහෙම වෙන්නේ පොලිසියේ තොරතුරු ගැනීමේ දුර්වලතාවක් නිසා කියන කාරනය ඔබ පිළිගන්නේ නැද්ද?‍
නෑ. තොරතුරු ගැනීමේ දුර්වලතාවක් නෙවෙයි. ඒ වන විට අනාවරණය වෙලා තියෙන තොරතුරු තමයි අපි ඉදිරිපත් කරන්නේ. උදාහරණයක් වශයෙන් යම් කිසි අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ඉන්නවා කියලා අපිට එක අවස්ථාවක කියන්න පුළුවන්. නමුත් ඊට මාසෙකට පස්සේ කියන්න පුළුවන් සැකකරුවන් පස් දෙනෙක් ඉන්නවා කියලා. මොකද ඒ මාසෙක කාලය තුළ තව තුන්දෙනෙක් අනාවරණය කරගන්න පුළුවන්. නමුත් සැකකරුවන් දෙන්නෙක් ඉන්නවා කියලා තව මාසෙකින් කියනවා නම් නෑ එක්කෙනයි ඉන්නේ කියලා මම හිතන්නේ එතැන දෝෂයක් තියෙනවා.
ඒ වගේම දැන් තියෙන තොරතුරු කියලා ඊට පස්සේ කාලෙක ඒ සම්බන්ධයෙන් වැඩිමනත් දෙයක් ඉදිරිපත් කරනකොට එතැන පරස්පරයක් තිබුණත් මම හිතනවා ඒ දේ විය යුතුයි.

මේ වනවිට ඔබේ සේවා කාලය කොයි තරම්ද?
මේ අගෝස්තු වෙනකොට 30 වැනි අවුරුද්දත් සම්පූර්ණ වෙනවා.

අවුරුදු 30ක් පොලිසියේ ඉන්නවා. මම පොලිස් නිලධාරියෙක් කියලා ඔබට සමාජය ඉස්සරහා අභිමානයෙන් හිටගන්න පුළුවන්ද?
පැහැදිලිවම. ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඉතාමත්ම අභිමානවත් ගෞරවාන්විත සේවයක් කරන්න පුළුවන් තැනක්.

පහුගිය සතියේ දිනක ආරක්ෂක ලේකම්තුමා කියනවා පොලිස් නිල ඇඳුමේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න කියලා. එතුමා එහෙම කියන්නේ ඔබ කියන විදිහට පොලිසිය අභිමානවත් වෘත්තියක් විදිහට සමාජගතවෙලා තියෙන නිසාද?
මේක පැති කීපයකින් අපි බලන්න ඕන. සමස්ථයක් විදිහට ගත්තාම ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් හා ගෞරවාන්විත සේවයක් කරන බව මහජනතාව පිළි අරගෙන තියෙනවා.
යම් යම් අවස්ථාවලදී දූෂිත නිලධාරීන්, අලසව කටයුතු කරන නිලධාරීන් ගැන අනාවරණය වෙලා තියෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම ඒ දූෂිත නිලධාරීන්ට එරෙහිව කටයුතු කරලා තියෙන්නේත් අර කීර්තිමත් ශ්‍රී ලංකා පොලිසියම තමයි. අපි දන්නවා ඉතා ඉහළ තනතුරු දරපු පොලිස් නිලධාරීන්ගේ පවා වැඩ තහනම් කරලා තියෙනවා.
ඇතැම් නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. සමහර නිලධාරීන් අධිකරණයෙන් වැරදි කාරයින් වෙලා දැනට සිරදඬුවම් විඳිමින් ඉන්නවා.
මේ හැම දෙයක්ම කළේ ශ්‍රී ලංකා පොලිසිය තුළින්මයි. නැතුව ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන්වත් එෆ්.බී.අයි. එකෙන්වත් ඇවිත් නෙවෙයි. එහෙමනම් පොලිසිය දිහා අපි බලන්න ඕන අර දූෂිත නිලධාරීන් ඉන්න තැනක් විදිහට නෙවෙයි. ඒ දූෂිත නිලධාරීනුත් නීතිය ඉදිරියට ගෙන එන අවංක නිලධාරීන් ඉන්න තැනක් විදිහට.

දැන් අර නාකොටික් එකේ ඉඳලා පොලිසියත් රටත් ගොනාට අන්දපු ඒ නිලධාරියා කොහේද ඉන්නේ මාධ්‍ය ප්‍රකාශක තුමා? එයා නීතිය ඉදිරියට ගේන්න කොච්චර කල් යයිද?
අපි විශ්වාස කරනවා ඔහු තාමත් ලංකාව ඇතුළේ ඉන්නවා කියලා. ඔහුට එරෙහිව අපි විදේශ ගමන් තහනමකුත් අරගෙන තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නෑ ඔහු රටෙන් පිටවෙලා කියලා.

ඔබේ විශ්වාසය ගැන කොහොමද අපි විශ්වාස කරන්නේ, අපිට මතකයි අර නිෂාන්ත ද සිල්වා කියන පොලිස් නිලධාරියා රටෙන් පනිනකන් පොලිසිය දන්නෙත් නෑ?
නිශාන්ත සිල්වා මහත්තයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ඒ වෙලාවේ අරගෙන තිබ්බේ නෑ. ඔහු අදත් රාජකාරී කරලා හෙට කියන දවසේ තමයි රටින් ගිහින් තිබුණේ?

ඒකනේ. ඒකත් වුණේ එහෙමනං ඔබ කොහෙමද කියන්නේ මේ කියන නාකොටික් නිලධාරියා රට ගියේ නෑ කියලා?
දැනට අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු පරීක්ෂා කරලා තියෙනවා එතැනදී අපිට තහවුරු වෙලා තියෙනවා ඔහු විදේශගතවෙලා නෑ නීත්‍යනුකූලව කියලා.
ඔය වගේ අය නීත්‍යනුකූලව විදේශ ගතවෙන්නේ නෑනේ සේනාරත්න මහත්තයා. එයා අර ලංකාවේ විශාලම මත්ද්‍රව්‍ය වැටලීම කරන්න යනවා කියලා කරපු නාටකේදීත් මුහුද මැදට ගියේ බෝට්ටුවලින්නේ. ඒ විදිහටම රටෙනුත් ගියාද කියලා කවුද දන්නේ?
ලංකාවේ කිසියම් ධීවර වරායකින් හෝ වෙනත් වරායකින් බෝට්ටුවක් එළියට යනවා නම් ඒ බෝට්ටුව යම් කිසි නිශ්චිත ක්‍රමවේදයකට අනුව ලියාපදිංචි වෙලා, යන අය පිළිබඳවත් තොරතුරු සටහන් කරගෙන යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා බැහැරට යන්න.

ඒ කියන්නේ ඔබට විශ්වාසයි මේ චූදිත නිලධාරියා තාමත් රට ඇතුළේ ඉන්නවා කියලා?
පැහැදිලිවම.

එහෙනම් ඇයි ඔහු අත්අඩංගුවට ගන්න මෙච්චර ප්‍රමාද?
ඔහු පොලිස් නිලධාරියෙක්, ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ කරපු දක්ෂ නිලධාරියෙක්. ඔහුගේ ඒ දක්ෂතාවම යොදාගන්න පුළුවන් පොලිසියෙන් සැඟවිලා ඉන්න.
ඒ නිසා සාමාන්‍ය අපාරාධකාරයෙක් හෝ සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩි වෙහෙසක් අපට ගන්න සිද්ද වේවි ඔහුව ගන්න. නමුත් ශ්‍රී ලංකා පොලිසිය අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගන්නවා.

දැන් මාධ්‍ය ප්‍රකාශක තුමා ඔබ මේ දූෂිත නිලධාරියා දක්ෂයෙක් කියලා ඔය විදිහට උත්කර්ෂයට නගනකොට අපටනම් ඇති වන්නේ ගුජුප්සාවක්. ඇයි ඔබ ඔහු වීරයෙක් කරන්න හදන්නේ?
අපි එච්චර කුහක වෙන්න හොඳ නෑ. අපි දන්නවා මීට අවුරුද්දකට කලින් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා ලංකාව පුරාම මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිලධාරීන් ට ජනාධිපති සම්මාන පවා දුන්නා.

දැන් මේ කියන නිලධාරියාටත් ජනාධිපති සම්මාන ලැබුණාද?
නිශ්චිතවම මම පරීක්ෂා කරලා නෑ ඒ නිලධාරියාට හම්බවුණාද කියලා. සමහර විට මේ නිලධාරීන්ටත් හම්බ වෙන්න ඇති. මේ නිලධාරීනුත් ඒ දවස්වල කරන ලද යහපත් ක්‍රියාවන් වෙනුවෙන් ත්‍යාග ලැබෙන්න ඇති, ප්‍රශංසා ලැබෙන්න ඇති…

ඔබ හොඳ තැනකට මාව ගෙනාවා. ඔබ කියන්නේ මේ අද නරක් වෙලා ඉන්න නිලධාරීන් කලක් පොලිසියේ හිටිය කීර්තිමත් නිලධාරීන් කියලා. මෙහෙම වෙන්නේ ඇයි, මෙහෙම වෙන්න මොකද්ද පොලිසියේ තියෙන ප්‍රශ්නේ?
මම හිතන්නේ ඒක පොලිසියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පුද්ගල බද්ධ ප්‍රශ්නයක්. පොලිසියට බැඳෙන නිලධාරීන්ගේ පුහුණු කාලය හා සේවය කරන කාලයේදී ඒ ඒ නිලධාරීන්ගේ ප්‍රබලතැන් අපි හඳුනාගන්නවා.
ඒ ප්‍රබල තැන් අපි පාවිච්චි කරනවා ශ්‍රී ලංකා පොලිසියේ උන්නතිය හා මහජනතාවට කාර්යක්ෂම සේවයක් දීමට. හැබැයි මේ දක්ෂතාවන් වගේම ඕනෑම තැනැත්තකුගේ දුර්වලතාත් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය දකින මේ දුර්වලතාවන් ඇතැම් විට මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට ප්‍රබල තැන් වෙනවා.
අපේ පොලිසියේ ඉන්න දක්ෂ විමර්ශකයෙක් සමහර විට ස්ත්‍රී ලොල් වෙන්න පුළුවන්. සමහර විට මුදලට ලොල් වෙන්න පුළුවන්. නිලධාරීන්ගේ මේ දුර්වලතා ජාවාරම් කාරයින් ප්‍රබල තැන් විදිහට පාවිච්චි කරලා යම් කිසි මොහොතක ඔවුන්ගේ කටයුතු සඳහා උදවු කරගන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ සෑම රටකම සෑම පොලිසියකම මේ වගේ දේවල් වාර්තා වෙනවා. ලෝකේ දියුණුතම පොලිසි ලෙස සම්මත තැන්වලත් මෙහෙම දේවල් වෙලා තියෙනවා.

අපේ ගෙදර විතරක් නෙවෙයි අල්ලපු ගෙදරත් ප්‍රශ්න තියෙනවා කියලා ඔබට හිත හදා ගන්න පුළුවන් ඇති. නමුත් ආරක්ෂක ලේකම්තුමා ඒක නිදහසට කාරණයක් ලෙස පිළි අරගෙන නැති බවක් ඔහුගේ ප්‍රකාශයෙන් පේනවා. දැන් ඔබ අභිමානවත් පොලිස් නිලධාරියෙක්නේ, ආරක්ෂක ලේකම්තුමා නිලඇඳුමේ ගෞරවය රැකගන්න කියනකොට ඔබට ඇත්තටම මොකද්ද හිතුනේ?
පළමුවැනි කාරණය ඒ රැස්වීමෙ මම හිටියේ නෑ. අනිත් අතට අපි කිසියම් වරදක් කරලා තියෙනවා නම්, වරදක් කරමින් ඉන්නවා නම් වැරදි කරුවන්ට දොස් කියනකොට අපිට වදිනවා. නමුත් අපි කිසිම වරදක් නොකරනවානම්, අපෙන් අපේක්ෂා කරන සේවයටත් වඩා දෙයක් කරනවා නම් ඒක එක කනකින් අහලා අනිත් කනින් යවන්න තරම් කාරණයක් විතරයි. මම කියන්නේ ආරක්ෂක ලේකම්තුමා කියපු කාරණේ අපි නොසලකා හැරිය යුතුයි කියන එක නෙවෙයි. එතුමා කියන විදිහට කවුරු හරි දූෂිතනම් විනය ගරුක නැතිනම් ඒ අය මේ කාරණේ හිතට ගත යුතුයි.

පොලිසියට වඩා හමුදාව විනයගරුකද?
මම හිතන්නේ ත්‍රිවධ හමුදාවේ විනය ගැන කතා කිරීම මගේ විෂයට අදාළ නෑ. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොලිසිය විනය ගරුක ආයතනයක්. නමුත් පොලිසියේ නිලධාරීන් විනය කඩනවාට සාපේකෂව විනය ආරක්ෂා කිරීමට කරන කැපවීම ඇගයීමට ලක්වෙනවාද කියන තැන ගැටලුවක් තියෙනවා.

මම එහෙම අහන්නේ අපි දැක්කා පහුගිය කාලේ රථවාහන හසුරුවන්නත් යුද හමුදා පොලිසිය අනුයුක්ත කරලා තිබුණා?
ඒක යම් කිසි විදිහක අධ්‍යන වැඩසටහනක් විදිහට කරපු දෙයක්. කොරෝනා එන්න කලින් රටේ අධික රථවාහන තද බදයක් තිබ්බා. ඒ නිසා අපි ඒක ක්‍රියාත්මක කළා. නමුත් කොරෝනාවලින් පස්සේ තාම එවැනි තදබදයක් ඇති වෙලා නෑ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඔබ කියන්නේ රථවාහන තදබදය අවම කරන්න පොලිසියට වඩා හමුදාවට පුළුවන් කියලාද?
නෑ ඒ කතාව වැරදියි. දැන් අපි පාසලක් ඉස්සරහා රථවාහන හැසිරවීමට පාසල් ළමුන් යොදා ගන්නේ පොලිසියට වඩා පාසල් ළමුන් රථවාහන හැසිරවීමට හොඳ නිසා නෙවෙයිනේ. ඒ අය අපි හැම තිසේසේම යොදා ගත්තේ මාර්ගයේ රථවාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ සහයට.

හරියට අර පාසල් දරුවෝ යොදාගන්නවා වගේ?
අන්න ඒ වගේ…. ඒ වගේ….

අර ඊයෙත් වැඩ කරලා අද පොලිසියේ කනෙන් රිංගලා රට පැන්න නිෂාන්ත සිල්වා මහත්තයා දැන් කොහේද දන්නෑ ඉන්නේ?
ඒ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රතිඵල මොනවද කියන කාරණය මම දැනුවත් නෑ ඇත්තෙන්ම. නමුත් මම දන්න තරමට ඔහුව අත්අඩංගුවට ගන්න අපරාධමය විමර්ශනයක් කෙරෙන්නේ නෑ.

එහෙමනම් මේකට පිළිතුරක් දෙන්නකෝ. දැන් පොලිස් කොමිසමක් පත් කළානේ. මේක දැම්මේ පොලිසියේ පත් කිරීම්, ඉවත්කිරීම්, මාරු කිරීම් වගේම පොලිස් සේවයේ යම් යම් දුර්වලතා තියෙනවා නම් නිරාකරනය කරන්නනේ. ඔබට පේන විදිහට මේ කොමිසම දැමීමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉෂ්ට වෙනවාද?
ඒක ඉතිං බලන්න ඕන මහජනතාව. ඔබට, ඔබේ ආයතනයට හා මහජනතාවට තමයි පේන්නේ මේ වේදිකාවේ රඟපාන අයගේ රංගනය.

ඔව් අපිට හොඳට පේනවා ඒ රඟන රැඟිල්ල. නමුත් ඔබත් ඒ වේදිකාවේ රඟන නළුවෙක්නේ? අපි කැමැතියි නළුවට දැනෙන හැටිත් දැනගන්න ?
නළුවට මේ නාට්‍යයේ ඔක්කොම පේන් නෑ. ඒ නිසා මේකේ නිවැරදි පින්තූරයක් නළුවට ඉදිරිපත් කරන්න බෑ, ඒක පේන්නේ ප්‍රේක්ෂකයින්ට. ඒ ප්‍රේක්ෂක මතය ඔබට ගේන්න පුළුවන් මාධ්‍ය හරහා. කොහොම නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ රාජකාරි වපසරිය ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කිරීමේදී බධාවක් ඇති කරන්නේ නෑ කිසි සේත්ම.

ඔබ චිත්‍රපට බලනවාද?
ඔව් බලනවා?

දැන් අපි චිත්‍රපට කතාවල දකිනවානේ විවිධ පොලිස් චරිත එක වෙලාවක විහිළු කාර පුණ්‍යසෝමලා දකිනවා. තව වෙලාවක අර ධර්ම යුද්ධයේ ඉන්න දූෂිත සාජන්, විමල් වගේ චරිත දකිනවා. ශ්‍රී ලංකා පොලිසියේ වැඩි කොස්තාපල් පුණ්‍යසෝමලාද? විමල්ලාද?
මේ සමාජය හරි විවිධයිනේ. එතකොට මේ සමාජයේ තියෙන විවිධත්වය සමාජයේ තියෙන හැම ආයතනයකම ඉන්නවා. ඒ විවිධත්වය පොලිසිය ඇතුළටත් එනවා. සමහර වෙලාවට පුණ්‍යසෝමලා ඕන තැනුත් තියෙනවා පොලිසියට. අපි දන්නවා මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න කුඩු කාරයෙක් වෙන්නේ නැතුව කුඩු අල්ලන්න බෑ. පොලිස් නිලධාරියෙක් විදිහට ගිහිල්ලා කුඩු ඉල්ලුවාට කවුරුවත් කුඩු විකුණන්නේ නෑ. එහෙමනම් කුඩු ව්‍යාපාරිකයෝ විදිහට යන අයත් ඉන්න ඕන පොලිසිය ඇතුළේ. එතකොට මේ සමාජයේ මොනවද තියෙන චරිත ඒ හැම චරිතයක්ම පොලිසිය ඇතුළේ තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි පොලිසිය කියන ආයතනයට සාර්ථකව තමන්ගේ අරමුණට යන්න පුළුවන් වෙන්නේ.

නමුත් මාධ්‍ය ප්‍රකාශකතුමා වැඩේ තියෙන්නේ කුඩු අල්ලන්න යන පුණ්‍යසෝමලා අන්තිමට නවතින්නේ කබර විමල්ලා වගේ අන්ත දූෂිතයෝ වෙලානේ? ඒ වැඩෙන් අන්තිමට වෙන්නේ පුණ්‍යසෝමලා විතරක් නෙවෙයි ඔබත් ඇතුළු මුළු පොලිසියම විහිළු කාරයෝ වෙලානේ?
ඒ… ඒ… තත්ත්වය නොවුණොත් තමයි අපි පුදුම වෙන්න ඕන. මොකද එහෙම නොවු​ණොත් මේ පොලිසිය කියන එක සමස්ත සමාජයට වඩා වෙනස් දෙයක් වෙනවා. පොලිසිය කියන්නේත් මේ සමාජයේම හරස් කඩක්. මේකේත් ඉන්නවා හොරු, සල්ලාලයෝ, අපරාධ කාරයෝ. හැම ආයතනයකම ඉන්නවා. ඔබ නියෝජනය කරන ආයතනයේත් ඉන්නවා. එතකොට අපිට යම් කිසි කාලයක් යම් යම් විනය රෙගුලාසි යටතේ මේක පාලනය කරගෙන ඉන්න පුළුවන්. ඒත් සුදුසු කාලය ආව ගමන් මේවා ඉස්මතු වෙනවා.

සමන් සමරක්කොඩි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!