Gossip

පුතා ඒ වගේ තීරණයක් ගත්තොත් එදාට මම නෑ – ගයාන්, සමහරු කතා පතුරුවලා අපිට ලැබෙන අවස්ථා ඒ අය ලබා ගන්නවා – චතුරිකා

ගයාන් සහ චතුරිකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන යුවළක්. දැන් ගයාන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමු වෙලා. ඉතින් මේ හැමදේම ගැනයි ඔවුන්ගේ අලුත් තොරතුරු ගැනයි ගයානුයි චතුරිකයි පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

ගයාන් වික්‍රමතිලක

මුලින්ම අපි ගයාන්ගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ගැන කතා කරමු?
චාලක රණසූරිය රචනා කරන එක රෑනේ කුරුල්ලෝ තමයි මගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. මෙය කොටස් 60ක ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ වරුණ ජයවීර. මම, චතුරිකා, මහේන්ද්‍ර පෙරේරා, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

අද බිහිවන ටෙලි නාට්‍ය ගැන බොහෝ අය කතාකරන්නේ ප්‍රසාදයෙන් නොවෙයි. නමුත් තමන්ම අධ්‍යක්ෂණය කරන නාට්‍යයක රඟපාද්දී තමන්ට තෘප්තිමත් විය හැකි චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒත් රඟපාමින් අධ්‍යක්ෂණය කිරීම ලොකු අභියෝගයක්. ගයාන්ට ඒ විදිහට හිතෙන්නේ නැද්ද?
හිතෙනවා…. හිතෙනවා…. හොඳටම හිතෙනවා. රඟපාමින් අධ්‍යක්ෂණය කිරීම ලොකු අභියෝගයක් තමයි. මම ඒ අභියෝගයට මුහුණ දුන්නේ මටම රඟපාන්න ටෙලි නාට්‍යයක් කරන්න ඕනෑකමට නොවෙයි. මේ චරිතයට මම මුලින්ම තෝරාගෙන හිටියේ දසුන් පතිරණව. ඒත් ඔහු වෙනත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් හිස බූ ගාලා තිබුණා. දසුන්ගේ කොණ්ඩය වැවෙනකල් රූගත කිරීම් කල්දාන්න බෑනේ. අගෝස්තු 22 රූගත කිරීම් පටන් ගන්න ඕනෑ. ඒ හින්දා තමයි මම ම ඒ චරිතය රඟපාන්න හිතුවේ.

බොහෝ කලාකරුවන් තමන්ගේ නිර්මාණ තුළින් තමන්ගේ දූ දරුවන් කලාවට හඳුන්වා දෙනවා. ඒත් ගයාන්ගේ පුතා තවමත් කිසිම නිර්මාණයකට දායක වෙලා නැහැ. ඇයි ඒ ?
පුතාව කාගේවත් නිර්මාණයකට දායක කරවන්න මගේ අදහසක් නැහැ. වෙනත් රටවල කලාකරුවන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ. ඒත් අපේ රටේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. මගේ දරුවාව කවදාවත් කලාවට යොමු කරවන්න මම කැමති නැහැ. එයා හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් සඳහා විදෙස් ගත කරවීමයි මගේ අරමුණ.

පුතා ඉගෙන ගන්න දක්ෂයිද?
ඔව්, පුතා ඉන්නේ 4 වසරේ. ඉගෙන ගන්න දක්ෂයි. ඒත් හිටපු ගමන් උනන්දුව අඩු වනවා. ඒ වෙලාවට නම් මට ටිකක් දැඩි වෙන්න සිදු වෙනවා.

ඒත් පුතා තරුණ වියට ආවට පස්සේ නළුවෙක් වෙන්න හිතුවොත් ?
මම ඒක නම් අනුමත කරන්නේ නැහැ. ඒත් තනි තීරණයට ඒ වගෙ දෙයක් කළොත් මොකුත් කියන්න බැහැනේ. හැබැයි ඒ විදියට තනි තීරණයට එහෙම කළොත් ඊට පස්සේ උදාවෙන ප්‍රශ්නවලට එයාටම තනියම මුහුණ දෙන්න සිදුවෙයි. එහෙම වුණොත් පුතාගේ අප්පච්චි ඒවට නැහැ.

එක රෑනේ කුරුල්ලෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවිද?
මම අන්තිමට කළේ සහේලි වසරකට පසුව තමයි එක රෑනේ කුරුල්ලෝ කියන මේ ටෙලි නාට්‍යය කරන්නේ. කතා සංකල්පය අහද්දිම එහි වෙනසක් දැනුණු හින්දයි මම එය තෝරා ගත්තේ. මෙය අලුත් විදියේ රූප සිත්තමක් වෙයි.

චතුරිකා පීරිස්

චතුරිකා දැන් ගයාන්ගේ ටෙලි නාට්‍යවල විතරද රඟපාන්නේ ?
අපට ඊර්ෂ්‍යා කරන අය තමයි ඔය විදියේ කතා පතුරුවන්නේ. මම මෑත කාලයේ දායක වූ හිතුවක්කාරයා නාට්‍යය වගේම ඉදිරියේදී විකාශය වන චන්ද්‍රරත්න මාපිටිගමගේ නවතම නිර්මාණයේ මම රඟපෑවේ ගයාන් එක්ක නමෛයි. ගයානුත් මෑත කාලයේ වෙනත් නිළියන් සමග රඟපෑවා. අපි අතර එවැනි සීමා නෑ. ඒත් සමහරු ඔය වගේ කතා පතුරුවලා අපිට ලැබෙන අවස්ථා ඒ අය ලබා ගන්නවා.

ඒත් දැන් ඔබව ටෙලි නාට්‍ය හරහා දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්?
ඒකට හේතුව මා විසින්ම පනවාගත් සීමාවන්. මම ආරාධනාවක් ලැබුණාම මගේ චරිතය ගැනයි. මට නියමිත මිල ගැනයි සැලකිලිමත් වෙනවා. ඒත් අද ගොඩක් අය අපේ මිලට එකඟ වන්නේ නැහැ. නොමි‍ලේ රඟපාන්නත් නිළියෝ අද ඉන්නවනේ. ඒ හින්දා තමයි මම අඩුවෙන් දකින්න ලැබෙන්නේ. හැබැයි ලැබෙන ආරාධනා නම් අඩු නැහැ.

වර්තමානයේ පවත්නා ටෙලි නාට්‍ය කලාව ගැන චතුරිකාගේ පැහැදීමක් නැද්ද?
ඉස්සර ටෙලි නාට්‍ය නරඹන්නන් පුටුවේ වාඩිවෙලා ටී.වී.එක දිහා බලාගෙන හිටියේ තමන් කැමති ටෙලි නාට්‍ය විකාශය වනතුරු. ඒත් අද කුස්සියේ වැඩකරන අතර ඒ මේ අත යන අතරේ චැනල් මාරු කරලා ඒ අය නාට්‍යය නරඹනවා. එබඳු පසුබිමක හොඳ නිර්මාණ බිහිවෙන්නේ අඩුවෙන්. හොඳ නිෂ්පාදන තියෙන්නේ අඩුවෙන්. නොමි‍ලේ හරි රඟපාලා ක්‍ෂේත්‍රයට එන්න ඕනෑ තරම් අය ඉන්නවා. ඒත් එකක් දෙකක් රඟපාන විට ඒ අයටම එපා වෙලා දුරස් වෙනවා. මම රඟපාන්න ආවේ 2003. මම තවම ක්‍ෂේත්‍රයේ ඉන්නවා. ඒත් මගෙන් පස්සේ ආපු සමහර නිළියන් අද නැහැ.

ඔබ හිතන්නේ නව පරපුර අතර දක්ෂ නළු නිළියෝ නැහැ කියලාද?
නැහැ… නැහැ.. මම එහෙම කියන්නේ නැහැ. දක්ෂතා ඇති අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඒ දක්ෂතා මතු කරන්න නිර්මාණ නැති හින්දා ඒ අය ඉබේම යටපත් වෙලා යනවා.

රඟපෑම සීමා වීමට ඔබ ගෘහණියක් ලෙස කාර්යබහුල වීමත් හේතුවක් වුණාද?
අපේ ගෙදර ගයානුයි, මමයි, පුතයි, අපේ අම්මයි, තාත්තයි, බල්ලෝ තුන්දෙනෙකුයි ඉන්නවා. අට දෙනෙකු ගැන හොයා බලන්න තියෙනකොට ඉතින් ගෘහණියක් විදියට කාර්යබහුල වන්න සිදුවෙනවානේ. ඒත් හොඳ නිර්මාණ ලැබුණොත් ඒ කාර්යබහුලකම අමතක කරලා මම බාර ගන්නවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!