Gossip

පුතා ඉස්කෝලේ ඇරිල ඇවිත් අම්ම කෝ කියලා ඇහුවා – වයිෆ්ගේ මිනිය දාපු පෙට්ටියත් එතන තිබ්බා – බිරිඳව මරපු සැමියා දුන් පාපොච්ඡාරණය

“ඊයේ රෑ දහයට එකොළහට විතර සුදු පාට බොලෙරෝ එකකින් දෙන්නෙක් ඇවිත් දුන්ගල්පිටියේ මුද අයිනේ පාලු වත්තකට පෙට්ටියක් දාලා ගියා.

අද උදේ හයට විතර බලද්දී ඒ පෙට්ටිය පේන්න නෑ. මම ඒ බොලෙරෝ එකේ අංකේ ලියා ගත්තා. Q-7586.”

පසුගිය දහනව වැනිදා උදේ මෙම තොරතුර ලැබෙන්නේ පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතාටය. ඒ දුරකථන ඇමතුමකිනි.

මෙම තොරතුර ලද වහාම පි‍්‍රයන්ත ජයකොඩි මහතා ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු මුලින්ම කළේ ඒ තොරතුර පෑලියගොඩ, ගම්පහ, මීගමු කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දැනුම් දීමයි.

ඔහු… මෙම තොරතුරු අවට පොලිස් ස්ථාන වලට දැන්වූ අතර එම තොරතුරට අනුව අදාල අංකය සහිත වාහනය සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළේය.

මේ අතර එදින එනම් 19 දා උදේ හයට පමණ දුන්ගල්පිටිය පොලිසියේ ස්ථානාධිපති චමින්ද රණසිංහ ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඇමතුම දුන් අය කියා සිටියේ කැපුම්ගල ධීවර තොටුපල දෙසට කාන්තා මළ සිරුරක් ගසාගෙන එන බවය.

එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් ද සමඟ කැපුම්ගල ධීවර තොටුපල වෙත යද්දී මළ සිරුර වෙරළට ගොඩ ගසා තිබිණි.

එම මළ සිරුරෙහි හිසෙහි කොණ්ඩය සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොසිණි. සුදු පැහැයට තට්ටය පෙනෙන්නට තිබූ අතර හිස කුඩු පට්ටම් වී ඇති බවක් පෙනේ. මුහුණ චප්ප වී තිබූ අතර හඳුනා ගැනීමට නොහැකිය. මළ සිරුර කලු පැහැ ඉටි රෙද්දකින් ඔතා ඊට උඩින් ලා නිල් පැහැ මදුරු දැලකින් ද ඔතා ඝනකම් බයින්ඩින් කම්බියකින් පොටවල් තුනක් යොදා ඉන අසලින් එය ගැටගසා තිබිණි.

රෙදි වැලවල් ගැට ගැසීම සඳහා උපයෝගි කර ගන්නා රිදී පැහැ ලණුවකින් ද උදරය ගැටගසා තිබිණි.

ජිප් රථවලට යොදන රෙක්සින් එකක් පපුව අසලින් ඔතා පියයුරුවලට පහලින් ගැටගසා තිබිණි.

මේ අතර එදිනම මධ්‍යහනයට පෙර සැකකටයුතු බොලෙරෝ රථය අත්අඩංගුවට ගැනීමට ජා ඇල පොලිසියට හැකි විය.

එම වාහනය පැදගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු රත්නායක මුදියන්සේලාගේ තිස්ස හේරත් බණ්ඩාර නමැති පනස් හැවිරිදි පාසල් ගුරුවරයෙකි. දැනට කඳාන ධර්මාශෝක විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස සේවය කරන ඔහු යුද්ධය පැවති සමයේදී යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේවය කළ අයෙකි. කපිතාන් නිලය දක්වා ඔහු හමුදා සේවයේ යෙදී සිට ඇති අතර යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඔහු යළි සිය පරණ රැකියාවට ගොස් තිබිණි.

මොහු ගේ ජිප් රථයේ ලේ තැවරී තිබූ අතර මොහු ගනේමුල්ල බොලත ලිපිනයේ පදිංචි අයෙකි. එබැවින්……. මොහු ගනේමුල්ල පොලිසියට බාර දීමට ජා ඇල පොලිසිය කටයුතු කළේය.

ගනේමුල්ල පොලිසියට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී බිරිය මිය ගිය බවත් ඇයගේ මළ සිරුර පෙට්ටියක දමාගෙන ගොස් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදට දැමූ බවත්ය.

මෙලෙස මරා දැමුණේ ගනේමුල්ල, බොලත, අංක 162 ජී දරණ ලිපිනයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දෝන සෞම්‍යා දිල්රුක්ෂි නැමැති තිස් හය හැවිරිදි එක් දරු මවකි. ඇය රැකියාවක් නොකරන අතර දරුවාගේ වයස අවුරුදු දහසයකි.

අත්අඩංගුවට පත් සැකකරු බිරිය මරා දමන්නේ පසුගිය දාසය වැනිදා උදේ එකොළහට පමණය. ඒ වන විට දරුවා පාසල් ගොස් සිටි අතර මොහු පවසන පරිදි එදින උදේ එකොළහට පමණ අහම්බෙන් නිවෙසට පැමිණි මොහොතේ සිදු වූ යම් සිදුවීමක් හේතුවෙන් මෙලෙස බිරිය තමා අතින් මිය ගිය බවයි.

“එදා උදේ එකොළහට විතර මම ගෙදර ආවා. ඒ එද්දී කාමරේ කවුද මිනිහෙක් ඉඳලා මාවත් තල්ලු කරගෙන එළියට පැනලා ගියා. ඒ වෙලාවේ මමයි දිල්රුක්ෂියි අතර ගැටුමක් ඇති වුණා. එයා පොල්ලක් ගෙනත් මට ගහන්න හැදුවා. මම ඒ පොල්ල උදුරලා අරගෙන එයාගේ ඔලුවට පාරක් ගැහුවා.”

“ ඒ පාර කාගෙන එයා බිම වැටුණා. බලද්දී කිසිම සද්දයක් නෑ. එයා මැරිලා කියලා තේරුණා. මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. පස්සේ මම එයාගේ මිනිය ඉටි රෙදිවලින් ඔතලා නෙට් එකෙනුත් ඔතලා රෙක්සින් එකකිනුත් ඔතලා කම්බි අරගෙන ඒවා තදට හිටින්න ගැටගැහුවා. රෙදි වැල් බඳින්න ගෙනාපු ලණුවලිනුත් ගැටගහලා මොකද කරන්නේ කියලා හිතුවා.”

“පස්සේ රට ඉඳලා බඩු ගෙනාපු ඇල්මිනියම් පාට පෙට්ටියේ දාලා උඩ තට්ටුවට අරගෙන ගියා. උඩ තට්ටුව තවම හදලා ඉවර නෑ. ඒ කෑල්ලේ ගේ හදන්න ගන්න බඩුයි, අයින් කරන බඩුයි දාලා තියෙන්නේ. වයිෆ්ගේ මිනිය දාපු පෙට්ටියත් එතන තිබ්බා.”

“ඊට පස්සේ කාමරේ තිබුණ ලේ අයින් කරලා මුලු ගේම හෝදලා දැම්මා. හවස පුතා ඉස්කෝලේ ඇරිල ඇවිත් අම්ම කෝ කියලා ඇහුවා. මම කිව්වා අම්ම මාමලගේ ගෙදර ගියා කියලා.”

“එදා රෑ මිනිය ගෙදරම තිබුණා. පහුවෙනිදා උදේ පුතාව ජාඇල ගෙදර ඇරලුවා. මිනිය ගඳ ගහන නිසා මිනියට භූමිතෙල් දැම්මා. පස්සේ කලුතෙල් දැම්මා. ඊට පහුවෙනිදත් මිනිය උඩ තට්ටුවේ ඒ විදියටම තිබුණා. ඒත් දිගටම තියාගෙන ඉන්න බැරි නිසා දහ අට වෙනිදා රෑ මම මල්ලිට කතා කළා.”

“මල්ලිට කතා කරලා කිව්වා මට පොඩි කරදරයක්. ඉක්මනට ගෙදරට එන්න කියලා. මල්ලි ආවා. ඒ ආවට පස්සේ මමයි මල්ලියි එකතුවෙලා පෙට්ටිය පහළට අරගෙන මගේ ජිප් එකේ දාගෙන මීගමුව පැත්තට අරගෙන ගිහින් වෙරළ අයිනේ පාලු වත්තක දාලා ආවා.”

“ඒත්… එහෙම දැම්මම මිනිය කාටහරි අහුවෙන නිසා පාන්දර අපි දෙන්නා ආපහු ඒ පැත්තට ගියා. අපි පෙට්ට්ය පිටින් ඇදගෙන ගිහින් මුහුදට දාලා යන්න ගියා.”

ඔහු… එලෙස සිද්ධිය පාපොච්ඡාරණය කළේය.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව සැකකාර හිටපු කපිතාන් වරයා බොහෝ දරදඬු ගති ඇත්තෙකි.

ඉංගී‍්‍රසි ගුරුවරයකු මෙන්ම යුද හමුදා නිලධාරියකු ද වූ ඔහු කලක් මහන වී සිටි අයෙකි.

ඔහු මුදල් වලට බොහෝ ආශා කළ අතර දෙදෙනා අතර බොහෝ විට ආරවුල් ඇති වී තිබුනේ මුදල් සම්බන්ධයෙනි. බිරිය යම් අවශ්‍යතාවකට මුදලක් ඉල්ලා සිටියහොත් ඔහු ඇයට ලබා දෙන්නේ ඉල්ලු මුදලට වඩා අඩු ගණනකි. එය මේ දෙදෙනා අතර ආරවුල් ඇති කළ එක් කරුණකි.

මීට ටික කලකට පෙර ඇය සැමියා සමඟ ආරවුල් ඇති කරගෙන තිබුනේ ඔහුට අනියම් සම්බන්ධකම් තිබෙන බව පවසමිනි. කල්ගත වෙද්දී එම තත්ත්වය මගහැරී ගිය අතර පසුව ආරවුල් හටගත්තේ මුදල් හේතුවෙනි.

සැකකාර හිටපු කපිතාන්වරයා බිරියට තබා දරුවාට වත් නිවෙසින් එළියට බැසීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ ගෙදරට ඥාති හිතවතුන් කිසිවකුත් නොපැමිණෙන අතර මොවුන් ද එලෙස ගමන් බිමන් යන බවක් අසල්වාසීන් දැක නැත.

මොවුන් පදිංචි නිවෙසේ කාමර දෙකක් දරු පවුලකට කුලියට දී තිබේ. නිවෙස ඉදිරිපිට වූ වෙළෙඳසලෙන් යමක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට පුතාට යාමට ඉඩ නොදෙන අතර ඒ සඳහා කඩේට යවන්නේ කුලියට සිටින නිවෙසේ පුංචි දියණිය බවද කියයි.

එලෙසම බිරියට වත් දරුවාට වත් කිසිවකු ආශ්‍රය කිරීමට සැකකරු ඉඩ දී නැත. සිද්ධිය වූ දිනයේ තමා නිවෙසට යද්දී පිරිමි අයකු නිවෙසේ සිට පැන ගිය බව මොහු කීවද එවැන්නක් සනාථ වන කරුණ කිසිවක් පොලිස් පරීක්ෂක වලදී තහවුරු වී නැත.

එලෙසම අසල්වාසීන් ඇතුලු තතු දත්තෝ පොලිසියට පවසා තිබුණේ ඇයගේ එවැනි අනියම් සම්බන්ධයක් නොතිබුණු බවත් ඇය පිටස්තර කිසිවකුත් ආශ්‍රය නොකරන බවත්ය.

සිද්ධිය වූ දින පාසල නිම වී නිවෙසට පැමිණි දරුවා පියාගෙන් මව පිළිබඳ විමසද්දී පියා පවසා තිබුනේ මව මාමාගේ ගෙදර ගිය බවය.

නිවෙසේ කිසිම වෙනසක් පෙනෙන්නට නොතිබුණ නිසා දරුවාට සැකයක් මතු නොවුණ ද මව රාත්‍රියේදීත් නිවෙසට නොපැමිණීම පිළිබඳ ඔහුට ගැටලුවක් මතුව තිබිණි.

ඒ…. මව නිවෙසින් බැහැරව ගමන් බිමන් නොයන නිසාත්. එසේ ඥාති නිවෙසකට ගියත් රාත්‍රිය උදාවෙද්දී අනිවාර්යෙන්ම නිවෙසට යළි පැමිණෙන නිසාත්ය.

එදින රාත්‍රියේ මව නොපැමිණි නමුත් ඒ ගැන සැක සිතන්නට තරම් පුතාට වැටහීමක් තිබුණේ නැත. රාතී‍්‍ර ආහාර ගෙන එදින නිවෙසේ ගත කළ යුතු ඊට පසු දින පියා විසින් ජා ඇල පිහිටි නිවෙසට කැඳවාගෙන ගොස් තිබිණි.

ගෙවී ගිය දින දෙක දරුවා ජා ඇල නිවෙසේ කල්ගත කළ අතර මව මරා දමා ඇති බව පුතා දැනගත්තේ දහනව වැනිදාය. අනතුරුව රෝහලේ දී මවගේ මළ සිරුර හඳුනා ගත්තේ ද පුතා විසිනි.

මෙම නිවෙසේ වසර අටක පමණ කාලයක් නතර වී සිටි කාන්තාවකගෙන් ද පොලිසිය කට උත්තර ලබා ගත්තේය. ඇය ජා ඇල පිහිටි ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර වැඩට ගොස් තිබුණේ මෙම නිවෙසේ නතරව සිටය.

වැඩ නිම වී පැමිණීමෙන් අනතුරුව ගෙදර වැඩ පල ද කර දි ඇති ඇය මීට මාස එකහමාරකට පමණ පෙර මෙම නිවෙසින් පිටව ගොස් ඇත.

ඇය පවසා තිබුණේ මුදල් ප්‍රශ්න මත දෙදෙනා අතර අඩ දබර ඇති වුවද ඒ දිනවල දෙදෙනා අතර ගුටි බැට හුවමාරු නොවූ බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා ප්‍රදේශය හැර පලා ගොසිනි. ඔහු සැකකරුගේ මල්ලීය. අයියාගේ ඉල්ලීම මත නෑනාගේ මළ සිරුර සැඟවීම සඳහා උදව් කළ අයයි.

අයියාට සහාය දුන් ඔහු සොයා පොලිසිය මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇතත් ඔහු සැඟව සිටින ප්‍රදේශය පිළිබඳ තවමත් තොරතුරු ලැබී නැත. සිද්ධිය අනාවරණය කර ගැනීමට හැකිවුයේ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතාට පුද්ගලයකු දුන් තොරතුරක් නිසාය. එම පුද්ගලයාට කිසියම් ත්‍යාගයක් ලබාදීමට පොලිස් දොපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!