Gossip

“පියුමි එක්ක මට තරඟයක් නෑ – අපි දෙන්නා එක චිත්‍රපටයේ හිටියට හම්බ වුණේ නැහැ” – හොඳම යාළුවෙක් වුණ පියුමි ගැන ඕෂදී දැන් කියන කතාව

ඕෂදී හිමාෂා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රිය කෙනෙක්. ඉතින් මේ දිනවල දිවයින පුරා තිරගත වන වස්සානයේ සඳ චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වනවා. මේ පුවත්පතක් සමග ඇය කළ සංවාදයක්.

‘වස්සානයේ සඳ’ චිත්‍රපටය ගැන මුලින්ම කතා කළොත්?
‘වස්සානයේ සඳ’ කියන්නේ මගේ පළමුවැනි සිනමා නිර්මාණයයි. ඒ සඳහා මට ආරාධනා කරන්නේ අධ්‍යක්‍ෂක වන උදයකාන්ත වර්ණසූරිය මහතායි. මං හිතන්නෙ එම සිනමා නිර්මාණය මේ වෙද්දි ලංකාව පුරා සිනමා ශාලා විශාල සංඛ්‍යාවක තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්, ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ලොකු සතුටක් තියෙනවා ඒ විදියේ ප්‍රතිචාර ලැබීම ගැන.

පළමු සිනමා නිර්මාණය ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකු යටතේ වීම පිළිබඳව ඔබේ අදහස?
උදයකාන්ත වර්ණසූරිය වැනි දැවැන්ත කෙනෙකු සමග වැඩ කිරීම ගැන නිහතමානීව ලොකු සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා. සිනමාවට මම අලුත්, සිනමාවට එන්නෙ ‘වස්සානයේ සඳ’ තුළින්. මං හිතන්නේ මම ගොඩක් භාග්‍යවන්තයි. මොකද උදයකාන්ත කියන අධ්‍යක්‍ෂවරයා යටතේ සිනමාවට එන්න ලැබීම ගැන.

‘වස්සානයේ සඳ’ තුළ ඔබේ චරිතය සැබෑ ජීවිතයේ ඕෂදීට සමානද?
චිත්‍රපටයේ මම පණ පොවන්නේ ‘නටාෂා’ කියන චරිතයට. නටාෂා කියන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික චරිතයක්. ටිකක් හුරුබුහුටි, දඟකාර, කටකාර චරිතයක්. මං හිතන්නේ ඕෂදී කියන කෙනා එක්ක බැලුවොත් නටාෂා කියන්නේ ළඟින් යන චරිතයක්. ඒ නිසා රඟපෑමේදී ලොකු අපහසුතාවලට පත්වෙන්න ඕන වුණේ නැහැ. ඕෂදී සහ නටාෂා කියන චරිත දෙකම එකහා සමානව යන චරිත දෙකක්. ඒ නිසා රඟපෑම මට සාර්ථකව කරගන්න පුළුවන් වුණා කියලා තමයි මම හිතන්නෙ.

පළමු සිනමා රංගනයෙන් ලැබුණු දේවල්?
සිනමාව පැත්තෙන් ගත්තොත් තමයි මේ මගේ පළමුවැනි රංගනය වෙන්නෙ. අත්දැකීම් ගැන කිව්වොත් මගේ ෂූටින් සිදු වුණේ ලංකාවේ නෙවෙයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තමයි ඒ කටයුතු සිදු වුණේ. ඒ දේවල් සුන්දර අත්දැකීමක් වුණා. කණ්ඩායමක් එක්ක මේ වගේ වැඩකට ලංකාවෙන් පිට සම්බන්ධ වෙන්න ලැබුණ එක ලොකු අත්දැකීමක් වුණා. රූගත කිරීම්වලදී සති තුනක කාලයක් වගේ අපි ඔස්ට්‍රේලියාවේ හිටියා. ඒ සති තුන ජීවිතේ අමතක නොවෙන දවස් කිහිපයක් වෙනවා. මගේ පෙම්වතාගේ චරිතය රඟපාන්නේ අනූජ්. ‘සන්දේශ්’ තමයි චරිතය වෙන්නෙ. අනූජ්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා මගේ චරිතයට සාධාරණයක් කරන්න. අපේ ඔස්ට්‍රේලියාවේ රූගත කිරීම්වල නිෂ්පාදකයා වෙන්නේ මහේෂ් බණ්ඩාර. ඔහු අපේ කණ්ඩායමට ඉතා ආදරෙන් සැලකුවා. මේ වෙලාවේ ඔහුවත් මතක් කරනවා.

‘පියුමි හංසමාලි’ කියන්නේ ක්‍ෂේත්‍රය තුළ වගේම ඔබේ මිතුරියක්. ඇයත් සමග කටයුතු කිරීමේදී තරගකාරීත්වයක් නැද්ද?
‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ උදයකාන්ත වර්ණසූරිය මහතා හඳුන්වා දෙන්නේ නිරූපණ ක්‍ෂේත්‍රයේ අයවයි. අනූජ් හැරෙන්න මම, පියුමි, ඇන්ජලෝ සිනමාවට අලුත් අයයි. අපේ තුන්දෙනාගේ පළමු වැනි රංගනය මේකයි. රංගනය පැත්තෙන් අපි දක්‍ෂතාවන් ඉදිරිපත් කරලා නැහැ. මම හදවතින්ම සතුටු වෙන දෙයක් තියෙනවා, උදයකාන්ත අයියා ඒ වගේ අවදානමක් අරගෙන ඔහුගේ චිත්‍රපටයට අපිව තෝරා ගත්ත එක ගැන. පියුමි ගැන කිව්වොත්, අපි දෙන්නා එක චිත්‍රපටයේ හිටියට අපි හම්බ වුණේ නැහැ. අපට රූගත කිරීම් එකට තිබුණේ නැහැ. අපි හතර දෙනා අතරේ කිසිම තරගකාරීත්වයක් නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයේ ළඟින් ආශ්‍රය කරන යහළුවෝ ගොඩක් හිතවත්. නිරූපණ ක්‍ෂේත්‍රයේවත් පියුමි එක්ක තරගයක් නැහැ. අපි දෙන්නාගේ චරිත ගත්තත් හාත්පසින්ම වෙනස්. පියුමි ඇයගේ චරිතයට ලොකු සාධාරණයක් කරලා තියෙනවා වගේම, මමත් මගේ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා. අපි දෙන්නට තරගයක් තියන්න දෙයක් වුණේ නැහැ.

ඕෂදීගේ ‘නටාෂා’ගේ චරිතයට හොඳ ප්‍රතිචාර විතරද ලැබුණේ? අඩුපාඩු තියෙනවා කියලා කිව්වෙ නැද්ද?
ඇත්තම කතා කළොත් මට මේ වෙනතෙක් චිත්‍රපටය බලපු කිසිම කෙනෙක් කිසිම අඩුපාඩුවක් කිව්වේ නැහැ. මම බලාපොරොත්තු වුණේ හොඳ විතරක් නෙමෙයි, මගේ අඩුපාඩුත් බලාපොරොත්තු වුණා. මගේ අඩුපාඩු කියනවා නම්, මම ආසයි. චිත්‍රපටය තුළදී මගේ වැරදුණු තැනක් තියෙනවා නම් ඒ දේවල් කියනවාට මම ආසයි. මොන හේතුවකටද දන්නේ නැහැ චිත්‍රපටය බලපු කිසිම කෙනෙක් මට වැරැද්දක් කිව්වේ නැහැ. මං හිතන්නෙ නිහතමානීව ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මගේ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා.

සිනමාව පැත්තෙන් ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
‘වස්සාන සඳ’ චිත්‍රපටයෙන් පසුව මම තවත් චිත්‍රපටයක් කළා. හර්ෂ උඩකන්ද මහත්මයාගේ ‘ෆේස් ටු ෆෙස්’ චිත්‍රපටයයි. මේ වෙද්දි ඒ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු අවසානයි. සිනමා ගමගේ මගේ ඊළඟ බලාපොරොත්තුව ඒ චිත්‍රපටයයි. මේ වෙද්දි තවත් චිත්‍රපටයක රූගත කිරීම දැනට දින කිහිපයකට කලින් අවසන් කරලා ඉවරයි. ඒ තමයි ‘මං මිස් ජෙනී’ තමයි චිත්‍රපටය. ජයලත් මනෝරත්න මහත්මයා තමයි එහි ප්‍රධාන චරිතය හැඩ කරන්නෙ. මං හරි භාග්‍යවන්තයි, ගොඩක් කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණු එකට. ගොඩක් තරුණ වයසේදී ලොකු අත්දැකීමක් ලබාගත්ත චිත්‍රපටයක් තමයි ‘මං මිස් ජෙනී’ කියන්නේ. ජයලත් මනෝරත්න මහත්මයාගේ දුවගේ චරිතය තමයි මගේ චරිතයට වුණේ.

සිනමා රංගනයට විතරද දායක වෙන්නෙ? ටෙලිනාට්‍ය සඳහා දායකත්වයක් නැද්ද?
නැහැ. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මොකද මම නිරූපණ ශිල්පිනියක්. මම ක්‍ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පිනියක් විදියටයි. දැන් මම සිනමාවේ ගමන ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ ඒ දේවල් එක්ක පුංචි තිරයට කාලය වෙන් කරන්න අපහසුතාවක් තියෙනවා. ඒ නිසා සිනමාවෙන් සහ නිරූපණ ශිල්පිනියක් විදියට ඉස්සරහට යයි.

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?
ජීවිතේ ඉදිරිය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. ඉතින් සිනමාවෙන් පටන් ගත්ත ගමන හොඳ වැඩවලට ගෙන යන්න ආසයි. හොඳ දෙයක් රසිකයන්ට දෙන්න ආසයි. සතුටින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

ඔබේ පළමු සිනමා නිර්මාණය වෙනුවෙන් ආදරණීය රසිකයන්ට ආරාධනාවක් තියෙනවාද?
ඔව්, ‘වස්සානයේ සඳ’ කියන්නේ බැලිය යුතු චිත්‍රපටයක් කියලයි මම හිතන්නේ. ගොඩක් සංවේදී චිත්‍රපටයක්. පවුලේ සැමට එකට ඉඳලා බලන්න පුළුවන් චිත්‍රපටක්. හදවතට කතා කරන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. උදයකාන්ත මහත්මයා ගැන අපි අමුතුවෙන් කියන්න ඕන. එතුමාගේ 22 වැනි සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය ජීවිතේ පිළිබඳ කියලා දෙන කතාවක්. පවුලේ සැම එකට නැරඹිය යුතු චිත්‍රපටයක්. මගේ ප්‍රේක්‍ෂකයන්ට, රසික රසිකාවියන්ට, යහළුවන්ට හැමෝටම ආරාධනා කරනවා. එන්න ඔබේ සිනමා ශාලාවට, පැමිණ ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය නරඹන්න. ඔබගේ ප්‍රතිචාර අපට දක්වන්න. ඒ දේ අපට ගොඩක් වටිනවා. හතර දෙනාම සිනමාවට අලුත්. අපි සිනමාවට පා තැබුවා විතරයි. ඔයාලගේ ප්‍රතිචාර අදහස් අපට වටිනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!