Gossip

පාර්ලිමේන්තුව තුළ කලබලයක්‌ – සෙංකෝලය අරන් ගිහින් හරි විවාදය අවුරුදු නිවාඩුවෙන් පස්සේ තියෙයිලු

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය කල් දමා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ කලබලයක්‌ ඇති කිරීමේ සූදානමක්‌ පවතින බව දැනගැනීමට ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (03 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. අද විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඒ මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

විශාල වැඩි ඡන්ද ගණනකින් විශ්වාසභංගය පරාජය කරන බවට එජාප මන්ත්‍රීවරුන් කට මැත දෙඩෙව්වාට අගමැතිට විශ්වාසය පළ කිරීමේ ලියවිල්ල අත්සන් 78 යි ලැබුණේ. අපේ විශ්වාසභංග යෝජනාවේ අත්සන් ලැයිස්‌තුව අපි ප්‍රසිද්ධ කළා. අන්න ඒ වගේ අගමැතිට සහය පළ කිරීමේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන්න කියා අපි එජාපයට අභියෝග කරනවා. ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ නෙවේ බෑ. ඒක ප්‍රසිද්ධ කළොත් අගමැතිගේ සහයට ඉන්නේ 78 ක්‌ පමණයි කියන එක රටම දැනගන්නවා. ඒ 78 අතරේත් කලින් හෙළිවීම අවාසි නිසා අත්සන් කළ යෝජනාවට පක්‍ෂ මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒ වගේම ඊයේ ශ්‍රීලනිපය ඒකමතිකව තීරණය කළා විශ්වාසභංගයට පක්‍ෂ වෙන්න. ඒක අපිවත් බලාපොරොත්තු නොවුණු දෙයක්‌. අපි හිතුවේ අඩුම ගණනේ දෙන්නෙකු වත් අගමැති රැක ගන්න ඉදිරිපත් වේවි කියලා. මේ වන තුරු ආණ්‌ඩුවේ ඉන්න කිසිම පක්‍ෂයක්‌ අගමැති රැකගන්න ඉදිරිපත් වෙලා නෑ. රනිල් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා තමයි අපිට කියන්න වෙන්නේ.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් කියලා පැරණි සිංහල කියමනක්‌ තිබෙනවා. ඒ වගේ අපි ඉතාම මහන්සියෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව නිසා සමහර පක්‍ෂවලට වගේම සමහර මන්ත්‍රීවරුන්ටත් හරිම වාසියි කියලා ආරංචියි. සමහරු රාජපක්‍ෂවරුන්ට බනින අතරේ බොරු රනිල් විරෝධයක්‌ පෙන්වන්නේ තමන්ගේ වටිනාකම ඉහළ නංවා ගන්න කියලයි ආරංචි. මේ දවස්‌වල සල්ලි මළු තොග පිටින් බෙදන බවයි ආරංචි. අපේ ඉල්ලීම වන්නේ, සල්ලි දෙනවා නම් සල්ලි ගන්න. තනතුරු දෙනවා නම් තනතුරුත් ගන්න. විශ්වාස පළ කරලා අත්සන් කරන්න කියනවා නම් ඒකත් කරන්න. හැබැයි අපේ ආදරණීය මවුබිමේ අනාගතය ගැන හිතලා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වෙන්න.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව ඊයේ අගමැතිතුමා ජනාධිපතිතුමා හමු වී විශ්වාසභංග යෝජනා විවාදය කල් තබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් ජනාධිපති ඒක ප්‍රතික්‌ෂේප කර තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ කලබලයක්‌ ඇතිකර පුළුවන් නම් සෙංකෝලය ඔසවා ගෙන ගිහින් හරි මෙම විවාදය අවුරුදු නිවාඩුවෙන් එහා පැත්තට කල් දමා ගැනීමට උත්සාහ දරන බවට අපට ආරංචියි. ඒ නිසා අපි තීන්දු කරලා තිබෙනවා. ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න. නමුත් ඒක පාර්ශ්විකව වුණත් කලබල ඇති කරලා පාර්ලිමේන්තුව කල් තබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. පක්‍ෂ දේශපාලනය අමතක කරලා ස්‌වාධීනව කටයුතු කරලා එවැනි උත්සාහයන් පරාජය කරන්න කියලා අපි කථානායකතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පුංචි ඡන්දයේ දී එජාපයට ලැබුණේ 30% ක්‌ පමණයි. ඒ නිසා තමන් ජනපතිවරණයට ඉදිරිපත්වෙලා වැඩක්‌ නෑ කියලා රනිල් මැතිතුමා දන්නවා. නැවත කිසිම දවසක ජනතාව ඉදිරියට යන්නේ නැති නිසා දැන් එතුමා ජනතාවට බය නෑ. ජනතා සිතුම් පැතුම් ගැන සංවේදී නෑ. ඒ නිසාම රට විකුණන්න බය නෑ. එක්‌ටා අත්සන් කරන්න බය නෑ. රණවිරුවන් පාවා දෙන්න බය නෑ. පෙබරවාරි 10 මැතිවරණ පරාජයෙන් පසු ගෙවුණු මාස දෙක දිහා බලන්න. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්‌වරුන් පත් කළා. පිටරටවලට රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවේ සම්මත කළා. ත්‍රිකුණාමල වරාය සිංගප්පූරුවට විකුණන සාකච්ඡා ආරම්භ කළා. නැවතී තිබුණු එක්‌ටා සාකච්ඡා ආරම්භ කළා. ණය ගැනීමේ බලය පාර්ලිමේන්තුවෙන් තමන්ට පවරා ගත්තා. මාස දෙකට මෙහෙම නම් තව අවුරුදු එකහමාරක්‌ හිටියොත් කොහොම වේවිද?

අපි ඔබට විශ්වාසයෙන් දෙයක්‌ කියනවා. හෙට ඉර පායන එක සත්තයි නම් අගමැති රනිල් ගෙදර යන එකත් සත්තම සත්තයි. බොහෝ විට මෙය මාධ්‍යවල පළ වන විටත් අගමැතිතුමා ඉල්ලා අස්‌ වී තිබෙන්න පුළුවන්.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා – මේ ආණ්‌ඩුව මහමෙර වගේ 2025 දක්‌වා පවතින බව තමයි කිව්වේ. නමුත් දැන් හිම කන්දක්‌ වගේ දියවෙමින් පවතිනවා. ලක්‍ෂ්මන් යාපා ඇමැතිතුමා කියල තිබෙනවා 04 වැනිදා රාත්‍රි 9.00 ට ජාතික ආණ්‌ඩුව අවසන් වන බව.

එම තත්ත්වය තුළ අතීසාරයට අමුඩය ගසමින් සිටිනවා. ඇමැතිවරු දෙදෙනකු පිළිබඳව වාර්තා වනවා. රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන ඇමැතිවරු දෙදෙනා අලුත් බලවේගයක්‌ ගොඩනැඟීමට කටයුතු කරන බව වාර්තා වෙනවා. මේ දෙදෙනා බොර දියේ මාළු බානවාද? එසේත් නොමැති නම් රනිල් වික්‍රමසිංහට පිටුපසින් පිහියෙන් අනින්න හදනව ද දන්නේ නෑ.

මොනව වුණත් එකක්‌ කියන්න පුළුවන් හෝටලයක තිබෙන ඉඳුල් ඉවත දමනවා වෙනුවට දුන්තෙල් දාලා දෙන්න තමයි මේ හදන්නේ. මේ දෙදෙනාගේ වෑයම වියපත් වූ ගණිකාවක්‌ පුයර, සුවඳ තවරල ආයෙත් ගේන්න හදනවා වගේ වැඩක්‌. මහාමේරු පර්වතය වගේ තිබුණ ආණ්‌ඩුව දියවෙමින් පවතිනවා වගේ, රනිල් කියන සාධකයේ අවසානයත් සමග මේ දෙදෙනාත් ඉතිහාසයේ කුණු බක්‌කියට වැටෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!