Gossip News

ප්‍රියංකාගේ ඝාතනයේ සියලු තොරතුරු එළියට..

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන රටවල් අතර ඉන්දියාවටද විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඉන්දියාව තුළ සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳව වඩාත් කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ ඒවා බොහෝ විට ඉතාම කෲර ආකාරයෙන් සහ සමූහ දූෂණ ආකාරයෙන් සිදුවන ඒවා වීමය.මේ බවට සාක්‍ෂි සපයන අතිශය අමානුෂික සමූහ දූෂණයක් පසුගිය සතියේ එරට හයිද්‍රාබාද් ප්‍රදේශයෙහි සිදු වූ අතර එහිදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක් සිවුදෙනකු විසින් දූෂණය කර මරා දමනු ලැබිණි.අවසානයේ ඇයගේ මළ සිරුරට පවා පාඩුවේ තිබෙන්නට ඉඩ නොදුන් දූෂකයන් එය පුලුස්සා ගුවන් පාලමක් යට පාරක් අයිනේ දමා ගොස් තිබිණි.මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වී තිබූ ඇතැම් වාර්තාවල සඳහන් වූයේ දූෂකයන් ඇය දූෂණය කිරීමෙන් පසු පණ පිටින් පුලුස්සා දමන්නට ඇතැයිද සැකයක් තිබෙන බවය. නමුත් ඒ ගැන නිල වශයෙන් තහවුරු වී තිබුණේ නැත.ප්‍රියංකා රෙඩ්ඩි නමින් හැඳින්වුණු මෙම පශු වෛද්‍යවරිය පසුගිය 30 වැනි දින අඳුරු වැටෙන්නට ආසන්නව තිබියදී නිවෙසින් පිටව තිබුණේ අෑත තැනක සතකුට බෙහෙත් කිරීමට යෑම සඳහාය.සිරිත් පරිදි ඇය මේ ගමන ගොස් ඇත්තේ ඇයගේ මෝටර් සයිකලයෙනි. නමුත් ටික දුරක් මෝටර් සයිකලයෙන් ගමන් කළ ඇය එක් ස්ථානයක එය නතර කර එතැන් සිට කුලී රියකින් ගොස් ඇති බවක් සඳහන් වෙයි.ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය නැවත නිවෙස බලා යාම සදහා මෝටර් සයිකලය තිබූ තැනට පැමිණි විට දැක ඇත්තේ එහි එක් රෝදයක හුළං නැති බවය. කෙසේ හෝ වේවා එම අවස්ථාවේ මෙම ස්ථානයේ සිටි ලොරි රියැදුරකු ඇයට උදවු කිරීමට ඉදිරිපත්ව ඇති බව පෙනේ.මේ බව අනාවරණය වූයේ ප්‍රියංකා විසින් ඇයගේ සොහොයුරියක වූ භාව්‍යා වෙත දෙන ලද දුරකතන ඇමැතුමක් නිසාය. ඒ වනවිට වේලාව රාත්‍රි දහයට ආසන්න වූ බැව් සඳහන් වේ.ප්‍රියංකා සිය සොහොයුරියට පවසා ඇත්තේ තමාගේ මෝටර් සයිකලයේ රෝදයක හුළං ගොස් ඇති බවත්, ලොරි රියැදුරකු තමාට උදවු කිරීමට ඉදිරිපත් වූ බවත්ය.ඒ අතර මෙම ස්ථානයේ තවත් කිහිපදෙනකු සිට ඇති ආකාරයක්ද පෙනේ. පිරිමින් කිහිපදෙනකු සිටින නිසා තමාට බියක් දැනෙන බවක් ප්‍රියංකා භාව්‍යාට පවසා ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.ඒ අවස්ථාවෙහි භාව්‍යා සිය සොහොයුරියට උපදෙස් දී ඇත්තේ බයිසිකලය එතැනම තබා කුලී රියක නැඟී ගෙදරට එන ලෙසය.නමුත් ප්‍රියංකා ඉන්පසු නැවත ගෙදර ආවේ නැත.

මේ වනවිට අනාවරණය වී ඇති අන්දමට ලොරි රියැදුරා ඇයගේ බයිසිකලය සාදාගෙන ඒමට යැයි කියා එය රැගෙන ගොස් ඇති අතර පසුව තවත් තිදෙනකු ඒ අසල වූ කැලෑවක් තුළට ඇය ඇදගෙන ගොස් තිබේ.ඔවුන් ඇය සමූහ දූෂණයට ලක් කර ඇත්තේ එහිදීය. බයිසිකලය රැගෙන ගිය පුද්ගලයාද නැවත පැමිණ ඇය දූෂණය කර ඇති බව පැවැසේ.ප්‍රියංකා මෙහිදී කෑ ගසන්නට පටන්ගත් නිසා ඇයගේ කටත්, නාසයත් තද කරගෙන සිට ඇති බවත් එහි දී ඇය හුස්ම හිරවීමෙන් මියගොස් ඇති බවත් හෙළිවී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් විය. සිවුවැනි පුද්ගලයා ඇය දූෂණය කර ඇත්තේ මියගොස් සිටියදී විය හැකි බවටද සැක පළවී තිබිණි.එයින් පසු දූෂකයන් වෛද්‍යවරියගේ සිරුර රෙද්දක ඔතා ලොරියේ පටවාගෙන සැතපුම් 15ක් පමණ අෑත පෙදෙසකට ගෙන ගොස් ඇති බව සඳහන්ය.ගුවන් පාලමක් යට මාර්ගයක් අයිනේ සිරුර දමා එය ගිනිතබා ඇත්තේ එහිදීය. දරුණු ලෙස පිලිස්සී තිබූ ඇයගේ සිරුර දැක ඒ ගැන පොලිසියට දැනුම්දී ඇත්තේ පසුදා උදෑසන 6ට පමණ ඒ අසලින් යමින් සිටි කිරි වෙළෙන්දෙකි.කෙසේ හෝ වේවා, පසුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවත් පොලිසිය වෙත විශාල විරෝධයක් එම ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූහ. ප්‍රියංකා දුරකතන ඇමතුම දීමෙන් පසු ඇයගේ සොහොයුරිය ඒ ගැන එම ප්‍රදේශයේ පොලිසියට දැනුම් දී ඇති බවත්, ඇය ගෙදරින් පැන යන්නට ඇතැයි පොලිසිය ඒ අවස්ථාවෙහි පවසා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.බොහෝ වේලාවක් ගතවනතුරු පොලිසිය මේ ගැන පියවරක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වෙයි. ඔවුන් ප්‍රියංකා සම්බන්ධයෙන් වහා පියවරක් ගත්තා නම් සමහර විට අදටත් ඇය ජීවත්ව සිටින්නට ඉඩ තිබුණු බව විරෝධතා දක්වන ප්‍රදේශවාසීන්ගේ අදහසයි.මේ වනවිට පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේද වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවුදෙනාගෙන් දෙදෙනකුගේ මවුවරුන් මාධ්‍යයට අදහස් දක්වා තිබීමද විශේෂත්වයක් විය. එක් මවක පවසා තිබුණේ තමාටත් දියණියක සිටින බවත්, තම පුත්‍රයා මෙවැනි වරදක් කර ඇත්නම් ඔහුට ඕනෑම දඬුවමක් දෙන හැටියටත්ය.මෙම සිද්ධිය ගැන මේ ආකාරයෙන් දැවැන්ත ආන්දෝලනයක් ඇති වෙද්දී එහි උණුසුම මැකී යන්නටත් පෙර තවත් අතිශය අමානුෂික සිදුවීමක් ගැන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්ද වාර්තා විය. එය සිදුව තිබුණේ පසුගිය 5 වැනි බ්‍රහස්පතින්දාය. මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ වයස අවුරුදු 23ක තරුණියකි.මෙයට මාස කිහිපයකට පෙර දූෂණයට ලක්ව සිටි තරුණියක වූ ඇය ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා ඇය එම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත යනු පිණිස නිවෙසින් පිටත් වූවාය.තරුණිය දුම්රිය ස්ථානයක් වෙත යමින් සිටියදී ඇය වෙත ආ පිරිමින් කිහිපදෙනකු ඇය පැහැරගෙන අසල වූ පාළු කැලෑවකට රැගෙන ගොස් එහිදී ඇයට පණ පිටින් ගිනි තබා ඇත.මේ වනවිට මෙම තරුණිය ඉතා බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. ඇය දූෂණය කළ බව පැවැසෙන දෙදෙනාද ඇතුළුව පස්දෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍යවරුන් පවසා ඇති අන්දමට ඇය සියයට 90ක පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එය ඉතා බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම තරුණිය ගුවන් ගිලන් රථයකින් වහාම නවදිල්ලියේ රෝහලක් වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.ඉන්දියාව සැලකෙන්නේ කාන්තාවන්ට ඉතාම අනාරක්‍ෂිත රටක් වශයෙනි. 2017 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව එහි වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 33,700කට ආසන්නය. එයින් පෙනී යන්නේ සාමාන්‍ය වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ 92කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව තුළ සිදුවන බවයි.පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවෙහි වාර්තා වූයේ මෙම සමූහ දූෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිවු දෙනාම පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව ඇති බවයි. විමර්ශන සඳහා ඔවුන් සිද්ධිය සිදු වූ ස්ථානය වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදු කළ බවත් පොලිසිය පවසා තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!