Gossip

නිළිය වැඩසටහන මැද අඬන්න ගත්තා- අදටත් ඒ නිළිය මග තොට හමුවුණත් මාත් එක්ක වැඩි කතාබහක් නැහැ – දෙනුවන් සේනාධී

දෙනුවන් සේනාධී කියන නමට වඩා දැන් කවුරුත් ඔහුව හඳුන්වන්නේ මයික් කියලා. ඒ දෙවෙනි ඉනිමේ කවුරුත් ආදරේ කරන නමක්. ඉතින් දෙනුවන්ගේ ඇස් රතුවෙන විහිලු ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට දක්වා තිබුණේ මෙවන් අදහසක්.

රූපවාහිනියෙන් දෙනුවන්ව දකින අය නම් හිතනවා ඇති දෙනුවන් නිරතුරුවම සතුටු සාගරයක කිමිදිලා ඉන්න කෙනෙක් කියලා?
ඒ සිතුවිල්ලේ වරදකුත් නැහැ. මොකද මම කොහොමත් සතුටින් ඉන්න කෙනෙක්.

ඒ කියන්නේ දෙනුවන්ට දුකක් දැනෙන්නේම නැද්ද?
මමත් දුක්වන අවස්ථා තියෙනවා. ඒත් මම මගේ දුක සතුටකට හරවා ගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

දෙනුවන් වැඩිපුරම දුක්වූ අවස්ථා මොනවාද?
අපේ රටේ කලාකරුවන්ට නිසි සැලකිල්ලක් නැහැ. ඇගයීමක් නැහැ. ඒ ගැන හිතනකොට නම් ලොකු දුකක් ඇතිවෙනවා.

නළුවකු විදියට ඔබ සිටින තැන ගැන හිතද්දී දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
ලොකු සතුටක් ඇතිවනවා. මම සිහින කුමාරයෙක් ‍නෙවෙයි. සිහින කුමාරයෙක් වුණාම කාන්තා පාර්ශ්වයේ අසීමිත ආකර්ෂණය ලැබූ නළුවෙක් වෙන්න පුළුවන්. ඒත් මට එහෙම ආකර්ෂණයක් නැහැ. හැබැයි ‍පොඩි ළමයාගේ ඉඳන් ගෑනු පිරිමි භේදයකින් තොරව හැම වයස් කාණ්ඩයකම රසිකයින් මට ඉන්නවා.

සැබෑ ජීවිතයේදීත් කැමරාව ඉදිරියේදී වගේම විහිළු තහළු කරලා අනිත් අය සතුටු කරලා තමනුත් සතුටුවන කෙනෙක්ද ඔබ ?
අනිවාර්යයෙන්ම ඔව්, ඉස්කෝ‍ලේ යන කා‍ලේ ඉඳලා විහිළු කරන්න නම් මම ගොඩක් ප්‍රසිද්ධයි.

විහිළු හින්දා දුක් වෙලා නැද්ද?
නැහැ

විහිළු දුරදිග ගිහින් ඇස් රතුවන අවස්ථා අපි කොයිකාටත් තියෙනවා. දෙනුවන් විහිළු හින්දා දුක්වෙලා නැද්ද?
මගේ විහිළුවලට. අනිත් අය දුක්වූ අවස්ථා නම් තියෙනවා.

දෙනුවන්ගේ විහිළු හින්දා වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ කලා ලෝකයේ අයද පෞද්ගලික ජීවිතයේ හිත මිතුරන්ද?
පෞද්ගලික ජීවිතයේදී අපිට සීමා අඩුයි. පාසල් ජීවිතේදී සීමාවන් හොඳටම අඩුයි. මගේ විහිළු හින්දා අනිත් අය වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ පෞද්ගලික ජීවිතයේදී. ඒ අතරිනුත් පාසල් කාලෙදි ඒ වගේ අවස්ථා වැඩියි. හැබැයි කලා ලෝකෙදීත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

කලා ලෝකෙදී දෙනුවන්ගේ විහිළුවක් හින්දා වෙනත් කෙනෙකු දුක්වූ අවස්ථා අතුරින් අමතකම නොවන අවස්ථාව මොකක්ද?
විශ්වයි මමයි මෙහෙයවන “දෙරණ රියැලිටි” තරගයකදී තමයි ඒ දේ වුණේ. ඒ සිදුවීමට සම්බන්ධ නිළියගේ නම නම් කියන්න බැහැ. වැඩසටහන අපි කොහොමත් හාස්‍ය රසය මතුකරවන විදියට තමයි කරන්නේ. ඒ හින්දම මම වැඩසටහන අතරදී අර නිළියට විහිළුවක් කළා. මගේ විහිළුව දරුණුයි කියලා මට තේරුණේ නැහැ. ඒත් අර නිළිය වැඩසටහන මැද අඬන්න පටන් ගත්තා. අදටත් ඒ නිළිය මග තොට හමුවුණත් මාත් එක්ක වැඩි කතාබහක් නැහැ.

පෞද්ගලික ජීවිතේදී සිදුවූ ඒ වගේ අවස්ථා ගැන කතාකළොත්?
පාසල් කාලෙදි තමයි ඒ වගේ අවස්ථා වැඩියෙන්ම සිදුවුණේ. එක දවසක් මගේ විහිළුවක් දුරදිග ගිහින් යාළුවෙක් මාව මරනවා කියලා පන්නගෙන ආවා. දවසක් සර් කෙනෙකුට විහිළුවක් කරලා මාව ස්ටේජ් එක උඩ දණ ගස්සලා තිබුණා.

ආදරේ හින්දා දෙනුවන් වැඩියෙන්ම විඳලා තියෙන්නේ සතුටද…. දුකද?
මගේ ප්‍රථම ප්‍රේමය විවාහය දක්වාම ආවා. ආදරේ හින්දා සතුට මිසක් දුක නම් මම විඳලම නැහැ.

වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
මගේ ජීවිතේ ගැන හිතද්දී මට නම් කියන්න තියෙන්නේ අතීතයට වඩා වර්තමානය ගොඩක් සතුටුයි. මට හොඳ බිරිඳක් ඉන්නවා. හෙට අනිද්දා මම තාත්තා කෙනෙක්. මට නම් වැඩිපුරම සතුටක් දැනෙන්නේ විවාහ ජීවිතයෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!