Gossip

“නාකොටික් සමඟ කුඩු ජාවාරම් කළ ටයිල් චමින්දගේ ගිණුමට කෝටි 37 කට අධික මුදලක් බැර වෙලා”

නාකොටික් නිලධාරීන් සමඟ එක්වී හෙරොයින් ජාවාරමේ යෙදුණ චමින්ද දයා පි‍්‍රයංකර මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද නමැති සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 37 කට අධික මුදලක් (රුපියල් මිලියන තුන්සිය හැත්තෑ තුනයි හත්ලක්‍ෂ විසිපන්දහස් තුන්සිය හතරක්) බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය ඊයේ (22 වැනිදා) මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
හෙරොයින් ග‍්‍රෑම් 500 ක් සමඟ මිනුවන්ගොඩ පොලිසිය මගින් ජුනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ, යටියන පදිංචිකරුවකු වන චමින්ද දයා ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද නමැත්තා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන අරඹා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය ඊයේ (22දා) මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැසීය.
විදේශගතව සිටින කටුනායක, කුරණ, හමුදා කඳවුර පාරේ පදිංචි සුරසිංහ ආරච්චිලාගේ ගිහාන් ෆොන්සේකා නමැති අය හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාර ගතව සිටියදී ටයිල් චමින්ද නමැත්තා මීගමුව බන්ධනාගාරයේදී ගිහාන් ෆොන්සේකාව හමුවී ඇති බවත් ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත චමින්ද නමැති සැකකරු 2018 වර්ෂයේ ජුනි මස 20 වන දින දිවුලපිටිය නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමක් අරඹා ඇති බවටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (මූල්‍ය) නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
2018 ජුනි 20 සිට 2020 ජුනි 15 වැනිදා වන විට රුපියල් මිලියන 373 යි හත්ලක්‍ෂ විසිපන්දහස් තුන්සිය හතරක (373,725,304) මුදලක් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් එම ගිණුමට බැරවී ඇති බවත් විවිධ ප‍්‍රදේශවලින් එම ගිණුමට බැරවෙන මුදල් ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත සැකකාර ටයිල් චමින්ද තෙවන පාර්ශ්වයකට ලබාදී ඇති බවත් 2020 ජුනි 15 වැනිදා වන විට එම ගිණුමේ තිබූ අවසාන ශේෂය රුපියල් එක්ලක්‍ෂ අසූතුන්දහස් හාරසිය අසූඅටක් බවට අනාවරණය වී තිබේ.
එම ගිණුමෙන් 2020 ජුනි මස 12 වැනිදා මිනුවන්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවකට චෙක්පතක් මගින් රුපියල් දසලක්‍ෂ හැටදහසක් (1,060,000) බැරවී ඇති බවත් එම මුදල බැරවී ඇත්තේ සැකකාර චමින්දට අයත් ගිණුමකට නොව වෙනත් නමක් ඇති අයෙකුගේ ගිණුමකට බවත් එම බැංකු ගිණුම් දෙක අත්හිටුවන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එම ඒකකයේ ඉල්ලීම මත බස්නාහිර පළාත් බද මහාධිකරණය මගින් එම ගිණුම් දෙක අත්හිටුවා ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.
තවද ගිහාන් ෆොන්සේකා නමැති අය ඩුබායිහි සිටින බවට සැකකාර චමින්ද ප‍්‍රකාශයක් ලබාදී ඇතත් ගිහාන් ෆොන්සේකා විදේශ ගමන් බලපත‍්‍රය උපයෝගි කරගෙන විදේශ ගතවී නොමැති බව අනාවරණය වී තිබේ. සැකකාර ටයිල් චමින්ද නමැත්තා දාගොන්න ප‍්‍රදේශයේ වෙන්දේසිකරන ඉඩමකින් කැබලි 03 ක් වෙන්කරගෙන ඒ සඳහා රුපියල් හත්ලක්‍ෂ පනස් දහසක් ගෙවීම් කර ඇති බවත් සැකකාර ටයිල් චමින්දගේ දිවුලපිටියේ පිහිටි බැංකු ගිණුමට දංකොටුව ප‍්‍රදේශයේ පදිංචි අයෙකුගේ ගිණුමකින් අවස්ථා 10 කදී රුපියල් 4,730,000 මුදලක් ලැබීම සම්බන්ධව විමර්ශනය කළ බවත් හෙරොයින් ජාවාරම්කරුවකු තැරැව්කාර ගිණුම් හිමියා මගින් සැකකාර චමින්දගේ ගිණුමට මුදල් බැරකරවන බවත් ඒ සඳහා හෙරොයින් ජාවාරම්කරු ගිණුම් හිමියාට මාසයකට රුපියල් 15000 ක් බැගින් ගෙවා ඇති බවත් අනාවරණය වී තිබේ.
2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 03(01), (අ) සහ (ආ) යන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි බැවින් වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඉදිරි විමර්ශන සිදුකර ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු (මූල්‍ය) නිලධාරීන්ට නියම කළේය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!