Gossip

නළු නිළියන්ට ඕන විදියට නෙවෙයිනේ නාට්‍ය හදන්නේ – පළමු තැන තියෙන නාට්‍යයකින් ඉවත් වෙනවානම් නම් ඒක මෝඩකමක් – සාරංග මෙන්ඩිස්

මොකක්ද මේ ශනුද්‍රි දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙන්න යනවා කියන ආරංචිය?
එහෙම වෙන්නත් නොවෙන්නත් පුළුවන්. අපේ නළු නිළියෝ තේරුම් නොගන්න දේවල් තියෙනවා. තමන් ඉවත් වෙනවා කියලා සමහරු එක එක අයට කියනවා. එයාලා කවුරු වුණත් නාට්‍යයේ තියෙන කුමන චරිතය වුණත් සදාකාලිකව තියෙන්නේ නෑ. යම් යම් සිද්ධිවලදී චරිත ඉවත් වෙනවා. ඒක සාමාන්‍ය කාරණයක්.

ඒ කියන්නේ සමහර චරිත නාට්‍යයෙන් හැලෙන්න පුළුවන් කියන එකද?
මෙහෙමයි. මේක කොටස් දාහක් යන ලොකු නාට්‍යයක්. අපි ඒකේ චරිත හැදුවා. කවුරුත් ඒ චරිත ගෙදරින් ගෙනත් රඟපෑවේ නෑනේ. අනුහස්, සමල්කා වගේ හැම චරිතයක්ම පිටපත් රචකයා, අධ්‍යක්‍ෂවරයා හදපු චරිත. ඒ චරිත ගලා යෑමට සැලැස්මක් තියෙනවා. ඒවා නළු නිළියන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. බිමල් අයියාගේ ප්‍රශ්නයේදී වුණත් ඔහු පෞද්ගලික කාරණාවක් මත ඉවත් වුණේ. ඔහු ඉවත් වුණත් අපේ නාට්‍ය තාමත් පළමු තැන තියෙන්නේ. මේක එක චරිතයක් මත රැඳෙන නාට්‍යයක් නෙවෙයි. අලුත් චරිත ගොඩනඟන්නත් අපි දන්නවා.

චරිත වෙනස් වෙන බව හෝ චරිතය අවසන් වෙන තැන ගැන රංගන ශිල්පියාව හෝ රංගන ශිල්පිනියව දැනුවත් කරන්නේ නැද්ද?
මේක මෙගා නාට්‍යයක් නිසා අපිට සම්පූර්ණ පිටපත ඔවුන්ට දෙන්න බෑ. අපි ලයින් අප් එකක් ඔවුන්ට දෙනවා. ඔවුන්ගේ චරිත ඉවත් වෙන තැන අදාළ නෑනේ. ඕන තැනකදී ඒ චරිත අයින් වෙන්න පුළුවන්. නළු නිළියන්ට ඕන විදියට නෙවෙයිනේ නාට්‍ය හදන්නේ. නළු නිළියෝ කියන්නේ එක මෙවලමක් විතරයි. ඔවුන්ගේ චරිත ගොඩනඟන්නේ අපි.

දෙවෙනි ඉනිමේ චරිතවලින් මේ වෙනකොට ප්‍රේක්‍ෂකයෝ වැලඳගත්ත චරිත තියෙනවා. ඒ වගේ චරිත වුණත් හිටිහැටියේ ඉවත් කරලා දාන්න ඔබ මැළිවෙන්නේ නැද්ද?
අවන්තගේ චරිතය දුෂ්ටයාගෙන් වීරයා වුණාම ඒකට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තා. ඒ තත්ත්වය හැදුවෙත් අපි. ලංකාවේ මිනිස්සුන්ට මේක නාට්‍යයක් කියලා තේරෙන්නේ නෑ. එයාලට හිතෙන්නේ නළු නිළියෝ හොඳට රඟපාලා තියෙනවා කියලා. පිටපත සහ අධ්‍යක්‍ෂවරයා ඔවුන්ව හසුරුවන විදිය අනුව තමයි ඒ චරිත ඒ විදියට නිර්මාණය වෙන්නේ. මේක අධ්‍යක්‍ෂවරයාගේ කලාවක්. නළු නිළියෝ කියන්නේ නාට්‍යයේ එක කොටසක් විතරයි. අපි පිටපතෙන් හදන චරිතයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. අපි උන්මාදයක් ඇති කරලා තියෙනවා. චරිත නැති වෙනවා කියලා. ප්‍රේක්‍ෂකයෝ හොයන එකත් උන්මාදයක්නේ.

වටින් ගොඩින් නැතිව ශනුද්‍රිව නාට්‍යයෙන් කපලාද කියලා කියමුකෝ?
අපි හදාගත්ත සැලැස්මක් තියෙනවා. අපි ඒක නොකීවොත් හොඳයි. කොහොම වුණත් අපි ප්‍රේක්‍ෂකයන්ව පුදුම කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔය සැලැස්මෙන් ප්‍රේක්‍ෂකයෝ විතරක් නෙවෙයි අදාළ රංගන ශිල්පිනියවත් පුදුම කරයි වගේ?
ඔව්, එයාලා මේක නාට්‍යයක් නෙවෙයි ඇත්ත කියලා හිතුවොත් පුදුම වෙයි. අපි ප්‍රේක්‍ෂකයන් අකැමැති දේවල් කරන්නේ නැහැ.

ඒත් සමල්කාගේ චරිතයට ආදරය කරන අය ඉන්නවා. ඒ වගේ චරිතයක් ඉවත් කරන්න තීරණයක් ගත්තොත් ඒක ඔබේ ඒකාධිකාරිත්වය පෙන්නුම් කරන්නක් වෙයි නේද?
සමන් එදිරිමුණි මේ කතාව ලස්සනට ලියනවා. ඒ වගේම මම සහ මගේ බිරිය අපි හැමෝම එකතු වෙලා තමයි මේ කතාව හදන්නේ. ඒකාධිකාරියක් මෙතැන ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි ප්‍රේක්‍ෂක අදහසුත් අහලා දේවල් එකතු කරගෙන තියෙනවා. කොහොම වුණත් සැලැස්මකට තමයි හැමදේම වෙන්නේ.

ඔයාලාම විතරක් දන්න සැලැස්මක් ඇතුළේ වැඩ කරද්දී කාටවත් ඔය සැලැස්ම ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න බෑනේ. හරියට ඕක නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ කතාවක් නේද?
එහෙම හොයාගන්න ක්‍රමයක් නෑ තමයි. බිමල් අයියා ඉවත් වුණු වෙලාවෙත් ඔහුගේ චරිතය නවතින සැලැස්ම තිබ්බේ පස්සේ. නමුත් ඔහුගේ තීරණය එක්ක අපිට ඒ සැලැස්ම කලින් ක්‍රියාත්මක කරන්න වුණා. අපි ආපු දෙයට මුහුණ දුන්නා. හැම චරිතයකටම ආරම්භයක් වගේම අවසානයකුත් තියෙනවා.

ඔහොම ගිහින් දෙවෙනි ඉනිමේ චරිත කොච්චර හැලිලා යයිද?
එහෙම වෙන කවුරුත් හැලෙන්නේ නෑ. හැමෝම මේ නාට්‍යයේ උනන්දුවෙන් වැඩකරන්නේ. පළමු තැන තියෙන නාට්‍යයකින් ඉවත් වෙන්න කවුරු හරි හිතනවා නම් ඒක මෝඩකමක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!