Gossip

දුම්රිය පොලක ගී ගයමින් සිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය රානු මොන්ඩාල්ට අත්වුණු ඉරණම

ගත වූ කාලය දෙස ආපසු හැරී බලන රානු ඒ අතීතය යළිදු සිහිපත් කරනවා…. “හොඳ, නරක දවස් ගත කරමින් මම සින්දු කිව්වා. මට පුළුවන් සින්දු කියන්න විතරයි. ඒ ජීවිතේට මම කැමැතියි. ලතා මංගේෂ්කාර්ගේ සින්දු තමයි මම හැම වෙලාවෙම ආභාසයට ගත්තේ. අතින්ද්‍රා මගේ සින්දුවක් වීඩියෝ කරන තුරු මගේ ජීවිතය ගත කිරීම දුෂ්කර වුණා.
උපතින් ම ධනවත්කම උරුම කරගත් ඇයට තරුණ වියේදී සිදු වුණේ අපා දුක් විඳින්නටයි.
දෙමවුපියන්ගෙන් ලද දේපළ වස්තුවට පයින් ගැසූ ඇය බාබුල් මොන්ඩාල් සමඟ විවාහ ජීවිතය ගත කළේ දුක් කම්කටොලු මැද්දේයි.
දියණියක ලද ඇයට ජීවිතය තවත් දුෂ්කර වුණේ සැමියා ගේ මරණින් පසුවයි. ජීවත් වන්නට පිළිසරණක් පැතුවේ ඉබාගාතේ යමින්, ගී ගයමින්. රානු මාරියා මන්ඩාල් නම් වූ ඇය, ඉන්දියාවේ රනුසට් දුම්රිය වේදිකාව මත ගී ගැයීමේ ‘ස්ථිර’ නවාතැන බවට පත් කර ගත්තා.
දිනපතා එහි රැඳී සිටිමින් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගී ගැයූ ඇයට එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට තරම් මුදලක් සොයා ගන්න හැකි වුණා.
රානුගේ ජීවිතය උඩුයටිකුරු වුණේ 26 වියැති පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ අතින්ද්‍රා චක්‍රබෝර්ති ඇගේ ගී ශ්‍රවණය කළ පසුවයි. ඔහු, රානුගේ මුවෙන් ගිලිහුණු ‘ඒක් ප්‍යාර් කා නාග්මා හේ’ නම් වූ ජනප්‍රිය ගීය වීඩියෝ ගත කළා. (‘ෂෝර්’ චිත්‍රපටයට ඇතුළත් වූ මේ ගීය ගැයුවේ ලතා මංගේෂ්කාර් සහ මුකේෂ්) තමන්ගේ මුහුණු පොතට එම වීඩියෝ දර්ශනය ඔහු ඇතුළත් කළේ රානුගේ ගායනය එතරම් ම මිහිරි වූ නිසයි. දින කිහිපයකින් එම වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් පිටුවලටත්, යූ ටියුබ් අඩවියටත් එක්වුණේ අතින්ද්‍රා නොසිතූ අයුරින්.
රානුගේ ගී හඬ ඇසූ බොහෝ දෙනෙකු පැවසුවේ ඇයට භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ හඬට සමාන හඬක් ඇති බවයි.
එවැනි ගායන කුසලතාවයක් ඇති නිසාම චිත්‍රපට අධ්‍යක්ෂ හිමේෂ් රෙශම්මියා, ඔහුගේ අලුත් ම චිත්‍රපටය වන ‘හැපි, හාඩි ඇන්ඩ් හීර්’ වෙනුවෙන් ගීයක් ගැයීමට රානු එක් කර ගත්තා. ඇයට ඒ අවස්ථාව උදා වුණේ ඉන්දීය රියැලිටි වැඩසටහනක සුපිරි ගායන තාරකාවිය බවට පත්වීමේ ප්‍රතිඵලය හැටියටයි.
එතැනින් පසුව රානු මොන්ඩාල් යන නමින් රසික ජනතාවගේ ප්‍රසාදය දිනාගත් ඇය, විවිධ ගී ප්‍රසංගවල ජනප්‍රිය ම ගායිකාව බවට පත්වුණා. ඇය මෙවැනි ජනප්‍රියත්වයකට පත් වුණේ මාස 2ක් වැනි සුළු කාලසීමාවකදී වීම විශේෂත්වයක්.
නමුත්, හිටි හැටියේ ම සුපිරි තරුවක් බවට පත්වූ රානු වෙත ඇදී ගිය රසික ප්‍රසාදය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව බොලිවුඩ් ආරංචිවල සටහන් වෙනවා. ඇය රසික රසිකාවන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙලා. මෑතකදී ඇතිවූ සිදුවිම් කිහිපයක් එයට මුල්වුණා. රානු සුපිරි සාප්පු සංකීර්ණයක යමක් මිලට ගනිමින් සිටිද්දී තමන් වෙත පැමිණි රසිකාවකට ඇය ප්‍රතිචාර දැක්වූ අයුරු එයින් එක් අවස්ථාවක්. රානුව දුටුව ඒ රසිකාව, තම දියණිය සමඟ ඇය අසලට පැමිණ ඇගේ උරහිසට තට්ටු කළා.
රානු වහාම පිටුපස හැරී බැලුවා. සිනහ මුවින් රානුව ඇමතූ රසිකාව තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ආයාචනා කර සිටියා. නමුත්, රානුගෙන් ඇයට ලැබුණේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක්. වහාම ඇගේ අත පසෙකට ඇද දැමූ රානු, “මොනවද මේ කරන්නෙ? මොකක්ද මේකෙ තේරුම?” යනුවෙන් අසමින් රසිකාවට බැණ වැදුණා. මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝ දර්ශනය මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරනවා. මෙවැනිම අප්‍රසන්න සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ අසන්නට ලැබුණු බවයි, බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ජනප්‍රියත්වයේ ඉහළට ‍ගමන් කරමින් ‘රනසාට් හි ලතා’ යන අන්වර්ථ නාමයෙන් රසික ජනතාව ආදරයෙන් හැඳින්වූ මේ ගී තාරකාවගේ හැසිරීම අද බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වෙලා. මෙතෙක් ඇයව ප්‍රිය කළ රසික පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට දෝෂාරෝපණය කරන්න පටන්ගෙන තිබෙනවා. ඇතැම් රසික රසිකාවන් පවසන්නේ හිටි හැටියේ ජනප්‍රියත්වයට පත්වූ ඇයට, ඒ තත්ත්වය දරා ගැනීමට අපහසු වූ බවයි.
“ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබුණාමයි. ඉගෙන ගත්ත කෙනෙක් මෙහෙම කරන්නෙ නැහැ. ඒ වගේම කෙනෙක් දන්නව, තමන්ගේ රසික පිරිසගෙ වටිනාකම.”
එක්තරා රසිකයකු ට්විටර් පිටුවෙහි එම සටහන තබා තිබුණා.
මේ, තවත් රසිකයකුගේ ට්විටර් සටහනක්… “රානු ජනප්‍රිය නොවුණු කාලෙක එයා අකමැති වුණේ නැහැ, නාඳුනන කෙනෙකු තමන් ගීයක් ගයන හැටි වීඩියෝ කරනවට. දැන් ඉතින් එයා ජනප්‍රියයිනෙ. ඉස්සර වගේ පින්තූර ගන්නවට කැමති නැහැ.”
කෙසේ වෙතත් ඇතැම් අය රානුගේ මේ අහංකාර හැසිරීමට විරුද්ධ නැහැ. ඇය වෙනුවෙන් කතා කරන රසික රසිකාවන් පවසන්නේ රසිකයන් වුවත් ජනප්‍රිය කෙනකුට අමතන්නේ කෙසේදැයි අවබෝධ කර ගත යුතු බවයි. “නාඳුනන කෙනෙක් මගේ පිටට තට්ටු කළොත් මාත් ඔය විදිහට ප්‍රතිචාර දක්වනවා.” එක් රසිකාවක එලෙස පවසා තිබුණා.
මේ අතර නැවුම් ආරංචියක දැක්වෙන්නේ සුපිරි නළු සල්මන් ඛාන්, රානුට ඉන්දීය රු. ලක්ෂ 55ක් වටිනා නිවෙසක් තෑගි කර ඇති බවයි. තෑග්ග පිරිනමමින් ඔහු ඇගේ ගායන දිවියට තවත් ‘තල්ලුවක්’ ලබාදී තිබෙනවා. ඒ, ඔහු නිෂ්පාදනයෙන් දායක වන ‘ඩා බාග් – 3’ චිත්‍රපටයේ ගීයක් ගැයීමට එක් කර ගැනීමෙන්. කෙසේ වෙතත් රානුගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතින්ද්‍රා චක්‍රබෝර්ති (රානුගේ ගීය මුහුණු පොතට එක්කළ තැනැත්තා) පවසන්නේ රානුට සල්මන්ගෙන් නිවෙසක් තෑගි නොලැබුණු බවයි. “මේක බොරු ආරංචියක්. රානුට එහෙම ගෙයක් නම් ලැබ‍ුණෙ නැහැ. හැබැයි, රනඝාට් පළාත් පාලන ආයතනයෙන් නම් රානුට ගෙයක් හදාගෙන යනවා. දවස් කීපයකට කලින්, ඒ.ආර්. රහ්මාන් සංගීත අධ්‍යක්ෂවරයාගේ ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා. ඒ කෝල් එකෙන් දැන්නුවේ ගායක සෝනු නිගම්, රානු එක්ක ගීයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි. දැනට අපි ඒ ගැන කතාබහ කරමින් ඉන්නවා.” අතින්ද්‍රා තවදුරටත් කීවේ රානුට සජීවී ප්‍රසංග රැසකම ගී ගැයීමට ආරාධනා ලැබී ඇති බවයි.
රානු තම කළමනාකරු ගැන කතා කළේ ප්‍රශංසාත්මකවයි. “හුඟ දෙනෙක් මාත් එක්ක වැඩ කරන්න ආපු එක ගැන මට සතුටුයි. අතින්ද්‍රා මගේ මේ වැඩ කටයුතු හැම දෙයක්ම හොයා බලනවා. මගේ වයසෙ හැටියට (අවුරුදු 59) මේ වැඩ තේරුම් ගන්න එක හරිම අමාරුයි. මට ෆෝන් එකක්වත් නැහැ. ඉතින්, අතින්ද්‍රා මට මග පෙන්වනවා. එයා මගේ පුතෙක් ව‍ගේ.”
ගත වූ කාලය දෙස ආපසු හැරී බලන රානු ඒ අතීතය යළිදු සිහිපත් කරනවා…. “හොඳ, නරක දවස් ගත කරමින් මම සින්දු කිව්වා. මට පුළුවන් සින්දු කියන්න විතරයි. ඒ ජීවිතේට මම කැමැතියි. ලතා මංගේෂ්කාර්ගේ සින්දු තමයි මම හැම වෙලාවෙම ආභාසයට ගත්තේ. අතින්ද්‍රා මගේ සින්දුවක් වීඩියෝ කරන තුරු මගේ ජීවිතය ගත කිරීම දුෂ්කර වුණා.”
අද රානු මොන්ඩාල් කෙතරම් ජනප්‍රිය වූවත් ඇයට, ඇගේම යැයි කිව හැකි ඥාතීන් හෝ සොයුරු සොයුරියන් නැහැ. දියණියක සිටියේ යැයි කලින් පැවසුණ ද අද ඇයට දියණියකද නැහැ. පදික වේදිකාවේ ගී ගයා බොලිවුඩ් සිනමා ලොවටද පා තැබූ රානු මේ ලොව තනි වූ ගැහැනියක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!