Gossip

දැනුත් මගෙ ළඟට ආවොත් ආයෙමත් බබළවන්න මට පුළුවන් – දමිත් අසංක ජනප්‍රිය වෙන්න වෙන්න ඔහුව පාලනය කරන්න අපට බැරි වුණා – ආචාර්ය උපුල් ජයසිංහ

මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දමිත් අසංක ගායකයෙක් විදියට ජනප්‍රිය වෙන්නෙ නිල්වලා ලේබලයේ කැසට් පටයෙන්. නිල්වලා ආයතනයේ හිමිකරුවා ඔබ. ඔබට කොහොමද මේ දමිත් අසංක කියන ගායකයා හම්බවෙන්නෙ?

මට මුලින්ව දමිත් අසංකව හමුවෙන්නේ මගේ කාර්යාලයේ සේවය කරපු ප්‍රියාන් පතිරණ කියන ගායන ශිල්පියා හරහා. දමිත් අසංකගේ ගීතයක් මට මුලින්ම අසන්න ලැබුණා. මට මතක විදියට ඒක ඔහුගේම ගීතයක් නෙවෙයි වෙනත් ගායකයෙකුගෙ ගීතයක්. ඒ අනුව මම ඔහුට එන්න කිව්වා. එන්න කියල සිතේ පෙම් පුරා කියන කැසට් එක මුලින්ම කළා. ඒක තමයි මට මතක විදියට දමිත් අසංකගෙ පළවෙනි කැසට් එක.

ඔබ ඇයි දමිත් අසංකව කැසට් එකක් කරන්න තෝරගත්තේ. මොකක්ද ඔහුගෙ තිබුණෙ විශේෂත්වය?
ඒක මට පෞද්ගලිකයි. මට හිතුණොත් මේ පුද්ගලයා මේ රටේ යමක් කරන්න පුළුවන් කියලා මම ඒක කරනවා. මම කැමති දේවල් තමයි මම කරන්නේ. එහෙම කරන දේවල් අති මහත් බහුතරයක් අතරට යෑම මොකක් හරි විශේෂත්වයක්. නාමල් තෝර ගනිද්දි මට හැමෝම හිනා වුණා. ශෂිකා මඟුල් ගෙදරක ජය මංගල ගාථා කියද්දි තමයි සංගීත ක්‍ෂේත්‍රයට කැඳවන් ආවේ. එතකොට ඇයට අවුරුදු 12 යි. ඒ නිසා ඇයගේ පියා තමයි මගෙත් එක්ක ගිවිසුම් අත්සන් කළේ. අමිලා නදීශානි සුපර් ස්ටාර් අවසන් වටයට එද්දිත් මම ඇයගේ ගීත 8ක් රෙකෝඩින් කරලා තිබුණෙ. රොමේෂ් සුගතපාල, ක්‍රිෂාන්ත එරන්දක ගෙනාපු හැටි පෞද්ගලිකව මගේ රුචිය පරිදි වෙච්ච දෙයක්. ඒ දේවල් ගොඩක් සාර්ථක වුණා. මගෙන් හැම තිස්සෙම වෙලා තියෙන්නෙ අලුත්ම අයට ආලෝකයක් ලබා දීම. මේකත් එහෙම දෙයක්. මේ පුද්ගලයන්ගෙ සාර්ථකත්වය හරහා මටත් ආලෝකයක් වගේම යම් යම් ආර්ථික වශයෙන් දෙයක් ලැබුණා. ඒ අයත් ජනප්‍රිය වුණා. ඒකෙ දෙපැත්තක් තියෙනවා. ඒක මම ඉදිරියටත් කරගෙන යනවා.

ඒකට අජිත් මුතුකුමාරණගෙ තිබුණ සම්බන්ධය මොකක්ද?
අජිත් මුතුකුමාරණත් එක්ක සාකච්ඡා කරලා සකුරා රේන්ජ් සංගීතයට තමයි කැසට් එක කළේ.

ගායකයෙක් විදියට දමිත් අසංක ජනප්‍රිය වෙද්දි ඒක නිල්වලා ආයතනයට බලපෑවෙ කොහොමද?
දමිත් අසංක අපි ළඟට එද්දි නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, අජිත් මුතුකුමාරණ, චන්දන ලියනාරච්චි, අසංක ප්‍රියමන්ත වගේ ගොඩක් ගායකයො රැසක් අපිත් එක්ක හිටියා. ඒ අතර ඔය වගේ අලුත් අයටත් තැන දීගෙන යන ගමනෙදි හම්බ වෙච්ච එක ශිල්පියෙක් තමයි දමිත් අසංක. ඔහුගේ කැසට්පටයෙන් සෑහෙන ප්‍රමාණයක් අලෙවි වුණා. ඒ අනුව ඒ ගීතත් අතිශයින් ජනප්‍රිය වුණා. අපේ ආයතනයේ ගමනෙදි ඒකත් විශේෂ කැසට්පටයක් වුණා කියන්න පුළුවන්.

සමාජ මාධ්‍යවල පළවුණා දමිත් අසංකගේ කැසට්පටය ජෝතිපාලයන්ගේ කැසට්පටයටත් වඩා අලෙවි වුණා කියලා. කැසට්පටයේ හිමිකරුවා ඔබ. සමාජ මාධ්‍යවල පළ වුණ ඒ කතාවෙ සත්‍ය අසත්‍යතාව මොකක්ද?
එහෙම බැලුවොත් ගුණදාස කපුගේලට, නාමල්ලට, චන්දනලට, අසංකලට, අජිත් මුතුකුමාරණට, ප්‍රින්ස්ට යන කල මොකක්ද? ඒ හැමෝටම කියන්න පුළුවන් ඔය කතාව. ඔහොම කියන එකත් අපරාධයක්. ඒ අදහස සමාජගත කරන්න හදන අය කරන්නෙ ලොකු අපරාධයක්. එච්.ආර්. ජෝතිපාල කියන්නෙ මේ අයට කිට්ටුවටවත් යන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. සංස්කෘතිකමය වශයෙන් බැලුවොත් ජෝතිපාල කියන්නෙ ආගමක්. ජෝතිපාල අදහන පුද්ගලයෝ ඉන්නවා. ජෝතිපාලට දශමයකින්වත් ළං වෙන්න බැරි පුද්ගලයින් ජෝතිපාලට සමාන කරල පුම්බන්න හදනව නම් ඒක ඒ ගායන ශිල්පියාට කරන අසාධාරණයක්. ජෝතිපාලයන්ට ඉන්න රසික ප්‍රමාණය සහ මේ ගායන ශිල්පීන්ට ඉන්න රසික ප්‍රමාණය බැලුවොත් මම හිතන්නේ එයින් ලක්‍ෂයකින් එකක්වත් නෑ. ඔය චෝදනා යෝජනා කරන කිසි කෙනෙක් ජෝතිපාලවත්, දමිත් අසංකවත්, නාමල්වත් හම්බ වෙලා නැතුව ඇති. අපි මේ හැමෝම ආශ්‍රය කරපු අය හැටියට අපි දන්නවා ජෝතිපාලයන්ට, විජය කුමාරතුංගයන්ට, ගාමිණී ෆොන්සේකාට, ගුණදාස කපුගේට සමාන කරන්න යෑමත් මම හිතන්නෙ අපරාධයක්. මේ අයව අබිබවා යන්න නොවෙයි ළං වෙන්නවත් පුළුවන් කියල කවුරු හරි කියනව නම් මේ අයගෙ නිෂ්පාදකවරයා විදියට මම ඒක තරයේ හෙළා දකිනවා. මේ කැසට්පට, සීඩී තැටි ගිය ආකාරය දන්නෙ මම විතරයි. ඒව ගැන නොදැන අහක ඉඳන් දුරකතනයක් අතට අරන් ෆේස්බුක් එකක් හදාගත්ත පළියට මේ රටේ දැවැන්ත ප්‍රතිරූපවලට ගරහන්න හදනව නම් ඒක මහා නින්දිත ක්‍රියාවක්. මේකට මම එකඟ නෑ.

දමිත් අසංක නිල්වලා ආයතනයත් එක්ක කැසට් කීයක් කළාද?
4ක් කළා.

ඒව සිද්ධ වුණේ කොහොමද?
පළවෙනි කැසට් එක දමිත් අසංකත් එක්ක එකතු වෙලා තමයි කළේ. මුල් කැසට්පට දෙකම සකුරා රේන්ජ් සංගීතයෙන් තමයි නිකුත් කළේ. ඊට පස්සේ දමිත් අසංකගෙ වෙනස් වීම හරහා අජිත් දමිත් අසංක ව්‍යාපෘතියෙන් අයින් වුණා.

ඒ කිව්වේ?
අජිතුයි, මමයි තමයි දමිත් අසංකව ජනප්‍රිය කළේ. දමිත් අසංකගේ යම් යම් ක්‍රියා කලාපයෙන් පස්සේ අජිත් මුතුකුමාරණ දෙවැනි කැසට් එකෙන් පස්සේ අයින් වුණා. ඔය විදියට දමිත් අසංක ජනප්‍රිය වෙන්න වෙන්න ඔහුව පාලනය කරන්න අපට බැරි වුණා. ඔහුට ඔහුගේ ජීවිතය පාලනය කරගන්න බැරි වුණා. ඔහු අපෙන් ටික ටික ඈත් වුණා. ඒක ඉතාමත් ඛේදජනකයි. අපි ආයතනය ඇතුළේ යම් විනයක් සහිතව තමයි වැඩ කරන්නේ. ඒකෙන් ඒ අයගේ ජීවිතයටත් ආලෝකයක් උදාවෙනවා. නොදැනිම දියුණු වෙනවා. එහෙම වුණාම ඔවුන්ට විදේශ සංචාර, සංගීත ප්‍රසංග වගේ දේවල් නොඅඩුව එනවා. එහෙම වුණාම ඒව පාලනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් අයත් ඉන්නවා. එහෙම යන්න බැරි අයත් ඉන්නවා. ඒකෙන් ඔවුන්ගෙ සංගීත ජීවිතේ විනාශ වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. වෙනත් සම්බන්ධතා ඇතිකර ගන්නවා. මේවට විරුද්ධ වෙද්දි මිනිස්සු අපෙන් ඈත් වෙනවා. අපිට බැරිම තත්ත්වයක් ආපුවාම අපිත් ඒ අයව අයින් කරල දානවා.

දමිත් අසංකට මේ වගේ ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කියල දැන ගත්තාම ඔබට මොකද හිතුණෙ?
දමිත් අසංක පහුගිය කාලෙ කියල තිබ්බා ගමට වෙලා ගොවිතැනක් බතක් කරගෙන හිටපු මාව කොළඹ ගෙනත් ජනප්‍රිය කරලා උපුල් ජයසිංහ මාව විනාශ කළා කියලා. ඒ වගේ අසාධාරණ කතා ඇහෙද්දි මම එයාලා ගැන හොයන එක නැවැත්තුවා. ඒක නිසාම මම දමිත් ගැන හොයන එක සහ විපරම් කරන එක නවත්වල දැන් වසර ගණනාවක් වෙනව. මම හිත රිදව ගන්න කැමති නැති පුද්ගලයෙක්. දමිත් අසංක කියන්නෙ පෞරුෂයක් තියෙන හොඳ හඬක්. මට දැන් ඕක ආරංචි වෙලා දවස් දෙක තුනක්. ඒත් මම ඒක ගණන් ගත්තේ නෑ. දරුවො දඟ වැඩ කරයි කියලා දෙමව්පියන්ට තරහා වෙන්න බෑ. දමිත් අසංක ඔය තියෙන නරක වැඩ අත ඇරලා දැනුත් මගෙ ළඟට ආවොත් මම දන්නවා ඔහු නැවතත් මේ රටේ බබළවන්න. ඒ දේ උදාවෙයි කියලා මම සුබවාදීව බලං ඉන්නවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!