Gossip

දැන් මම නිවුන් දූවරු දෙන්නෙක්ගේ මවක් – මේ සැරේ ලංකාවට ආවේ ලංකාවේ ඉන්න බලාගෙන – අරුණි රාජපක්ෂ

විවාහයෙන් පස්සේ විදේශගත වුණ ඔබ කාලයකට පස්සේ ලංකාවට ඇවිත්?
මම 2015 වසරේ අන්තිම භාගයේ විදේශගත වුණා. විවාහයෙන් පස්සේ තමයි මම සැමියා එක්ක එංගලන්තයේ පදිංචියට ගියේ. අවුරුදු තුනක් එංගලන්තයේ හිටියා. ඒත් බොහෝ වෙලාවට අවුරුද්දකට හතර පස් වතාවක්ම ලංකාවට ඇවිත් ගියා අම්මා, තාත්තා පවුලේ අය බලන්න.

ඒ වසර තුනක කාලය බොහොම නිදහසේ ගෙවන්න ඇති නේද?
ඇත්තටම මම විවාහ ජීවිතයට මුල් තැන දීලා ඒ ජීවිතේ වගකීම් ඉෂ්ට කරගෙන ඒ වගේම ට්‍රැවල් කරලා පෞද්ගලික ජීවිතය උපරිම වින්දා. ලංකාවේ ඉන්නකොට වැඩත් එක්ක කාර්යබහුල ජීවිතයක්නේ ගත කළේ. නමුත් විදේශගත වුණාට පස්සේ අනෙක් වැඩ මුකුත් නැතිව නිදහසේ කාලය ගත කළා.

අරුණි විදේශගත වුණේ සැමියාගේ රැකියා කටයුතු නිසාද?
මගේ සැමියාගේ ස්ථිර පදිංචිය වෙලා තිබ්බේ එංගලන්තයේ. එයා අවුරුදු විස්සකට වඩා පදිංචි වෙලා හිටියේ එහේ. විවාහ වෙද්දීම මම දැනගෙන හිටියා මටත් එයා එක්ක විදේශගත වෙන්න වෙනවා කියලා. එයා එහේ හිටියත් ලංකාවට ආසයි. ඒකයි අපි ලංකාවට ආවේ. මගේ සැමියා ව්‍යාපාරයක උපදේශකවරයෙක්. ඉතිං ලංකාවට ආවත් එයාට එහේ යන්න එන්න සිද්ධ වෙනවා.

රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රිය වෙමින් හිටිය කාලවකවානුවක විදේශ ගත වෙන්න අරුණි කැමැති වුණාද?
විවාහය කියන දේ බොහොම වැදගත් දෙයක්. විවාහය කියන්නේ තරුණියකට දෙවැනි උපත වගේ. හැමදේම නිසි කාලේ නිසි විදියට වෙන්න දෙන්න ඕන. ජීවිතය ලස්සනට ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕන. මමත් ඒකට ඉඩ දුන්නා. ජනප්‍රියත්වය ලැබෙන කාලේ විදේශ ගතවීම අපරාදේ කියලා මම පසුතැවෙන්නේ නෑ. පවුල් ජීවිතය විඳපු එක ජීවිතයට අත්‍යවශ්‍ය සුන්දර පැත්තක්. මම ඒ ජීවිතය උපරිම වින්දා.

ඔබ රඟපාපු පත්තිනි චිත්‍රපටය තිරගත වෙන්නේ ඔබ ලංකාවෙන් ගියාට පස්සේ. චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවත් විඳින්න ඔබ ලංකාවේ හිටියේ නැහැ. ඒ ගැන දුකක් නැද්ද?
ඇත්තටම මගේ හිතවත් අය කතා කරලා මට විවිධ ප්‍රතිචාර ලබාදුන්නා. ලංකාවේ හිටපු නැති නිසා සියයට සියයක් ප්‍රතිචාර විඳින්න ලැබුණේ නැහැ. නමුත් මම ලංකාවේ නොහිටියත් මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. ප්‍රතිචාර විඳින්න ලංකාවේ ඉන්න බැරි වුණු එක ගැන දුකක් නැත්තෙමත් නෑ. නමුත් ඒ වෙනකොට අලුත් ජීවිතයක වෙනම කඩඉමක හිටියේ. මම ඒ අත්දැකීම උපරිමයෙන් වින්දා. ප්‍රතිචාර විඳින්න ලංකාවේ ඉන්න තිබ්බා නම් කියලත් හිතෙනවා. මගේ රංගනය අගය කළ, රස විඳපු, ඒ ගැන කතාකරපු හැමෝටම මම මේ වෙලාවේ ස්තූති කරනවා.

ඔබ ලංකාවේ නොහිටිය කාලේ ඔබට සම්මානනීය ඇගැයුමකුත් ලැබුණා.
දෙරණ සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය මට ලැබිලා තිබුණා. මම රටෙත් නැති වෙලාවක තමයි මට ඒ ඇගැයුම ලැබිලා තිබුණේ. මේ වෙලාවේ දෙරණටත් ස්තූතිවන්ත වෙනවා.

අරුණිගේ ජීවිතේ සහකරුවා කවුද, ඔහු කොහොමද අරුණිට මුණගැහුණේ කියලත් කියමු?
එයාගේ නම නලින් සමරවික්‍රම. මගේ නැන්දාගේ පුතා එංගලන්තයේ හිටියේ. නැන්දගේ පුතයි මගේ සැමියයි හොඳ යාළුවෝ. නැන්දා තමයි නලින්වයි මාවයි මුණගැස්සුවේ.

අරුණි ජීවිතයට තෝරාගත්ත කෙනා ගැන අද මොකද හිතෙන්නේ?
මම ජීවිතයේ ගත්ත සියයට දෙසීයක් නිවැරැදි තීරණය තමයි මේ අරගෙන තියෙන්නේ. පතාගෙන ආපු කෙනා තමයි ඒ. මම හරිම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුණු එක ගැන.

මෙදාසැරේ ලංකාවට ආවේ ලංකාවේ නවතින්නම බලාගෙනද?
ඔව්. මේ සැරේ ලංකාවට ආවේ ලංකාවේ ඉන්න බලාගෙන.

අරුණි ලංකාවට එන්නේ ජීවිතයේ සුන්දර භූමිකාවක කොටස්කාරියකුත් වෙලා. ඒ භූමිකාව ගැනත් කියමු?
දැන් මම නිවුන් දූවරු දෙන්නෙක්ගේ මවක්. බිරියක් මවක් විදියට මම දැන් අංග සම්පූර්ණයි. එකපාර දරුවෝ දෙන්නෙක්ගේ සුරතල් බලන්න මම වාසනාවන්ත වුණා. තාම අපේ දුවලා දෙන්නට මාස හතරයි. ඒ දෙන්නාත් එක්ක ගෙවන ජීවිතෙත් හරි සුන්දරයි.

දුවලා දෙන්නට නම් තිබ්බද?
ඔව්. දියාරා සහ ඉනාරා කියලා තමයි එයාලට නම තිබ්බේ.

දුවලා දෙන්නා ඔබ වගේ කියලා ද සැමියා වගේ කියලද වැඩිපුර ප්‍රතිචාර?
දුවලා දෙන්නාගෙන් එක්කෙනෙක් හස්බන්ඩ් වගේ. දෙන්නම මම වගේ කියලාත් කියනවා. ඊටත් වඩා හස්බන්ඩ් සහ මම එක වගේ කියලාත් බොහෝ අය කියනවා.

විදේශගත වෙලා ඉද්දි දරුවෝ දෙන්නගෙම වැඩරාජකාරි අරුණිටම කරන්න සිද්ධ වුණානේ. කොහොමද ඒ අත්දැකීමට මුහුණ දුන්නේ?
ඒ වගකීම් දරන්න හුරු වෙන එක ගැහැනියකගේ ඇඟෙන්ම එන දෙයක්. මමත් ගෘහණියක් වෙලා උයන්න පිහන්න ගේ ‍දොර බලාගන්න, දරුවෝ ලබලා ඒ වගකීම් දරන්න හරිම ආසාවෙන් හිටපු කෙනෙක්. බබාලව බලාගනිද්දි ගෙදර වැඩ කටයුතුවලදී මගේ සැමියාගෙන් සියයට සියයක සහයෝගය ලැබුණා. මම හරිම වාසනාවන්තයි. ඒ වගේ සැමියෙක් මට ලැබුණු එක ගැන. බබාලාට මාස දෙකක් වගේ වෙද්දි තමයි අපි ලංකාවට ආවේ. දැන් නම් බබාලව බලාගන්න ගොඩක් අය ඉන්නවා.

දැන් ඔබ ආයෙත් රංගන කටයුතුවලට එකතු වෙයිද?
ආයෙත් වැඩවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. දිග විරාමයක් ගත්තනේ. දැන් මට කලා නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි.

නිවේදන කටයුතුවලටත් ආරම්භය තියන්න අදහසක් තියෙනවද?
තාම ඒ ගැන හිතුවේ නැහැ. තාම ගොඩක් අය මම ලංකාවට ඇවිත් කියලා දන්නේ නැහැ. එහෙම ආරාධනාවක් ලැබුණොත් වෙලාව කළමනාකරණය කරගෙන කරන්න පුළුවන් වෙයි.

අරුණි ආයෙත් රඟපානවාට කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාට සැමියා කැමැතිද?
එයාගේ අකැමැත්තක් නෑ. අපි දැන් විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. එයා මාව හොඳට තේරුම් අරන් ඉන්නවා. එයා මම රඟපාපු චිත්‍රපටවත්, මගේ ෆැෂන් ෂෝවත් දැකලා තිබ්බේ නෑ මුලින්. අපි විවාහ වුණාට පස්සේ තමයි එයා ඒ දේවල් දැන ගත්තේ. මම කොහොමද වැඩ කටයුතු කරන්නේ කියලා එයා දැන් දන්නවා.

රංගනයට අලුත් ආරාධනා ලැබුණාද?
එක චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ගොඩක් අය අහනවා වැඩ කරන්න කැමැතිද කියලා. කාලයකට පස්සේ මම ලංකාවට ආවත් මාව විශ්වාස කරලා මට වැඩ කරන්න ආරාධනා කරන පිරිසක් ඉන්නවා.

ඒ කියන්නේ ලංකාවේ නොහිටියට අරුණිව කාටවත් අමතක වෙලා නැහැ?
මමත් හිතුවේ මාව අමතක වෙයි කියලා. ඒත් තාම මාව අමතක වෙලා නැහැ. ඒක වාසනාවක්. තාමත් පත්තිනි චිත්‍රපටයට ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක තාමත් මම බොහෝ දෙනාගේ මතකයේ ඉන්නවා කියලා හිතනවා.

මොනවද ජීවිතේ ඉදිරි සැලසුම්?
හොඳ දුවලා දෙන්නෙක් අනාගතයට හදන්න ඕන. දුවලා දෙන්නා හරියට හැදුවොත් තව පරපුරක් හැදෙනවා. කොච්චර කාර්යබහුල වුණත් පවුල් ජීවිතයට සියයට සියයක වගකීම ඉෂ්ට කරන්න මම කැප වෙනවා. ඒ අතරතුරේ වෙලාව කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!