Gossip

“දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක එක ජොබ් එකක් කරගෙන ඉන්න අමාරුයි.මට ඕන වුණේ රැල්ලට යන්න නෙවෙයි”

මේනකා මධුවන්ති කියන්නේ පුවත් මවන චරිතයක්.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

මේනකා අලුත් වැඩක් ආරම්භ කළා කියලා ආරංචියි?
ඔව්. මම මගේම කියල රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තා. සැලෝන් මේනකා නමින් කඩවත තමයි එය පටන් ගත්තේ. ගොඩක් අය මගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කළා මෙහෙම දෙයක් පටන් ගන්න කියලා. ඉතිං ඒක හැබෑ කරන්න ටික කාලයක් ගියා. මොකද නිකම්ම දෙයක් කරන්න බැහැ. හැදෑරීමක් කරලා තමයි මම රූපලාවණ්‍යාගාරය පටන් ගත්තේ.

රංගන ශිල්පිනියන් රූපලාවණ්‍ය ශිල්පිනියන් වෙන එක දැන් රැල්ලක් වෙලානේ. මේනකාත් එල්ලුණේ ඒ රැල්ලේද?
ඕන කෙනෙක් දෙයක් ආවොත් ඒ දේ වැලඳගන්නවා කියන එක ඇත්ත. හැබැයි මට ඕන වුණේ රැල්ලට දෙයක් කරන්න නෙවෙයි. මම කවදත් ලස්සනට අඳින, සැරසෙන කෙනෙක්. ඒ නිසාද දන්නේ නෑ ගොඩක් ප්‍රශ්න මට එන්නෙත්. කොහොම වුණත් මම අඳින පලඳින විදියට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඉතිං මම හිතුවා මම හැඩවෙන විදියට අනෙක් අයවත් හැඩ කරන්න ඕන කියලා. රැල්ලට නොයා කරන දෙයක් හරියට කරන්නයි මට ඕන වුණේ.

කොහොම වුණත් රංගන ශිල්පිනියක් ලෙස ලබපු ජනප්‍රියත්වයෙන් ව්‍යාපාරයට එළියක් වැටෙයි නේද?
ඔව්. සාමාන්‍ය රූපලාවණ්‍ය ශිල්පිනියකට වඩා රංගන ශිල්පිනියකට අවස්ථා වැඩි වෙන්නේ අපිව බොහෝ අය හඳුනන නිසා. ඒකත් එක්ක අපිට වැඩි ආලෝකයක් ලැබෙනවා. නමුත් අනෙක් පැත්තෙන් අභියෝගයක් තියෙනවා. අපි ජනප්‍රිය නිසා කරන දේ හරියටම කරන්න ඕනේ.

රංගන ක්‍ෂේත්‍රයේ වැඩ අඩුවෙලා මේනකා වෙන පැත්තක් තෝරා ගත්තා කියලා කවුරු හරි කිව්වොත්?
මම කවදාවත් රංගන ජීවිතය වෘත්තිය කරගන්න කැමැති වුණේ නැහැ. මට ඕන වුණේ ව්‍යාපාරිකාවක් වෙන්න. මම කලිනුත් ව්‍යාපාරයක් පටන් ගත්තා. මම ලැබෙන දේ, මම කරන දේ හරියට කරන කෙනෙක්.

රංගනය වෘත්තිය ලෙස තෝරාගන්න අකැමැති ඇයි?
ඒ මට සල්ලි තියෙන නිසා නෙවෙයි. අපිට හැමදේම කරන්න බැහැ. මම ලැබෙන ඕන දෙයක් භාරගන්නෙත් නැහැ. එහෙම වුණා නම් මට හැම නාළිකාවෙම ඉන්න තිබ්බා. මම රංගනයෙන් ගොඩක් කාර්යබහුල වෙන්නත් කැමැති නැහැ. මට ලැබෙන පොඩි පොඩි චරිත කරගෙන හැම නාට්‍යයෙම පේන්න ඉන්න අකැමැති නිසා ඒකෙන් අපිට පවතින්න ටිකක් අමාරුයි. ඒකයි මම මගේම ව්‍යාපාරයක් කරන්න කැමැති.

පොඩි පොඩි චරිත කරන්නේ නෑ කිව්වේ ලොකු කමටද?
අනේ නැහැ. මම ප්‍රධාන චරිත සුළු චරිත කියලා ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. මම ලැබෙන දේ හරියට කරන්න මහන්සි වෙනවා. මම කැමැති පුංචි චරිතයක වුණත් මතක සිටින දෙයක් කරන්න.

මේනකා ව්‍යාපාරිකාවක් වෙන්න කැමැති වුණේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් නිසාද?
මෙහෙමයි. ඕනෑම තැනක තරගකාරිත්වයක් තියෙනවා. ඇත්තටම දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක එක ජොබ් එකක් කරගෙන ඉන්න අමාරුයි. මම ලස්සනට හොඳ තත්ත්වයෙන් සතුටින් ඉන්න කැමැති කෙනෙක්. ඉතිං ව්‍යාපාරිකාවක් විදියට මට ඒ අවශ්‍ය ජීවිතය ගත කරන්න පසුබිම නිර්මාණය කර ගන්න පුළුවන්.

මේනකා ව්‍යාපාරික භූමිකාව ඇතුළේ සාර්ථක චරිතයක් වෙයිද?
ඒ වගේ අධිෂ්ඨානයක් තියාගෙන තමයි මම වැඩ කරන්නේ. අපිට හඳට යන්න ඕන වුණොත් මඟට ගිහින් හරි එන්න පුළුවන්නේ. ඉතිං මට දියුණු වෙන්න පුළුවන් කියන අධිෂ්ඨානය තියාගෙන මම වැඩ කරන්නේ.

ව්‍යාපාරිකාවක් වෙලා රංගනය අතහැරලම දායිද?
නැහැ. මම රංගන ශිල්පිනියක් ලෙස ඉන්න කැමැතියි. මට ගැළපෙන හොඳ චරිත ලැබුණොත් මම හැම දේම සමබරව කරගෙන යනවා.

නපුරු චරිතවලින් අෑත් වෙනවා කියලා නේද මේනකා කිව්වේ?
මට කාලයක් එක දිගට සැරපරුෂ චරිත කරන්න තමයි ලැබුණේ. ඉතිං මම සැරපරුෂ කෙනෙක් කියලා ප්‍රේක්ෂකයෝ හිතයි කියලා මම බය වුණා. ඉතිං මට ඕන වුණේ වෙන චරිතයකින් ඉන්සරහට එන්න. ඒත් මම කරපු නාට්‍ය කිහිපයක් තියෙනවා. ඒවා තාම විකාශය වුණේ නැහැ. මම සැරපරුෂ චරිතවලින් ඈත් වෙන්න විරාමයක් නොතිබ්බා නම් හොඳයි කියලා හිතනවා.

සිනමා නිර්මාණ පැත්තෙන් අලුත් යමකට සම්බන්ධ වුණාද?
හෙක්ටර් කුමාරසිරිගේ ‘අනෝරා’ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒකේ මීඩියා ෂෝ එක තිබ්බා. ඒකටත් ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබුණා. මම සිනමාවට ගොඩක් කැමැතියි. අපිට ලොකුවට අවස්ථා නැහැ. නමුත් මම නිර්මාණ පහකට විතර සම්බන්ධ වුණා. ඒ චිත්‍රපට එන්න තියෙනවා.

ඒ චිත්‍රපට එළියට ආවාම මේනකාට තව වැඩ කිඩ පෙන්නන්න පුළුවන් වෙයි නේද?
අනිවාර්යයෙන්ම.

දැන් මේනකා පෙම්වතියක්නේ. පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්නේ නැද්ද දැන්ම?
ඒ හැම දෙයක්ම හරි කාලෙදි කියන්නම් නේද? තව ටිකක් ඉවසලා ඉමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!