Gossip

දසුන් නිශාන්ගේ මරණය අපිට දරාගන්න අපහසු වුණා – නිමන්ති පෝරගේ

නිමන්තිගෙ කලා ජීවිතේ ආරම්භය ගැන මතක් කළොත්?
පුංචි කාලෙ ඉඳලම කලාව ගැන මට ලොකු උනන්දුවක් තිබුණා. පාසල් කාලයේදීත් මං ඩාන්සින් කළා. ඒ අනුව තමයි මං ටෙලි නාට්‍ය රංගනයට යොමු වුණේ. මගේ පළමුවැනි ටෙලි නාට්‍ය වුණේ “කස්තිරම” කියන ටෙලි නාට්‍යය. එය තමයි මී මුරේ කරපු පළමු වැනි ටෙලි නාට්‍යය. ඉතින් එතැනින් ආරම්භ කරපු ගමන ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න මට පුඵවන් වුණා. මේ වෙද්දී මට මතක විදියට මං ටෙලි නාට්‍ය සියයක පමණ රඟපාලා තියෙනවා.

දැන් රඟපෑමෙන් ඈත්වෙලා නිෂ්පාදන කටයුතු විතරක් කරනවා කියලයි අපිට හිතෙන්නෙ?
ඔව්. ඒකෙත් ඇත්තක් තියෙනවා. මොකද අපට ගැළපෙන චරිත අඩුකමත් සමඟ යම් තරමකට රඟපෑමෙන් දුරස්වීමක් තියෙනවා. අනෙක් එක අපි නිෂ්පාදනය කරන හැම ටෙලි නාට්‍යයකම මං රඟපාන්නම ඕනෑ කියලා හිතන්නෙත් නැහැ. ගැළපෙන චරිතයක් තිබුණොත් රඟපානවා.

මොනවද මේ දිනවල කෙරෙන නිර්මාණ කටයුතු?
මේ දවස්වල හිරු නාළිකාවේ අපේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. එයින් “අහස් මාලිගා” නම් දැන් අවුරුදු දෙකක් තිස්සේ විකාශනය වෙනවා. “හතේ කල්ලිය” නාට්‍යයත් මාස අටක් පමණ විකාශනය වෙනවා. මේ දෙකටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

බොහෝ පිරිසක් මෙගා ටෙලිනාට්‍යවලට බණිනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම නම් එහෙම වරදක් දකින්නෙ නැහැ. මොකද අපේ නාට්‍ය මෙගා කියල අපි ආවාට ගියාට කරන්නෙ නැහැ. දැඩි කැපවීමකින්, උනන්දුවකින් හොඳට කරනවා. ඊළඟ කාරණය තමයි කාලෙන් කාලෙට යන රැල්ලක් තියෙනවා. ඉතින් ඒ රැල්ලත් එක්ක අපට යන්න සිද්ධ වෙනවා. මේ කාලෙ කොටස් පනහක නාට්‍යයක් කරන එක නිෂ්පාදකයකුට පාඩුයි. මොකද මේ කාලෙ ලොකු ගණන්වලට චැනල්වලින් නාට්‍ය ගන්නෙ නැහැ. ඉතින් නාට්‍යයක් යම් ජනප්‍රියත්වයකට එද්දී චැනල්වලින්ම කියනවා ඉදිරියට ගෙන යන්න කියලා. හැබැයි කරන දේ කොලිටි එකට කරන එක තමයි වැදගත්ම දේ.

තමන්ගෙ ටෙලිනාට්‍ය ජනප්‍රිය කරගන්න චැනල්, චැනල් තරග කරනවා නේද?
ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඕනෑ චැනල් එකක් බලන්නෙ තමන්ගෙ නාළිකාවේ යන ටෙලි නාට්‍ය අංක එකට ගන්න. ඉතින් ඒකට අපටත් දායක වෙන්න වෙනවා.

කාර්යබහුල ශිල්පිනියක් විදියට විවේකයක් ලැබුණාම මොකද කරන්නෙ?
ඇත්තටම විවේකයක් නම් ලැබෙන්නෙම නැති තරම්. මොකද නිෂ්පාදන කටයුතු තියෙනවා එයට අමතරව බබාලා දෙන්නගෙ වැඩ තියෙනවා. මේ වැඩත් එක්ක කොහොම හරි විවේකයක් දාගත්තාම කොහේ හරි ගිහින් ඇවිදලා එන එක තමයි කරන්නෙ.

ලංකාවේ සම්මාන උළෙලවල් ගැන මොකද හිතෙන්නෙ?
අපේ රටේ සම්මාන ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. ඒ සම්මානවලින් සියයට පනහක් විතර තමයි වැඩකට ඇති සම්මාන තියෙන්නෙ. ඔය සමහර සම්මාන බෙදිල යන විදිය ගැන මේ ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා. ඒ නිසා අපේ රටේ සම්මාන ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ.

ඔබේ කාලයේ ශිල්පීන් සහ දැන් බිහිවන ශිල්පීන් ගත්තාම ඔබට මොනවද හිතෙන්නෙ?
දැන් ඕනෑ තරම් මේ ක්ෂේත්‍රයට එනවා. නුගේගොඩ පැත්තෙ රවුමක් ගහලා ආවොත් හතරවටේ නඵ නිළියො ඕනතරම් හමු වෙනවා. ඒක නොවෙයි රංගනය කියන්නෙ. එදා රංගන ශිල්පිනියන්ට තිබුණු වටිනාකම අද එන අයට ලැබෙන්නෙ නැහැ. අනෙක් එක දැන් කරන චරිත මතකයේ රැඳෙන්නෙ නැහැ. ඒ වගේම අද තරුණ ශිල්පීන් නිර්මාණය තුළ නැහැ. එයාල කරන්නෙ ආවා. දෙබස් ටික පාඩම් කරගෙන කිව්වා ගියා. අනෙක් එක බොහෝ දෙනෙක් ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැහැ. කිසිම නම්‍යශීලී බවක් නැහැ. විනයක් නැහැ. එහෙම වුණාම රැඳීම අඩුයි. ආවා ගියා. ආවා ගියා.

තරුණ ශිල්පීන් වැඩිහිටි චරිත නිරූපණයෙන් ප්‍රවීණ ශිල්පීන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
එහෙම ප්‍රශ්නත් තිබෙනවා. හැබැයි අද කාලේ බොහෝ පිරිසක් කැමැති මාපියන්ගෙ චරිතවලටත් තරුණ අය ඉන්නවට. ඉතින් එහෙම බැලුවාම ඒ දේ කරන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ කාලෙ තමයි අවුරුදු විසි ගණන්වල ළමයින්ට අවුරුදු පනහෙ හැටේ අය ගත්තේ. අද එහෙම බැහැ. සමහර විට ඕක ඉන්දියාවෙන් ආපු ආභාසය වෙන්න පුඵවන්.

නිමන්තිට තවම සැබෑ කරගන්න බැරි වූ සිහිනයක් තිබෙනවද?
ඔව්. මමයි මගේ සැමියටයි ලොකු හීනයක් තියෙනවා. ෆිල්ම් එකක් කරන්න. මං හිතන්නෙ ඒ හීනය තවම ගොඩක් දුරයි කියලා. හැබැයි හැකි ඉක්මනට ඒ හීනය හැබෑ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ.

ක්ෂේත්‍රයේ අමතක නොවන සිදුවීමක් ගැනත් මතක් කළොත්?
දසුන් නිශාන්ගේ මරණය අපිට දරාගන්න අපහසු වුණා. මොකද දසුන් මැරෙන්න පැය භාගයකට කලිනුත් අපි එයාට මැසේජ් එකක් දැම්මා අපේ පින්කමකට එන්න කියලා. ඒ මැසේජ් එක දාලා පැයකට විතර පස්සෙ තමයි අපිට ආරංචිය ආවේ එයා මැරුණයි කියලා. ඒ වෙද්දි එයා අපේ නාට්‍ය දෙකක රඟපාමින් හිටියේ. ඉතින් වෙන කෙනෙක් දාලා ඒ නාට්‍ය කරද්දිත් අපිට දරාගන්න බැරි වුණා.

ලංකාවේ කලාකාරියක් වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ කාලෙ නම් ඒක භාග්‍යයක්. ඒත් අද නම් ලංකාවේ කලාකාරයෙක් වීම ඛේදවාචකයක් කියලා තමයි කියන්න තියෙන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!