Gossip

‘’දවසක් මගේ ටීචර් කිව්වා මම කවදාහරි දවසක ලෝකය වෙනස් කරනවා කියලා. ඒ මොහොතේ නම් මම ඒක විශ්වාස කළේ නෑ. ඒත් දැන් මට හිතෙනවා මම දැනටමත් එතැනට ළංවෙලා කියලා..”

‘දවසක් මගේ ටීචර් කිව්වා මම කවදාහරි දවසක ලෝකය වෙනස් කරාවි කියලා. ඒ මොහොතේ නම් මම ඒක විශ්වාස කළේ නෑ. ඒත් දැන් මට හිතෙනවා මම දැනටමත් එතැනට ළංවෙලා කියලා.‘එසේ කියන්නේ සුප්‍රකට ‘ටයිම්ස්‘ සඟරාව ඉතිහාසයේ පළමුවතාවට තෝරා ගත් ‘වසරේ විශිෂ්ටතම දැරිය‘ ගීතාංජලී රාඕ ය. 15 හැවිරිදි ඇය 2020 වසරේ විශිෂ්ටතම දරුවා‘ ලෙස ටයිම්ස් සඟරාව පසුගියදා තෝරා ගත්තේ අමෙරිකාවේ පදිංචි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අතිවිශිෂ්ට දස්කම් දක්වන අවුරුදු 8 – 16 අතර දරුවන් පන්දහසක් අතරිනි. අවසන් පස්දෙනා අතරට තේරීමෙන් පසු ඇයට තරගයක් තිබුණේම නැත.

අවුරුදු 97ක් පැරැණි ‘ටයිම්ස්‘ සඟරාව පළමු වතාවට වසරේ විශිෂ්ටතම දරුවා සොයා යෑමේ මෙහෙයුම ඇරඹූයේ කුඩා වියේදීම අමෙරිකාවට කීර්තියක් අත්කර දුන් දරුවන් දිරිගැන්වීමේ අභිලාෂයෙනි. ඒ සඳහා විද්වත් විනිසුරු මණ්ඩලයක් ද පත් කරමින් මේ කාර්යයට අත ගැසීමෙන් ඉන්දීය සම්භවයක් ඇති ගීතාංජලී මෙන්ම තවත් දරු දැරියන් රාශියක් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වී තිබේ.

ඉතා හුරුබුහුටි ප්‍රසන්නශීලී සිනහවකින් මුව පුරවාගෙන සිටින ගීතාංජලී ‘වසරේ දැරිය‘ ලෙස නම් කිරීමට ලොකුම සාධකය වූයේ ළමා විද්‍යාඥවරියක ලෙස ඇය විසින් සොයා ගනු ලැබූ නව නිමැයුමක් නිසාවෙනි. එය සිදු කරද්දී ඇය 12 හැවිරිදි වියෙහි පසුවූ බවත් කිව යුතුමය.

එවකට ඇය පදිංචිව සිටි මිචිගන් නුවර ෆ්ලින්ට් පළාතේ පානීය ජල ගැටලුවක් සම්බන්ධව පුවතක් රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයෙන් දැකීම ඇයට මේ නව සොයා ගැනීමට ලැබූ උත්තේජනය විය. ජලයේ අඩංගු සංඝටක මැන බැලීමත්, එහි ගුණාත්මකබව බ්ලූටූත් ආධාරයෙන් හඳුනා ගැනීමට හැකි අයුරින් කාබන් නැනෝ තාක්ෂණය උපයෝගි කරගෙන ඇය මේ මෙවලම නිර්මාණය කළාය. අනතුරුව ඇය එය ‘ටෙතිස්‘ ලෙස නම් කරනු ලැබුවාය. ඒ වනවිටත් විද්‍යාඥවරියක වීමේ සිහිනය දකිමින් සිටි ගීතාංජලීට එය අනාගතය පැහැපත් කරගැනීමට කදිම අඩිතාලමක් දමා දුන්නේ එයින් වසරකට පසු අමෙරිකාවේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානයත් අත්කර දෙමිනි. ඒ වෙනුවෙන් ඇයට අමෙරිකානු ඩොලර් විසිපන්දහසක මුදල් ත්‍යාගයක් ද හිමිවිය. ඒ වසරේදී අන්තර්ජාතික ‘ෆෝබ්ස්‘ සඟරාව තෝරනු ලැබූ අවුරුදු 30න් පහළ හොඳම පුද්ගලයන් තිස්දෙනා අතරටත් ඇය එක් වූවාය.

ගීතාංජලිගේ මාපියන් වන භාරති සහ රාම් රාඕ ඉහළ අධ්‍යාපනික පසුබිමක් සහිත වූවෝ වෙති. ඔවුහු සිය දියණියගේ නොඉවසිලිවන්ත උත්සාහයටත්, ඇය සතු බුද්ධියටත් සාධාරණය ඉටු කරමින් නිරතුරුවම දිරිය සපයති. ඔවුන්ට අනුව දියණිය විද්‍යාව සහ තාක්ෂණය භාවිත කරමින් සමාජයීය වෙනසක් ඇරැඹීම ගැන සිතීම අරඹා ඇත්තේ දෙවැනි හෝ තුන්වැනි පන්තිවල ඉගෙනුම ලබමින් සිටියදීය. අන්තර්ජාලයේ විශාලතම අර්බුදයක්ව ඇති සයිබර් හිරිහැර කල් තියා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් සේවාවක් ලොවට හඳුන්වා දීමට ඇය සමත් වූයේ 10 හැවිරිදි වියේදීය. එම මෘදුකාංගය ඇය නම් කළේ ‘කයින්ඩ්ලි‘ ලෙසිනි.

කුඩා වියේ සිටම ලෝ ප්‍රකට මාරි කියුරි විද්‍යාඥවරිය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන ගීතාංජලීට විද්‍යාඥවරියක වීමේ අදහස ඇති වූයේ එමඟිනි. ‘අම්මාත්, තාත්තාත් වගේම ඉන්දියාවේ ඉන්න මගේ ආච්චිලාත් මට ගොඩාක් උදවු කරනවා. ‘ලැබෙන නිවාඩුවේදී ඉන්දියාවට යෑමට ගීතාංජලී දක්වන්නේ පුදුමාකාර ආසාවකි.

‘මගේ ඉන්දීය වීරවරිය ඉන්දිරා ගාන්ධි හිටපු අගමැතිතුමියයි. අපි දෙන්නම උපන්නේ එකම මාසේ එකම දවසේ. මට ඒකට හරිම සතුටුයි. ඇය වැඩ කළ හැටි, ඇගේ නායකත්වය, ධෛර්යසම්පන්න භාවය හරිම ඉහළයි. මමත් කවදාහරි ඒ වගේ වෙනවා.‘ ඇය සිනාසෙමින් කියන්නීය.

‘ඉන්දියාවේ ජල ගැටලුව ඉතා බරපතළයි. මිනිසුන්ට පානීය ජලය ප්‍රමාණවත්ව නොලැබීම ගැන මම වැඩිපුර කරුණු ඉගෙන ගත්තේ ඉන්දියාවෙන්.

පියානෝ වාදනයටත්, ඉන්දීය ශාස්ත්‍රීය නර්තනය හා ගායනය මෙන්ම පිහිනුම් හා කඩුහරඹ ක්‍රීඩාවටත් දස්කම් දක්වන ගීතාංජලී බොලිවුඩ් චිත්‍රපට නැරැඹීමටත් අමතක නොකරන්නීය.

‘මම ඉංග්‍රීසි උපසිරැසි යෙදූ ඉන්දියානු චිත්‍රපට නරඹනවා. ළඟදි ෂාරුක් ඛාන් හමුවෙන්නත් මට අවස්ථාවක් ලැබුණා. මම මෙතෙක් කාලයක් කතාබහ කළ වඩා පරාර්ථකාමී පුද්ගලයා ඔහුයි. එය පුදුම හමුවීමක්. මමත් ඉදිරියේදී ඔහු වගේ සමාජ සුබසාධන වැඩසටහන්වලට එක්වෙනවා.

‘ප්‍රියංකා චොප්රාටත් මම හරි ආසයි. ඇය මෑතකදී මට ‘ට්විටර්‘ පණිවුඩයකුත් එව්වා. යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරියක විදිහට ඇය ලොව පුරා විවිධ සුබසාධන වැඩසටහන්වලට එක්වෙනවා. ඇයත් ආදර්ශවත් කාන්තාවක්.”

‘ටයිම්‘ සඟරාවේ ‘වසරේ විශිෂ්ටතම දරුවා‘ ලෙසින් ගෞරවයට පාත්‍රවූ ගීතාංජලී එම සඟරාවේ කවරයටත් පෙනී සිටියේ සම්මුඛ සාකච්ඡාවක් ද ලබා දෙමිනි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ එම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ලෝ ප්‍රකට නිළි ඇන්ජලීනා ජොලි විසිනි.

ගීතාංජලීගේ බුද්ධිමත් පිළිතුරුවලින් තමා අතිශය විමතියට පත්වූ බව එම සම්මුඛ සාකච්ඡාවෙන් පසු ඇන්ජලීනා කියා සිටියාය. ඇය කීවේ මේ දැරිය සමඟ කතාබහ කරද්දී අවුරුදු 60ක් තරම් වයසක පසුවන පරිණත විද්‍යඥයකු සමඟ කතාබහ කරමින් සිටින ආකාරයක් ඇයට දැනුණු බවකි.

උපුටගැනිම – සිළුමිණ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!