Gossip

“දවසකට ව්‍යායාම කරන්නේ පැය දෙකයි. අවුරුද්දක් නිකන් හිටියත් මේ ඇඟට මොකුත් වෙන්නේ නෑ. මට ඇඟේ හයිය වගේම හිතේ හයියත් තියෙනවා.උදව් කරන්නේ ඩිලන්ත මාලගමුව”

ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව පිළිබඳ කතාබහට ලක්වන්නේ හරි අඩුවෙන්ය.
මෙරට කායවර්ධන ක්‍රීඩාව ගැන කතා වන්නේද කවුරුන් හෝ කී‍්‍රඩකයෙකු අමාරුවන් ඇග හදාගෙන පදක්කමක් දිනූ පසුය.
එහෙම අමාරුවන් ඇග හදාගෙන තම උපන් රටට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයෙකු පිළිබඳ පසුගියදා රටම නොව මුළු ලොවම කතා බහට ලක්විය.
ඒ ආසියාවේ කලූ සිංහයා ලෙසින් විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ්ය.
ලූෂන් ගැන ලොවම කතා කරන්නට හේතු වූ කාරණයක් තිබුණි. ඒ පසුගියදා තායිලන්තයේ චියන්මා නුවරදී පැවැති 10 වැනි ලෝක ශූරතා කායවර්ධන ශූරතාවලියේදී රටවල් 52ක ක්‍රීඩකයින් 100කට අධික පිරිසක් පරාජයට පත් කරමින් කිලෝග‍්‍රෑම් 100 බර පන්තිය යටතේ තරග වදිමින් ශූරතාව දිනා ගැනීමට ලූෂන්ට හැකි වීමය.
එය ශ‍්‍රී ලංකා කායවර්ධන ඉතිහාසයේ කායවර්ධන කී‍්‍රඩකයෙකු ලෝක ශූරතාවක් දිනූ ප‍්‍රථම අවස්ථාව විය. එදා එම තරගාවලියේ අවසන් වටයේදී ලූෂන් සමග ඉන්දියාවේ හිබ්ජූර් රහ්මාන්, හංගේරියාවේ ජෝර්ජ් සිකෝ, ඉරානයේ මෙයිසන් මිමාජෆාර්බේඩි සහ ඉරාකයේ මොහොමඞ් අබ්බාස් යන කී‍්‍රඩකයෝ කරට කර තරග කළේය. එහෙත් ඒ සෑම රටකටම වඩා ඉහළින් ශ්‍රී ලංකා නාමය ඔසවා තැබීමට ලූෂන්ට හැකියාව ලැබිණි.
කෙසේ වෙතත් ලූෂන් මෙවර දිනුවේ ලෝක ශූරතා කිරුළකි. එය කායවර්ධන ඉතිහාසයේ අමරණීය සලකුණක් සටහන් කිරීමකි. එහෙත් ලූෂන් යනු කායවර්ධන සම්මෙලනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ හැල හැප්පීම් වලට මුහුණදුන් ක්‍රීඩකයෙකි මෙම ජයග‍්‍රහණය පිළිබඳ සහ කායවර්ධන ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ලූෂන් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වා තිබුණා.

‘ආසියානු ශූරතාවය දිනුවට පස්සේ මගේ අරමුණ වුණේ ලෝක ශූරතා තරගාවලියට තරග කරන එක. ඒක වෙනුවෙන් තමයි මම පුහුුණුවීම් කළේ. හරියාකාරව පුහුණුවීම් කරලා කොහොම හරි ඒක මගේ රටට ගේන්න පුලූවන් වුණා. කවදා හරි අනිවාර්යයෙන් මම ලෝක ශූරතාවක් ගේනවා කියන අදහස මගේ හිතේ තිබුණා. මේ මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඉටුවීමක්.’

ලූෂන් මීට පෙරද ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූවෙකි. ඔස්ට්‍රේලියාවේ වියානා නුවර පැවැති 09 වැනි ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියේදී රිදී පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
ඒ යුරෝපීය රටකදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පදක්කමක් දිනූ එකම ක්‍රීඩකයා ලෙසද ලූෂන් එදා කායවර්ධන ඉතිහාස පොතට ඇතුළු වෙමිනි.
ඉන් පසු ආසියානු කායවර්ධන ශූරතාව තමන් සතුකර ගැනීමටද ලූෂන් පුෂ්පරාජ් සමත් විය.
එහෙත් ඒ කිසිදු ජයග‍්‍රහණයක් පිළිබඳ ආඩම්බරවීමට ලූෂන්ට හැර වෙනත් කිසිවෙකුට අයිතියක් නැත.
ඒ ලූෂන්ට මේ දක්වා ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයෙන් කිසිදු අකාරයේ අතදීමක් සිදුකොට නොමැති නිසාය.

සම්මේලන තිබියදී ක්‍රීඩකයන් තනිවම ගොස් ජයග‍්‍රහණ රැගෙන එන්නේ නම් ක්‍රීඩා සම්මේලන වලින් පලක් නැත. ක්‍රීඩා අමාත්‍යංශවලින්ද පලක් නැත.
මීට පෙර ජයග‍්‍රහණයක් ලැබූ අවස්ථාවක ලූෂන් මෙවැනි කතාවක් කීවේය. ‘මගේ ජයග‍්‍රහණ මම තනියම දුක් විඳලා ගත්තු ඒවා. මට සම්මේලනයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි ඉදිරියේදී මට දෙයක් ලබා දුන්නොත් මම ඒක භාරගන්නවා’ යැයි ලූෂන් එදා කීවේය.
වසරකට වඩා පැරණි වුවද ඒ කතාව එහෙමම අදටත් වලංගුය. මේ දක්ව ලූෂන්ට සම්මේලනයෙන් හෝ අමාත්‍යංශයෙන් ලැබුණු දෙයක් නැත. තමන්ට සම්මේලනයෙන් කැපිල්ලක් ඇත්දැයි ලූෂන්ගේ ජයග‍්‍රහණයෙන් අනතුරුව දිවයින විමසන ලදුව ඔහු කීවේ ‘සම්මේලනය මේ දක්වා ජතික මට්ටමේ ශූරතාවකට එක්කගෙන ගිහින් නැහැ.
ඉතින් අපිට සම්මේලනය දිහා බල බල ඉන්න බැහැ. ඒ සම්මේලන දිහා බල බල ඉන්නවට වඩා හොඳයි අපි අපේ දක්‍ෂතාවයෙන් ප‍්‍රයෝජන අරගෙන ජයග‍්‍රහණ අරන් එන එක.’ කියාය.
කෙසේ වෙතත් මේ වනවිටදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාව ඇතුළු ප‍්‍රධාන පෙලේ තරගාවලි කිහිපයකට සහභාගි වීම සඳහා නිල වශයෙන් ලූෂන්ට අරාධනා කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මෙලනය තීරණය කර තිබේ. ලූෂන්ද ඒ සඳහා යහපත් ප‍්‍රතිචාර දක්වා තිබේ. ‘සම්මේලනය මාව සම්බන්ධ කරගන්නාවානම් අනිවාර්යයෙන්ම ඉදිරි තරග සඳහා මම සම්මෙලනය හරහා සහභාගි වෙනවා. සම්මේලනයත් එක්ක මගේ කිසිම ඝට්ටනයක් නැහැ. වෛරයකුත් නැහැ. අපි හමෝම ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන්. ලබන අවුරුද්දේ ජූලි මාසයේ සහ සැප්තැම්බර් මාසයේ මගේ ඊළග තරග තියෙනවා. මම දැන් සූදානම් වෙන්නේ ඒ තරග වෙනුවෙන්. කොහොම හරි මම ඒකටත් තරග කරනවා.’
ලූෂන් තරග වැදුණේ කිලෝග‍්‍රෑම් 100 බර පන්තිය යටතේය. එවැනි බර පන්තියක් යටතේ තරග වැදීමට නම් යෝධ ශරීරයක් අවශ්‍ය වේ. එවැනි ශරීරයක් හිමිකරගැනීම සහ නඩත්තු කිරීමද සුලූපටු කරණක් නොවේ. ‘මේ වගේ ඇගක් හදාගන්න පෝෂ්‍යදායි ආහාර ගන්න ඕනේ. අපේ රටේ ගොඩක් පෝෂ්‍යදායි ආහාර තියෙනවා. හරි ආකාරයෙන් පුහුණුවීම් කරන්න ඕනේ. නිසියාකාරව ශරීරය පාලනය කළොත් තමයි මේ ආකාරයේ ශරීරයක් හදාගන්න පුලූවන්. සාමාන්‍යයෙන් දවසට පැය දෙකක් විතර තමයි මම පුහුණුවීම්වල නිරතවෙන්නෙ.
සමහර වෙලාවට උදේ හවස පුහුණුවීම් කරනවා. ඒක වෙනස්වෙනවා ශරීරයේ ස්වභාවයත් එක්ක. හැමදාම ජිම් එකට නොගියා කියලා මේ ඇගට මොකුත් වෙන්නෙත් නැහැ. අපේ ඇග වගේම හදවතත් ශක්තිමත් කරගෙන තමයි අපි මේ ඉන්නේ. අවුරුද්දක් ව්‍යායාම නොකර හිටියත් අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ.’
ඇත්තෙන්ම ලූෂන් යනු ශ්‍රී ලංකා නාමය ජත්‍යන්තරය දක්වා රැගෙන ගිය කී‍්‍රඩකයෙකි. ඔහු වෙනුවෙන් කී‍්‍රඩා අමාත්‍යංශය කළ යුතු රාජකාරි අද වනවිට සිදු කරන්නේද තවත් කී‍්‍රඩකයෙකු අතිනි. මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට වැටි ඇති අගාධ තත්ත්වය වේ. මලල කී‍්‍රඩකයින්හට පවා ලබාදුන් පෝෂ්‍යදායි ආහාරවෙල කී‍්‍රඩා අමාත්‍යංශය විසින් කප්පාදු කර තිබෙන අවදියක ලූෂන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණු ප‍්‍රතිලාභ මොනවාදැයි ඇසූවිට ඔහු මෙසේ කීවේය. ‘මාසෙට මගේ පෝෂ්‍යදායි ආහාර වලට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වැය වෙනවා. එක තරගාවලියකට සූදානම් වෙද්දී සමාන්‍යයෙන් ලක්‍ෂ දහ අටක් විස්සක් විතර යනවා. දැනට මට සුලූ මුදලක් ලැබෙනවා ඩිලන්ගෝ ටැක්සි එකෙන්.
ඒ කියන්නෙ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගෙන්. ඔහු තමයි දැනට මට අනුග‍්‍රහය දක්වන්නේ. ඔහුගෙන් ලැබෙන මුදල හැරුණම ඉතිරි වියදම් ඔක්කොම මගේ අතින් තමයි කරගන්නේ. මම වෙනත්
රැකියාවක් කරන්නෙ නැහැ. කාය වර්ධනය තමයි දැන් මගේ වෘත්තිය ම්ටටමට පත්වෙලා තියෙන්නේ. ජයග‍්‍රහණය අරන් ලංකාවට අවට පස්සේ ක්‍රීඩා අමාත්‍යංශය මට කතාකරලා සුබ පැතුවා. එයාලා සමහරවිට මට උදව් කරයි. එහෙත් දැනට ඒක හරියටම කියන්න බැහැ.’
ලූෂන් කුඩා කාලයේදීම ඔහුගේ පියා මෙලොව හැර ගියේය. පියා අහිමිවීමෙන් අනතුරව ආච්චි අම්මාගේ රැකවරණයෙ යටතේ හැදුණු ලූෂන් පසු කලෙක කුවේට් රජ්‍යයේ රැකියාවයකට ගියේය. එහිදී ලූෂන් රැකියා ස්ථානයේ ප‍්‍රධානිය තමන්ගේ අනුග‍්‍රාහකයා බවට පත්කර ගනිමින් ශ්‍රී ලංකාවට හොරෙන් ශ්‍රී ලංකාව දිනවීමට කටයුතු කළේය. එහෙත් අවාසනාවකට එම රටේදී දිනු කිසිදු කුසලානයක් මෙරටට ගෙන ඒමට ලූෂන්ට නොහැකි විය. ඒ ඔහුට අනුග‍්‍රාහකත්වය දැක්වූ ආයතන ප‍්‍රධානියා ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු කරමින් ලූෂන් දිනූ කුසලාන ඔහුගේ ආයතනයේම තබා ගත් බැවිණි.
ලූෂන් මීට පෙර ලැබූ ජයග‍්‍රහණ පිළිගත නොහැකි යැයි ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනය ප‍්‍රකාශ කර තිබුණි. ඊට හේතුව ඔවුන් දන්වා තිබුණේ ලූෂන් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයට පිටින් කියාය. මීට අමතරව ලූෂන් කී‍්‍රඩා කරන්නේ තහනම් උත්තේජන ලබා ගනිමින් යැයිද ඔවුන් චෝදනා කර තිබිණි. ඇතැම්විට මෙවරත් ලූෂන් හට එවැනිම චෝදනාවකට ලක්වීමේ අවදානමක් නැතුවද නොවේ. ඊට පිළිතුරු ලෙස ‘තහනම් උත්තේජක කියන එකයි සප්ලිමන්ට් කියන එකයි ලොකු විෂයක්. ඒක ගැන සුලූවෙන් කතා කරන්න බැහැ.
ඒ නිසා ලෝක කුසලානයකට වගේ ලොකු තරගායවලියකට යනකොට අනිවාර්යයෙන් තහනම් උත්තේජක සම්බන්ධයෙන් පරීක්‍ෂණයකයට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි මේ පාර යදිදිත් එහෙම පරීක්‍ෂණයකට මුහුණ දුන්නා. එකේ කිසි ගැටලූවක් නැහැ.’ යැයිද ලූෂන් කියා සිටියේය.
වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම මහ අලකලංචියකි. නමුත් වැඩිපුරම කතාවනනේ කි‍්‍රකට් කී‍්‍රඩාව ගැනය. ඒ මේ රටේ බහුතරයම දන්නා කී‍්‍රඩාව වන්නේ කි‍්‍රකට් නිසාය. එහෙත් කී‍්‍රඩා අමාත්‍යංශයේ ලියා පදිංචි ක්‍රීඩා සංගම් 61ම දුවන්නේ මේ අලකලංචි මධ්‍යයේය. කී‍්‍රඩකයෝ ස්වශක්තියෙන් පිටරට ගොස් ජයග‍්‍රණ රැගෙන ආ අවස්ථා ඕනෑතරම් පසුගිය වකවානුවේ වාර්තා විය. පාරමී වසන්තිලාද, ශ‍්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමද, පැරා ඔලිම්පික් පදක්කම් ලාභි ක්‍රීඩකයෝද ඒ අතර වෙති. මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යාංශය සහ කි‍්‍රඩා ඇමතිවරයා අත ගැසිය යුත්තේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවටද එසේ නැතිනම් රටට ජයග‍්‍රහණ ගෙනදිය හැකි ක්‍රීඩාවලටදැයි නැවතවරක් සිතා බැලිය යුතු යැයි අපි යෝජනා කර සිටිමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!