Gossip

“තාත්තා ලඟ ගඳයි කියලා දුව මට යන්න දෙන්නේ නෑ – මුණුපුරාට වැඳලා රු.18ක් ඉල්ලගත්තේ” – කොන්දොස්තරගෙන් රුපියල ඉල්ල හැඬූ අම්මාට රණවිරුවා මුළු පඩියම දන්දෙයි

30 වසරක යුධ බිය තුරන් කරපු රණවිරුවා ගැන දැන් කතාවෙන්නේ ගොඩක් අඩුවෙන් වුණාට ඇත්තටම අපි කතා කළ යුත්තේ ඔහු ගැනයි.

ඒ ඔවුන් ගැනවත් නොහිතා රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ ජීවිතය පවා පූජා කරන්න ඉදිරිපත් වුණ නිසායි.

ඒ වගේම තමයි අපි මේ කියන්න යන කතාවෙන් ඔබට වැටහෙයි අවුරුදු 30 ක් තිස්සේ අපිව යුද්ධයකින් ගලවාගත්ත රණවිරුවා ඔවුන්ගේ සේවය අවසන් කර නොමැති බව.

මේ කියන්න යන්නේ මුහුණුපොතේ හුවමාරු වූ කතාවක් ගැන.

මේ කතාව කියවන් යද්දි ඔබට තේරෙයි රණවිරුවා කියන්නේ ඇත්තටම ජාතියේ පිනට මිනිස්සුන්ගේ පිනට පහළ වූ දෙවියෙක් කියලා.

මේ එම සටහනයි.

මේ තවත් බස් කතාවක්ම නොවෙයි!
රුපියලකට නාහෙන් අඬපු අම්මා
– දුක හිතෙන අය කියවන්න එපා –
______________________________________
පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා.. ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ..

විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

“ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..

මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

“පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”

“මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට”

මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..

වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..

බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..

ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..

අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..

මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.

“මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසනීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.”

මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..

ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා..
“මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”

“අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා..

ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..

ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා..

මම නිකමට ඒ අයියගෙන් ඇහුවා.
“පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..

මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..

තව දෙයක්..
අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා..

එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා..

ඒත් මේ අයියා මට කිව්වේ,
එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා..

ඒ වචන ඇතුලෙම තිබුණා
පෞරුෂය
තේජාන්විතකම
ගෞරවය හා විනය!

ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!
– උන්මාදකරු –

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!