Gossip

”තාත්තාගේ බෙල්ලෙන් අල්ලා නවා දණහිසෙන් යටි බඩට ගැහුවා…. බඩවැල පුපුරා අපද්‍රව්‍ය එළියට වහනය වෙලා තාත්තා මියගියා”

බලූපැටියා කොහේද කියලා අහගෙන ආව අයට තාත්තා බලූ පැටියා ගිහින් දුන්නා. එතකොට එයා තාත්තාගේ කම්මුලට ගැහුවා. තවත් බැණ වැදුණු එයා තාත්තාගේ බෙල්ලෙන් අල්ලලා නමලා දණිහෙන් තාත්තාගේ යටි බඩට පයින් ගැහුවා. එතකොට තාත්තා බඩ අල්ලාගෙන වැටුණා යැයි මාස 3 ක් පමණ වන බලූ පැටවකු හොරෙන් රැගෙන ගියැයි ඇතිවූ ආරවුලකදී පහර දීමෙන් මියගිය අයගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මරණකරුගේ දියණිය වන සෙල්වරාජ් සත්‍යපි‍්‍රය (23) නමැත්තිය එසේ ප‍්‍රකාශ කළාය.

මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ ගලහ දෙල්තොට වත්තේ පදිංචිව සිටි සින්නවෙළු සෙල්වරාජ් නමැති 51 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම පුද්ගලයා ගලහ නගරයට ගොස් නැවත පා ගමනින් නිවසට පැමිණෙමින් සිටියදී අතරමඟ වැස්සට තෙමෙමින් සිටි බලූ පැටවකු මොහු පසුපසින් පැමිණ තිබූ අතර පසුව මෙම පුද්ගලයා එම බලූ පැටවා නිවසට රැගෙනැවිත් තිබුණි.

මෙහිදී තවදුරටත් සාක්‍ෂි දුන් සත්‍යපි‍්‍රය මෙසේද කීවාය.

සවස 7.00 ට විතර තමයි, තාත්තා ගලහ නගරයේ ඉඳලා ගෙදර ආවේ. මම එතකොට ගේ ඇතුළේ හිටියේ. මට එළියෙන් බලූ පැටියෙක් කෑ ගහනවා ඇහුණා. මම තාත්තගෙන් ඒ ගැන ඇහුවා එතකොට එයා කීවා, කාගේද දන්නේ නෑ බලූ පැටියෙක් පාරේ හිටියා. මම එනකොට එයත් පස්සෙන් ආවා වැස්සේ තෙමි තෙමී හිටියේ. සීතලට එයා වෙව්ලනවා මම ඒ නිසා ගෙදර ගෙනාවා කියලා.

පස්සේ බලූ පැටියා හොඳට පිහලා එයාට ගෙදර තිබුණ පාන් කෑල්ලකුත් කන්න දුන්නා. පහුවදා උදේ 6.10 ට විතර එක්කෙනෙක් ඇවිත් තාත්තාට කතා කළා. එයා බලූ පැටියා ගැන ඇහුවා. එතකොට තාත්තා කීවා බලූ පැටියා කාගේද කියල දන්නේ නෑ. පාරේ තෙමි තෙමී හිටියේ. මම එනකොට ටික දුරක් පස්සෙන් ආවා. තෙමෙන නිසා මම එයා ගෙදර ගෙනාවා. බලූ පැටියා ඔයාගෙනම් මල්ලි එයා අරන් යන්න කියලා බලූ පැටියා එයාට දුන්නා.

එතකොට ඒ අය කීවා මේ බලූ පැටියා නිසා ඊයේ එළිවෙනකන් ළමයිනුත් අඬ අඬා හිටියේ. මොකටද බල්ලා ගෙනාවේ කියලා තාත්තාගේ කම්මුලට ගැහුවා.

මියගිය අයගේ පුතෙකු වන සෙල්වරාජ් ගනේෂ් (20) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසීය.

මම ගේ ඇතුළේ නිදාගෙන හිටියේ. එළියේ කලබලයක් ඇහුණ නිසා මම එතනට ආවා. එනකොට මේ අය තාත්තාට ගහනවා දැක්කා. තාත්තාට ගහන්න එපා කියලා මම කීවා. මම තාත්තා ගේ ඇතුළට අරන් ගියා. ඒත් තාත්තාට අමාරු වුණා. අසල්වාසීන් එක්ක එකතුවෙලා 1990 ගිලන් රථයට කීවා.

ගිලන් රථය ඇවිත් තාත්තා ගලහ රෝහලට අරන් ගියා. ඒත් අමාරු නිසා පේරාදෙණියටත් එතැනින් මහනුවර රෝහලටත් අරන් ගියා. එහිදී තාත්තා මියගියා.

මේ පිළිබඳව ගලහ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලලිත් මහගෙදර මහතා, අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. තල්වත්ත මහතා ඇතුළු කණ්ඩායමක් සමග පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය මහනුවර අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් ජගත් මහගෙදර මහතා පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ නිලධාරි විශේෂඥ  සිවසුබ‍්‍රමනියම් මහතා පැවැත්වීය.

මියගිය අයගේ යටිබඩට වැදුණු පහරින් බඩවැල් පුපුරා එහි අපද්‍රව්‍ය වහනය සිදුවී ඒවා නරක් වීමෙන් මෙම මරණය සිදුව ඇති බව වාර්තාකොට තිබිණි.

මෙහි සාක්‍ෂි විමසීම ගලහ පොලිසියේ උ.පො.ප. වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලැබීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!