Gossip

“තාත්තගේ ඇසක් අන්ධයි, අම්මට රැකියාවක් නැහැ” – උසස් පෙළින් පළමු තැන හිමිවුණු දියණියට සරසවි යාම සිහිනයක් වෙයිද..?

“මගේ තාත්තගේ එක ඇසක් පේන් නෑ. උසස් අධ්‍යාපනය ලබා කථිකාචාර්යවරියක් වෙන්න ආසාව තිබුණත් ඒ ආශාව ඉටු කරන්න මට හැකියාවක් නැහැ“යි කලා අංශයෙන් පොළොන්නරුවේ ප්‍රථම ස්ථානය දිනාගත් එච්. ආර්. අකිලා ඉෂානි විජේරත්න සිසුවිය කඳුළු පිරි දෑසින් පවසනවා.
මෙවර උසස් පෙළ විභාගයෙන් සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය, භූගෝල විද්‍යාව යන විෂයන් තුන සඳහාම “ඒ“ සාමාර්ථ තුනක් ලබාගනිමින් මැදිරිගිරිය ජාතික පාසල් විදු මෑණියන්ට පමණක් නොව පුලතිසි පුරවරයටම ගෞරවයක් අත්කර දීමට අකිලා ඉෂානි සිසුවියට හැකිවුණා.
මණ්ඩලගිරිය ප්‍රදේශයේ පදිංචි ඇගේ පියා වන එච්. ආර්. විජේරත්න වෘත්තියෙන් කම්කරුවෙක්.

මව ඩබ්. ඒ. ඩී. කුමුදුනී පුෂ්පලතා.

ඔවුන් දෙදෙනාටම සිටින එකම දරුවා මැයයි.
කථිකාචාර්යවරියක් වීමේ සිහිනය හඹා ගිය අකිලා අද වන විට දිස්ත්‍රික්කයේම බැබළෙන තරුවක් වුවත් ඇගේ කතාව එතරම් වර්ණවත් නැහැ.
බොඳ වී යන ඇගේ සිහිනය පිළිබඳව ඇය හඬ අවදි කළේ ඒ නිසයි.
“අම්මයි තාත්තටයි දෙන්නට ඉන්නේ මම විතරයි. උසස් අධ්‍යාපනය ලබලා කථීකාචාර්යවරියක් වෙලා තවත් බොහෝ දෙනෙකුගේ ඇස් පාදන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒත් කියන්න කණගාටුයි මගේ තාත්තා කුලී වැඩ කරලයි මට ඉගැන්නුවේ. තාත්තට අවුරුද්දකට විතර කලින් එක ඇහැක් පේන් නැතුව ගියා. පස්සේ ඒ ඇහැට කාචයක් දැම්මා. දැන් ටික දවසක ඉඳන් අනිත් ඇහැත් පේන් නෑ කියලා තාත්තා කියනවා.”
“ඉතින් කුලියක් කරලා හොයන් එන සොච්චම් පඩියෙන් අපි ටිකක් අමාරුවෙන් ජිවත් වෙන්නේ. මම කැම්පස් ගියොත් අම්මටයි තාත්තටයි ඒක ලොකු ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කණගාටුවෙන් වුණත් මම අම්මට කිව්වා කැම්පස් යන්න බෑ කියලා. අම්මා මට හොරෙන් ඇඬුවා මම දැක්කා. තාත්තා කිව්වා පුතේ හිඟාකාලා හරි ඔයා ලොකු නෝනා කෙනෙක් කරනවා කියලා. ඇත්තටම අපි ගොඩක් අසරණයි. මම කවදාවත් නිදිමරාගෙන පාඩම් කළේ නෑ. හවස 6 ඉඳන් 10 වෙනකන් විතරයි පාඩම් කළේ. ඒත් පන්තියේදි උගන්වන දේවල් හුඟක් අවධානයෙන් අහගෙන හිටියා. ගෙදර ඇවිත් නැවත බැලුවා. ජයක් ලබන්න අවශ්‍ය අධිෂ්ඨානය විතරයි කියලා මම නංගිලා මල්ලිලාටත් කියන්න කැමතියි…“
“අවසන් වශයෙන් මගේ විද්‍යාලයේ විදුහල්පති රුවන් කුමාර ගුරු පියාණන්ටත්, ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන් මට උගන්වන්න වෙහෙස නොබලා දහදිය හෙලූ මගේ තාත්තටත්, අම්මටත් ස්තුතිය පිරිනැමිය යුතුයි..”

ලංකාදීප පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!