Gossip

ජීවිතේ 100ක්ම සාර්ථක හෝ අසාර්ථක මිනිස්සු කොහෙවත් නැහැ – මාත් වැටුණු අවස්ථා තිබිලා තියෙනවා – පියුමි බොතේජු

පියුමි බොතේජු කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඉතින් පසුගිය දවසක ඇය සිය උපන්දිනය සැමරූ අයුරුත් කාගෙත් කතාබහට ලක්වුණා.  මේ හැමදේම ගැන ඇය පුවත්පතක් සමග කියා තිබුණේ මේ විදියට.

තවමත් ඉන්නේ උපන් දින සැමරුම් සතුටෙන් වෙන්න ඇති නේද?
ඔව්, ඇත්තටම තවමත් ඒ සතුට තමයි හිතේ තියෙන්නේ. මේ තමයි මගේ හොඳම උපන් දින සැමරුම කියලයි මම හිතන්නේ. හැමෝම මාත් එක්ක තවමත් කතා කරන්නේ ඒ ගැන.

එහෙනම් ඒ සැමරුම ගැන ටිකක් කතා කරලම ඉමු?
හැමදාම වගේ උපන් දිනය දවස ගෙවුණේ මානසික ආබාධ සහිත දරුවොත් එක්ක කාලය ගෙවමින්. නමුත් ඒ තැන්වල පාලනාධිකාරිය බලා‍පොරොත්තු වෙන්නේ එහෙම දරුවන්ට තෑගි භෝග, කෑමබිම දීලා අපි එයාලා එක්ක සතුටින් දවසක් ගෙවනවාට වඩා භෞතික දේවල්. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මේ පාර උපන් දිනය දවස දානමය පුණ්‍යකර්මයක් වෙනුවෙන් වෙන් කරන්න. අනිත් කාරණය මගේ ගෙදර වැඩකටයුතුත් ලස්සනට ඉවර කරගත්ත මොහොතේ අම්මයි, තාත්තයි එක්ක අපේ හිතවතුනුත් සම්බන්ධ කරගෙන මේ විදිහට උපන් දිනය සමරන්න සියල්ල සූදානම් කළා.

ඇයි වෙන අය ලොකු ලොකු පාටි දානකොට ඔබ ආගමික වතාවත්වලට මුල්තැන දෙන්න හිතුවේ?
මම උපන් දිනයට කවදාවත් පාටි දාන කෙනෙක් ‍නෙවෙයි. මොකද එහෙම කළොත් මගේ යාළුවෝ කාලා බිලා සතුටු වෙයි. ඒත් අම්මයි, තාත්තයි ඒ සතුට ඒ විදිහටම ලබන්නේ නෑ. ඉතින් මට හැමදාම ඕන වුණේ එයාලා නිසා මට ලැබුණු දවස ඒ දෙන්නට සතුටක් වෙනවා දකින්නයි.

පාටියක් නොවුණත් කලා ක්ෂේත්‍රයේ පිරිස ඔබත් සමග සම්බන්ධ වුණා නේද?
මම කාටවත් එහෙම අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා ආරාධනා කළේ නැහැ. මොකද කිසිම කෙනෙක්ට කරදරයක් නොවන විදිහටයි මම ඒ දවස සැලසුම් කරලා තිබුණේ. ඒ නිසාම විශාල පිරිසකට නම් ආරාධනා කළේ නැහැ. එදිනෙදා නිතර හමුවෙන හිතවතුන් පිරිස එකතු කරගෙන එදා දවස සතුටින් ගත කළා.

ගොඩක් සුබ පැතුම් එහෙමත් ලැබෙන්න ඇති?
මටත් හිතාගන්න බැරි තරමට සුබ පැතුම් ලැබුණා. මට කතා කරලා, මැසේජ් කරලා වගේම ෆේස්බුක් හරහාත් නොහිතපු තරමට සුබ පැතුම් ගලාගෙන ආවා. ඒ ආදරයට මම ගොඩක් ණයගැතියි. ඒ වගේම එදා මල්, සුබ පැතුම්පත් වගේම තෑගිත් ගොඩක් ලැබුණා. පිටරට හිතවතුන්ගෙන් පවා ඒ ආදරය මට ලැබුණා. පිටරට හිටියත් අටපිරිකර පවා එවලා මේ කටයුත්ත එක්ක සම්බන්ධ වුණු අයත් ඒ අතර ඉන්නවා.

මේ හැමදේම සූදානම් කරගන්න කවුද ළඟින්ම හිටියේ?
හැමදේම ලෑස්ති කළේ අම්මත් එක්ක. එයා ටීචර් කෙනෙක්. පවුලක් විදිහට හැම දේකදිම අපි හරි එකතුයි. මම හිතනවා පෙර ආත්මවලදි අපි එකතුවෙලා මේ විදිහටම පින්කම් කරන්න ඇති. ඒ නිසාමයි මේ ආත්මෙත් ඒ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ. පරිපූර්ණ, ශක්තිමත් කාන්තාවක් විදිහට අද මම සාර්ථක වෙලා ඉන්නෙත් මේ අය මං ළඟින්ම ඉන්න නිසයි.

ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?
ජීවිතේ 100ක්ම සාර්ථක හෝ අසාර්ථක මිනිස්සු කොහෙවත් නැහැ. මාත් වැටුණු අවස්ථා තිබිලා තියෙනවා. ඒ හැම තැනකදිම මාත් එක්ක අම්මයි, තාත්තයි හිටියා. මම ආපු ගමන ගොඩක් ලස්සන නෑ. පුංචි කා‍ලේ ඉඳන්ම දුක් විඳලා ආපු ගමනක ප්‍රතිඵලය අද මේ භුක්ති විඳින්නේ. අවංකව මහන්සියෙන් උපයපු හැමදේම ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.

ජීවිතේ තවමත් ඉටු නොවුණු බලා‍පොරොත්තු තියෙනවද?
මට ඕන වුණේ ලස්සන ගෙයක් හදාගන්න. එක පාරටම නොවුණත් හිමින් හිමින් මම ඒ හීනෙට ආවා. ලොකු ලොකු හීන මට කවදාවත් තිබිලා නැහැ. තවත් පුංචි හීන ටිකක් තියෙනවා. උපතින්ම අපිට හිමිවෙන යුතුකම් සහ වගකීම් ටිකක් තියෙනවානේ. ඉතින් අම්මයි, තාත්තයි වෙනුවෙන් ඒ හීන සැබෑ කරන එකයි මගේ බලා‍පොරොත්තුව.

ළඟදි සම්බන්ධ වුණු සංචාරය ගැනත් කියමු?
ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක සහ මම ඔස්ට්‍රේලියානු සංචාරයකට සම්බන්ධ වුණා. ‘කොමඩි බඩී’ නමින් පැය තුනක් පුරාවට ප්‍රාන්ත හතරක විවිධ වූ චරිත හතරක් ඔස්සේ ප්‍රේක්ෂකාගාරය පිනවන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ හරිම සතුටින් ගෙවුණු දවස් කිහිපයක් කිව්වොත් හරි.

ඔබ හිතන විදිහට ඔබට වඩාත්ම ගැළපෙන චරිත මොනවාද?
මට ඕනම චරිතයක් කිරීමේ හැකියාව තියෙනවා. වෙනස් වූ විවිධ චරිත රඟපෑමේ හැකියාව මට නිරායාසයෙන්ම ලැබිලා තියෙනවා.

පියුමි බොතේජු සැබෑ ජීවිතේ කොහොම චරිතයක්ද?
පියුමි බොතේජු කියන්නේ පෙරළුණු පිට හොඳයි කියලා හිතන එතැනින් නොනැවතී ඉදිරියට යන චරිතයක්. දැන් ජීවිතේ වෙනස්වීමක් වුණොත් මම ඒ දේත් හරි සතුටින් භාරගන්නවා. කොතැනදිවත් මම සෘණාත්මක වෙන්නේ නෑ. ධනාත්මකව හිතන නිතරම හිනාවෙන් හැමෝම ආමන්ත්‍රණය කරන චරිතයක් මම.

ඒ හිනාව පිටුපස තියෙන රහස ගැනත් කියමු?
අනිවාර්යයෙන්ම මගේ හිනාවේ රහස සහ ඒ හිනාවේ අයිතිකරුවන් මගේ අම්මයි, තාත්තයි. මට මගේ දෙමව්පියෝ වගේම හැම දරුවෙක්ගෙම හිනාව පිටිපස්සේ ඉන්නේ අම්මයි, තාත්තයි. ඉතින් මම කරන චරිත, ඒ වගේම මගේ සාර්ථකත්වය නිසා හදවතින්ම සතුටු වෙන දෙන්නා තමයි ඒ දෙන්නා. මම නිසා ඔවුන් ලබන ප්‍රතිචාර ගැන මට ඇවිත් කියනකොට ඔවුන් තව කෙනෙක් එක්ක කියනවා ඇහෙනකොට ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!