Gossip

ජනප්‍රිය නිළි මංජුලා කුමාරි ජීවිතයේ අලුත් පිටුවක් පෙරළයි – Photos

කලක් පුංචි තිරයේ අහිසංකාව ලෙස කාගෙත් ආදරය දිනු මංජුලා කුමාරි ඔබට මතකයිද?
කලාව තුළ සෙමෙන් ගමනක් ගිය මේ රුවැත්තිය පසුගිය කාලයේ දකින්න ලැබුණේ නෑ.
ඒ ගැන සොයා බලන විට මංජුලා නැවතත් මවු පදවිය ලබා ඇති බව අපට දැනගන්නට ලැබුණා.
අතිශය කාර්ය බහුල දිනචර්යාවක නියැළිලා සිටින ඇයගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා..

කො‍හොමද මංජුලා..
හොඳින් ඉන්නවා.

මංජුලා දැන් දෙදරු මවක්..
ඔව්. දුවයි, පුතයි. දුවට මාස හතරයි. ඇය ඩිනෝලි එහන්සා. පුතා ඕලිත සංතුල්. වයස තුනහමාරයි. ඕලු කියන නම තමයි ඕලිත ලෙසින් පුතාට දැම්මේ. දුව ඉපදුණාට පස්සේ මම ඉස්සෙල්ලාම රසඳුන පුවත්පතට තමයි මේ විස්තර දෙන්නේ.

බබාලගෙ වැඩත් එක්ක කොහොමද දවස ගෙවෙන්නේ..
ගොඩක්ම කාර්යබහුලයි. නිදාගන්න වෙලාවක් නැති තරම්.
වැඩිම වුණොත් රෑට පැය දෙකයි නිදාගන්නේ. කොහොමත් දුවට කිරි දෙන නිසා පැය දෙකෙන් දෙකට අවදි වෙනවා.
දුව නිදාගත් විට මම කරන්නේ එයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න එක. එයා හරිම සුරතල්. දරුවන්ගේ ලෝකය දකිද්දී වගකීම් වැඩි වුණත් ජීවිතේ හරිම සුන්දරයි කියා හිතෙනවා.

දුව කවුරු වගේද ?
සමහරු කියනවා දුව මම වගේ කියලා. සමහරු කියනවා මහත්තයා වගේ කියලා.
මට නම් තවම චූටි නිසා හරියට කියන්න අමාරුයි කවුරු වගේද කියලා. පුතා නම් කැමැතියි එයා වගේ කියනවට.

කවුද මංජුලාට උදවු කරන්නේ..
මගේ අම්මයි, ආච්චි අම්මයි උදව්වට ඉන්නවා. මහත්තයා චානුක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතුව සිටින නිසා ඔහුට නි‍ෙවසේ වැඩවලට සහාය වෙන්න වෙලාවක් නැහැ.
ඒත් ඔහු ඉඩ ලැබෙන හැම වෙලාවෙම මට උදවු කරනවා.

මංජුලා රසට උයනවා කියන්නේ ඇත්තක්ද ?
ඇත්තම කියනවනම් මට රසට උයන්න බැහැ. අම්මයි, ආච්චියි තමයි උයන පිහන වැඩ කරන්නේ.
නමුත් දරුවන්ගේ පෝෂණය ගැන මම ගොඩක් සිතනවා. විශේෂයෙන් උදෑසන ආහාර වේලට ධාන්‍යමය ආහාර වන කවුපි, කඩල වගේ දේවල් හදනවා. දහවල් ආහාරයට මාළු වර්ගයක්, පලා, අල වැනි දේවල් එකතු කරනවා. පුතා පෙරපාසල් යනකොට සමපෝෂ වගේ දේවල් තමයි හදලා දෙන්නේ. රෑට නම් සුප් එකක් ආහාරයට ගන්නවා.

ඔබ කිහිප අවස්ථාවකදිම සම්මානයටත් පාත්‍ර වුණා..
හොඳම නිළිය ලෙස වසර තුනක් නිර්දේශ වුණා. ජනප්‍රිය නිළිය සම්මානය 2006 සිට වසර තුනක් ජයග්‍රහණය කළා.
ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා, සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

පාසල් යන කාලයේදී නර්තන ගුරුවරියක් වෙන්න හීන මැව්වා කියන්නෙ ඇත්තද?
මම පාසල් ගියේ නුගේගොඩ අනුලා බාලිකා විදුහලට. පාසලේ විෂයක් ලෙස සාමාන්‍ය පෙළ දක්වා නර්තනය හැදෑරුවා. සමස්ත ලංකා තරගවලට පවා සහභාගි වී නර්තන අංශයෙන් ජයග්‍රහණ ලැබුවා. කුලසිරි බුදවත්ත රංගායතනයට ඇතුළත්වූයේ නර්තන ගුරුවරියක වීමේ බලාපොරොත්තුවෙන්.
නමුත් එහිදී අහඹු ලෙස රංගනය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණු නිසා නර්තන ගුරුවරියක වීමේ සිහිනය මග හැරුණා.

ඉදිරියේදී රංගනයෙනුත් ඈත් වෙයිද?
එහෙම වෙන එකක් නෑ. කොතරම් කාර්යබහුල වුවත් කෙසේ හෝ වසරකට එක නිර්මාණයකට හෝ සම්බන්ධවෙන බලාපොරොත්තුව තිබෙනවා.
ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කරන ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
එහි රූගත කිරීම් ඉදිරියේදි ආරම්භ කරනවා. දුව චූටි නිසා ඇයවත් දර්ශන තලයට අරගෙන යන්නයි හිතාගෙන සිටින්නේ. දවස් පහක් පමණක් රූගත කෙරෙන නිසයි එම චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
ඉදිරියේදීත් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණ‍ය පැත්තෙන් කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබෙනවා. ඒ වගේම තවත් අලුත් අදහසක් හිතේ තියෙනවා.

අපිටත් කියන්න පුළුවන්ද ඒ අලුත්ම අදහස ගැන..
ව්‍යාපාර පැත්තට යොමු වීමේ අදහසක් තිබෙනවා.මංගල ඇඳුම් සහ සාරි වර්ග, ආදි උත්සව අවස්ථාවන්ට අඳින ඇඳුම්, පැලඳුම් සාධාරණ මිලට අලෙවි කිරීමේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට. දැනටමත් දන්න කියන පිරිස කතා කර අපෙන් ඇඳුම් මිලදී ගන්නවා.

මොනවද අනාගත බලාපොරොත්තු..
දරු දෙදෙනාට හොඳින් උගන්වා හොඳ පුරවැසියන් කරන බලාපොරොත්තුවත් හොඳ කලා නිර්මාණවලට දායක වීමත් තමයි මගේ අනාගත අපේක්ෂාව .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!