Gossip

චිත්‍රපටයේ කෑම කන දර්ශනයක් තිබුණොත් මම ඒ කෑම ඉල්ලලා හෝල් එක දෙවනත් කරනවලු – නයනා කුමාරි කිව්ව අපූරු කතාව

නයනා කුමාරි නිළියක් වගේම දැන් රූපලාවන්‍ය ශිල්පිණියක්. මනාළියන් සියගණනක් ඇයගේ දෑතින් හැඩගැන්වෙනවා. නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන නයනාගේ නොදත් රහස් කිහිපයක් ගැන මේ විදිහට පුවත්පතක සදහන් කර තිබුණා. මේ ඒ ගැනයි

මාස අටේ කැලැන්ඩරේ
සාක්කු දින දර්ශන වගේම බිත්ති දින දර්ශනවලත් මම බොහෝ අවස්ථාවල පෙනී ඉඳලා තියෙනවා. මගේ රසික පිරිස ඒක නොදන්න දෙයක් ‍නෙවෙයි. ඒත් හා හා පුරා මම කැලැන්ඩරයකට පෙනී සිටියේ වයස මාස 8 දී කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ වෙද්දී මම හරියට වචන දෙක තුනක්වත් හසුරුවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මට මාස 8ක් වෙද්දී මගේ අම්මා මගේ පින්තූරයක් ගන්න ස්ටුඩියෝ එකකට ගිහින් තියෙනවා. එදා ගත්තු පින්තූරේ ඒ ස්ටුඩියෝ එකේ අය ජනතාවට පෙනෙන විදියට තියලා තියෙන්නේ. මොකද ඒ දවස්වල මම බොහොම ලස්සන හරිම හුරතල් බබෙක් හින්දා. ඔය පින්තූරේ දැකලා තමයි ඒ අය ඒ බබාගේ පින්තූරේ කැලැන්ඩරයකට ඉල්ලලා තියෙන්නේ. ඒ දවස්වල ඒ කැලැන්ඩරේ නිවසක් ගානේ එල්ලලා තිබුණට මේ පින්තූරේ ඉන්න බබා දවසක නිළියක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති. කොටින්ම කියනවා නම් මගේ අම්මයි තාත්තයි දෙන්නවත් හිතන්න නැතුව ඇති මම දවසක නිළියක් වෙයි කියලා. එහෙම වුණා නම් ඒ කැලැන්ඩරේ පරිස්සං කරලා තියාගනිවි. මම මුලින්ම පෙනී හිටපු කැලැන්ඩරේ මටවත් මතක නැහැ.

මහ රෑ බලපු චිත්‍රපට
ඒ දවස්වල රෑ 9.30 චිත්‍රපටි දර්ශනයක් තිබුණනේ. අක්කලව ආච්චිට දාලා අම්මයි තාත්තයි මාවත් වඩාගෙන රෑ චිත්‍රපට බලන්න යනවලු. එතකොට මට වයස අවුරුදු දෙකක්වත් නැහැල්ලු. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවල පුංචි ළමයි නිදාගන්නවා. එහෙම නැත්නම් අඬනවා. ඒත් මම 12ට චිත්‍රපටය ඉවර වෙනතුරුම ඇහැරගෙන ඉන්නවාලු. චිත්‍රපටයේ අඬන ජවනිකාවල මමත් අඬනවාලු. හිනාවෙන ජවනිකාවල මමත් හිනාවෙනවලු. චිත්‍රපටයේ කෑම කන දර්ශනයක් තිබුණොත් මම ඒ කෑම ඉල්ලලා හෝල් එක දෙවනත් කරනවලු. ඒ හින්දා අම්මලා මාවත් අරගෙන චිත්‍රපට බලන්න යද්දී කෑම බිම දාගෙන යන්න අමතක කරන්නේ නැතිලු.

පංතියේ වධකාරී
පුංචිම කා‍ලේ චිත්‍රපට බලපු හින්දමද දන්නෑ මම මගේ නැන්දගේ දුවලා දෙන්නා චුට්ටියි නයනියි එක්ක සාරි ඇඳගෙන අම්මගේ ලිප්ස්ටික් ගාගෙන කොණ්ඩා දාගෙන ගිහින් රඟපානවලු. ගස් තමයි නළුවෝ. වෙන ළමයි යමකට ඉදිරිපත් වීමට ටිකක් කුලෑටි වුණාට මම ඕනෑවටත් වඩා ඉදිරිපත් වීමේ ගුණාංගය තිබුණු ළමයෙක්. දෙක වසරේ ඉගෙන ගන්න කා‍ලේ දවසක් අපේ පන්තියේ ටීචර් ආවේ නැති හින්දා වෙනත් ගුරුවරියක් පංතිය බලාගන්න ආවා. ඒ ගුරුතුමිය පන්තියේ අයට ඉදිරිපත් වෙලා කවි, ගී, සිංදු කියන්න කිව්වා. මම පැනලා ගිහින් ඉදිරිපත් කිරීමක් කළා. ඊට පස්සේ තවත් ළමයෙක් ඉදිරිපත් කිරීමක් කළා. මම ආයෙම ගිහින් ඉදිරිපත් කිරීමක් කළා. දැන් අනිත් ළමයින්ට කවි, ගී, සිංදු කියන්න නැහැ. මමම පැන පැන ඉදිරිපත් වෙනවා. බැරිම තැන ටීචර් කිව්වා “ඔය ළමයා දැන් ඇති ගිහින් වාඩි වෙලා ඉන්න” කියලා.

නයනගෙ කැවුම්
කොණ්ඩ කැවුම් හදද්දී කොණ්ඩෙ හරියට තියන්න හැමෝටම බැහැ. මට වයස 8දී තනියම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් කියල කිව්වොත් කව්රු වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ දවස්වල වටාපිටාවේ අය කොණ්ඩ කැවුම් හදද්දී “නයනා එක්ක යන්න ආවේ කොණ්ඩ කැවුම් ටිකක් හදාගන්න” කියලා මාව එක්කරගෙන යනවා. ඒ පුරුදු අදටත් මට ප්‍රයෝජනවත් වෙනවා. ළඟදී පුංචි උත්සවයකට 25 දෙනෙකුට කෑම දෙන්න වුණා. එදා 25 දෙනාටම කෑම ඉව්වේ මම තනියමයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!