Gossip

ගොඩක් අය මම සක්කර වට්ටමක් කියලානේ හිතාගෙන ඉන්නේ – අංජුලා රාජපක්ෂ

පසුගිය දවස්වල කතාබහට ලක්වූ අය අතරින් අංජුලා රාජපක්ෂ ගැනත් වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ ඇයගේ විවාහයත් සමගයි. ඉතින් මේ ඇය සමග කළ පුවත්පත් සාකච්ඡාවක්.

අංජුලා මනාලියක් වුණා. ජීවිතේ ඒ වෙනස කොහොමද දැනෙන්නේ?
ඇත්තටම විවාහ උත්සවය ළඟට එද්දී මම ටිකක් කලබල වෙලා හිටියේ. මොකද ඒ වැඩකටයුතු ටික හරියට කරගන්නේ කොහොමද කියල තමයි ටෙන්ෂන් වෙලා හිටියේ. ඒත් විවාහ උත්සවය ඉවර වුණාට පස්සේ මම හිටියටත් වඩා නිදහස්.

අංජුලාගේ විවාහ උත්සවය වෙනස් හැඩයකට තිබ්බේ. ඔය වෙනස කරන්න ගොඩක් සැලසුම් කරන්න ඇති?
ඇත්තටම මට ඕන වුණේ බාහිර ආටෝප නැති සරල වෙඩින් එකක් ගන්න. වෙඩින් එක දවසේ බිත්තිවලට කොටු වෙලා ඉන්න අපිට ඕන වුණේ නැහැ. මම ගොඩක් සොබාදහමට කැමැතියි. විශ්වයේ ශක්තිය මම ගොඩක් විශ්වාස කරනවා. සොබාදහමට ගොඩක් කිට්ටු වෙලා වෝටර්ස්ඒජ් එකේ ‘තුනපහ’ කියන රෙස්ටුරන්ට් එකේ තමයි අපි විවාහ උත්සවයේ පළමු වැනි සැමරුම කළේ. සාම්ප්‍රදායික හැඩය අපේ වෙඩින් එකට ගේන්නයි අපිට ඕන වුණේ. අපේ දෙවැනි දවසේ සැමරුම කළේ අපේ ගම පරිශ්‍රයේ. අපි එතැන නයිට් ක්ලබ් එකක් විදියට හදලා වෙනස්ම විදියට තමයි ඒ සැමරුම කළෙත්. එතැන ඒ විදියට සකස් කරලා දුන්නේ උපුල් අයියා. හරිම ලස්සනට ඒ දවසත් සැලසුම් වුණා.

අංජුලාගේ ඇඳුම් ආයිත්තම් වගේම විවාහ උත්සවයේ සැරසිලි බොහෝ අයගේ කතාබහට ලක් වුණා?
මාව වෙඩින් එකට හැඩගැන්වූවේ ලක්ෂිත ජයසිංහ. මගේ ඔසරිය නිර්මාණය කළේ චමිල් උදයංග. මම චාම් විදියට ඉන්න කැමැති වුණා. මගේ සැමියගේ පළමු වැනි දවසේ ඇඳුම නිර්මාණය කළේ නාමල් බාලචන්ද්‍ර. කෑමබීම වුණත් අපි සිංහල විදියට දුන්නේ. සැරසිලිවලට යොදා ගත්තේ ස්වාභාවික මල්. අපේ වෙඩින් ප්ලෑනර් විදියට හිටියේ සඳුන් බණ්ඩාර. දෙවැනි දවසේ අපේ වෙඩින් එකට ගෙනාපු හැඩය ගැනත් ගොඩක් අය සතුටු වුණා. එදා අපේ වෙඩින් ප්ලෑනර් වුණේ ලසන්ත අයියා. චමිල් තමයි මගේ ඇඳුම නිර්මාණ කළේ. සඳුන් බණ්ඩාර සැමියගේ ඇඳුම නිර්මාණය කළා. මගේ පැත්තෙන් වෙඩින් එකට අස්සන් කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා. සැමියාගේ පැත්තෙන් කරු ජයසූරිය මහත්මයා තමයි අස්සන් කළේ. අපිට ඕන විදියට ලස්සනටම වෙඩින් එක කළා.

වෙඩින් එකේ වෙනස් හැඩය ගැන ආපු අයත් සතුටු වෙන්න ඇති?
මගේ වෙඩින් එක ගොඩක් අය අගය කළා. මම වගේ කෙනෙක් රැල්ලට නොයා වෙනස්ම විදියට විවාහ මංගල්‍ය සමරපු එක ගොඩක් අය අගය කළා. ගොඩක් අය මම සක්කර වට්ටමක් කියලානේ හිතාගෙන ඉන්නේ. අපි සංස්කෘතිය ගැන දන්නේ නෑ කියලනේ ගොඩක් අය හිතන්නේ. අපි ලංකාවේ සංස්කෘතියත් එක්ක හැදුණ අය. ඒ නිසා සාම්ප්‍රදායික විදියට අපේ වෙඩින් එක ගන්න අපි උත්සාහ කළා.

ඒ තරම් සැලසුම් සහගතව ලස්සනට විවාහ උත්සවය සැමරුවත්, අංජුලාගේ විවාහය සිදුවෙන්න කලින් වැඩිය සද්ද බද්ද තිබ්බේ නෑ?
ජීවිතේ මම මෙච්චර කල් ඉස්සරහට ආවේ ගොසිප්වලින් නෙමෙයි. මගේ විවාහය ගොසිප් මාතෘකාවක් වෙනවට මම කැමැති වුණේ නැහැ. මාධ්‍ය මට කවදාවත් වරදක් කරලා නැහැ. මම කැමැතියි හොඳ නම තියාගෙන වැඩ කරන්න. ඉතින් මගේ වෙඩින් එකේදිත් මම ගොසිප් මවන්නියක් වුණේ නැහැ. ඉතින් මට හිතේ හැටියට මගේ වෙඩින් එක ගන්න පුළුවන් වුණා.

දැන් කියමුකෝ අංජුලාගේ ජීවිතයට එකතු වුණ වාසනාවන්තයා ගැන?
මගේ සැමියා රංග වීරකෝන්. එයාගේ තාත්තා තමයි ක්වින්ටස් වීරකෝන් කියන්නේ. මගේ සැමියා කලා පවුලක කෙනෙක්. කුලසිරි බුදවත්ත සර්ගේ නර්තන කණ්ඩායමේ, චිත්‍රසේන වජිරා නර්තන කණ්ඩායමේ, චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පියෙක් විදියටත් ඔහු වැඩ කරලා තිබෙනවා. නූර්ති නාට්‍යවල රංගන ශිල්පියෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා. ඒ වගේම ව්‍යාපාරිකයෙක් ලෙසත් කටයුතු කරනවා.

අංජුලා – රංග ආදර කතාවේ ආරම්භය සිද්ධ වෙන්නෙත් කලාව නිසා නේද?
ඔව්. ‘සඳදිය මංකඩ’ නාට්‍යයේ දී තමයි මට ඔහුව මුණ ගැහෙන්නේ. අපි කතා බහ කළා. ඊට පස්සේ අයියා විවාහ යෝජනාව ගෙනාවා.

ඔහුව තමන්ගේ ජීවන සහකරුවා විදියට තෝර ගන්නත් විශේෂ කාරණාවක් තියෙන්න ඇති?
එයා කලාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ ක්ෂේත්‍රය ගැන ලොකු අවබෝධයක් එයාට තියෙනවා. අපි දෙන්නටම දෙන්නගේ දේවල්වලට උදවු කරගන්න පුළුවන්. අපිට බොහෝ වෙලාවට වැඩ කරන්න ලැබෙන්නේ එකම පිරිසක් එක්ක. ඉතින් අපිට එකට ජීවත් වෙද්දි ඒ දේවල් පහසුයි.

විවාහ ජීවිතයේ වගකීම් හොඳින් දරන්න වගේම හොඳ බිරියක් වෙන්න අංජුලාට පුළුවන් වෙයිද?
මම දන්න කියන කාලේ ඉඳන් වගකීම් දරන්න කැමැති කෙනෙක්. හැබැයි විවාහ ජීවිතේ වගකීම් වෙනස්. අපි අපි විදියට ජීවත් වුණොත් ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුවත් සියයට සියයක් ගැළපෙන්නේ නැහැ. නොගැළපීම් ගළපාගෙන හොඳ වගකීමකින් ජීවත් වෙන්න වගේම හොඳ බිරියක් වෙන්න මම උත්සාහ කරනවා. එකිනෙකාට ගරු කරලා ඒ කෙනාව විශ්වාස කරලා ජීවත් වුණොත් ජීවත් වෙන එක හරි පහසුයි. ඉතින් ඔහොම ගිහින් බලමුනේ.

විවාහ වුණාම සමහරු රංගනයෙන් සමු ගන්නවා. අංජුලාත් රංගනයෙන් සමුගනියි ද?
නැහැ. මම එයාව හඳුන ගනිද්දිම කිව්වේ මට රංගනයෙන් අයින් වෙන්න කියන්න එපා කියලා. මොකද මට එයාව වගේම හැම දෙයක්ම ලැබුණේ කලාව නිසා. ඉතින් මම රංගනයෙන් අයින් වෙන්න කැමැති නැහැ. එයත් මට රංගනයෙන් අයින් වෙන්න කියන්නේ නැහැ. විවාහය නිසා අලුත් වැඩ භාර ගත්තේ නැති වුණාට ඉදිරියට ආයෙත් සුපුරුදු විදියට වැඩ කරනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!