Gossip

ගහෙන් ගෙඩි එන්නා වගේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වුණේ ‌‌මෙහෙමයි

ගහෙන් ගෙඩි එන්නා සේ ලංකාවේ කොරෝනා රෝගීන් ගිය සතියේ එකවරම ඉහළ නැග්ගේය.

ඊට පෙර රටේ තිබුණේ කොරෝනා රෝගීන්ගේ අඩුවකි. ගිය මාර්තු එකොළොස් වැනිදා ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා හමු වූ දිනේ සිට දහස් වැනි රෝගියා දක්වා රෝගීන් හමුවූයේ දිනකට දහ පහළොව බැගිනි. ඇතැම් දිනවල රෝගීන් වාර්තා නොවුණේය. ගිය මාසය පුරාම රෝගීන් බාහිර සමාජයේ හමුවූයේ නැත. හමුවූ සියල්ලෝම නාවික හමුදාවේ කොරෝනා වැලඳී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයය.

එබැවින් රට්ටු සැනසුම් සුසුම් හෙළුවේ මේ ලෙස හමුවූ සියලුම කොරෝනා ​රෝගීන් වැලිසර නාවික හමුදා කඳවුරෙන්ම වාර්තා වීම නිසාය.

ඒත් මේ සැනසීම පසුගියදා යළිත් නැතිවූයේ කුවේට්, ඩුබායි සහ කටාර් යන රටවල්වල සිට ලංකාවට පැමිණි ශ්‍රමිකයන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වු බව සැලවීමත් සමගය. මෙසේ පැමිණි පිරිස නිසා දින තුනක් ඇතුළත ‘‘කොවිඩ් 19’’ ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව එක්දහස් පන්සියය ඉක්මවූයේය.

මෙලෙස ලංකාවට පැමිණි පිරිසෙන් දෙසිය අසූ තුනකට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන්ය. එයින් දෙසිය පහළොවක්ම කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රමිකයන් වූ අතර විසිඑක් දෙනකු ඩුබායි සිට මෙරටට පැමිණි අයය. පසුගිය විසිහත් වැනිදා කුවේට් සිට පැමිණි ශ්‍රමිකයන් පිරිසෙන් අනූ පස් දෙනකුටම කොරෝනා ආසාදනය වී තිබිණි. කුවේට් සිට පැමිණෙන සිය ගණනකට කොරෝනා වැලඳීම ගැන කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා ඇරබ් ටයිම්ස් පුවත් සේවයට කියා තිබුණේ කුවේට් රජයේ වියදමින් මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස ශ්‍රී ලංකාවට පිටත් කර යැවූ බවයි. එමෙන්ම, ඔවුන් සියලු දෙනාවම ගුවන්ගත කිරීමට පෙර ‘කොවිඩ් 19’ වෛරසය වැලඳී ඇත්දැයි පරීක්ෂා කළ බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත්, මින්නේරිය, ත්‍රිකුණාමලය සහ ගිරාගම නි​​රෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන ශ්‍රී ලාංකිකයෝ නම් කීවේ වෙනත් කතාවකි. එනම්, කුවේට් කඳවුරුවල රඳවා සිටි කාලයේදී තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීම මිස වෙනත් කිසිදු පරීක්ෂාවක් නොකළ බවයි.

එපමණක් නොව, පසුගියදා කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකකයන් පිරිසක් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව හැකි ඉක්මනින් තම මව්රට වෙත රැගෙන යන ලෙසයි. ඒත්, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙහෙයවන ආරක්ෂිත කඳවුරේ සහ කුවේට් රජය මගින් වීසා නොමැති අය වෙනුවෙන් පවත්වාගෙන යන අවතැන් කඳවුරුවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පන්දහසකට අධික පිරිසක් සිටින බව තානාපති කාර්යාලයේ නිලධාරියෙක් කීවේය.

ඒ අතරින් දෙසීයකට ආසන්න පිරිසක් කුවේට් තනාපති කාර්යාලයේද තවත් පන්දහසකට වැඩි පිරිසක් කුවේට් රජයේ පවත්වාගෙන යන අවතැන් කඳවුරේද සිටිති.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විදෙස් රටවල කොටුව සිටි ශ්‍රී ලාංකික ජනතාව ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළ නිසි ලෙස කළමනාකරණය නොකළහොත් කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් පැමිණීම වළක්වා ගත නොහැකි වන බවයි. එමෙන්ම, ‘නව සාමාන්‍ය තත්ත්වයකට’ ජනතාව හුරු වෙමින් ඇති මේ මොහොතේ කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවත් ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. කෙසේ නමුදු පිටරටින් එන සියලු රෝගීන් හමු වන්නේ නිරෝධායන මධ‍්‍යස්ථාන වලදීය. ඔවුන් කිසිවකු බාහිරට නිරාවරණය වී නැත. නමුත් මේ අය එන්නේ ගුවන් තොටුපළ හරහා බැවින් එම පරිශ්‍රයේ සේවය කරන පිරිසට මේ අයගෙන් කොවිඩ් 19 ආසාදනය වන්නට ඉඩකඩ ඇතැයි ඇතැමෙක්ට සිතෙන්නට ඉඩ ඇත. එබැවින් මේ පිළිබඳව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම් උප සභාපති රජිව් සූරියආරච්චි කීවේ ගුවන් තොටුපොළ තුළ සේවය කරනු ලබන කිසිදු පුද්ගලයකුට ‘කොවිඩ් 19’ ආසාදනය වීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බවයි. මේ දිනවල කුවේට්, කටාර් සහ ඩුබායි කියන මැදපෙරදිග රටවල්වලින් ලංකාවට ශ්‍රමිකයන් පැමිණෙනවා. අපි ඔවුන්ව ගුවන් තොටුපොළ පර්යන්තයට ගන්න කලින් ගුවන් යානයෙන් බැහැපු ගමන්ම ඒ කට්ටියව අපි විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරනවා. ඔවුන්ගේ උණ පරීක්ෂා කිරීමේ සිට ගමන් මලු ආදිය පවා විෂබීජහරණය කරනවා. බැරි වෙලාවත් මේ කාට හරි උණ නම් ඒ අයව වෙන තැනකට යවලා සෞඛ්‍ය අංශ වෙත යොමු කරනවා.එමෙන්ම මේ කටයුතු සිදු කිරී​මේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සියයට සියයක්ම අනුගමනය කරන බවත් රජීව් සූරියආරච්චි කීවේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!