Gossip

කෝටි 700ක දියමන්තිය රටින් පැන්නුවේ නළුවාද..? ගායකයාද..? – දියමන්තිය පන්නන්න ගහපු ගේම මෙන්න

ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේ එක්තරා දිනයකි. බොරැල්ල නගරයේ පිහිටි සුපිිරි මහල් නිවාසයක උඩු මහලේ පිහිටි නිවසක් වෙත මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනකු පැමිණ සිටියහ. මේ මැණික් ව්‍යාපාරිකයන් පිරිස පැමිණ සිටියේ ශ‍්‍රී ලංකාවේ මෑතකදී අලෙවි කිරීමට සූදානම් වන ඉහළම වටිනාකමෙන් යුත් දියමන්තිය පරීක්‍ෂා කිරීමටය.
කැරට් 720 ක බරින් යුත් මේ දියමන්තිය තක්සේරු කර තිබුණේ රුපියල් කෝටි 500 ක මුදලකටය. දියමන්තියේ හිමිකරු වූයේ ජයේ මුදලාලිය. ඔහු දියමන්තිය රැගෙනවිත් තිබුණේ තම පුත‍්‍රයාද සමගය.
දියමන්තිය පරීක්‍ෂා කිරීමට පැමිණ සිටියේ ඩුබායි පදිංචිකරුවකු වන තරිඳු නමැති තරුණ ව්‍යාපාරිකයෙකි.
‘මහත්තයො මම මේක වැඩිය කාටවත් පෙන්වන්නෙ නැහැ. මහත්තයා හොඳ බිස්නස්කාරයෙක් කියලා දැනගත්ත නිසයි මම මේක අරගෙන ආවේ.’
ජයේ මුදලාලි කැරට් 720 ක බරින් යුත් සුපිරි දියමන්තිය තරිඳුට පෙන්වමින් කීවේය. තරිඳුට මේ දියමන්තිය ගැන දැනගන්නට ලැබුණේ මීගමුව ප‍්‍රදේශයේ තැරැව්කරුවකුගේ මාර්ගයෙන්ය. ඔහු තකහනියක් ඩුබායි සිට මෙරටට පැමිණෙන්නේ මේ දියමන්තිය පරීක්‍ෂා කිරීමටය.
පැය කීපයක් සුපිරි මහල් නිවාසයේ ගත කළ පිරිස වෙන්ව යන්නේ වැඩි දවසක් ගත වන්නට පෙර දියමන්ති ගනුදෙනුව අවසන් කිරීමේ එකගතාව මතය.
තරිඳු මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයාගේ සමීපතම මිතුරකු බව ජයේ මුදලාලි දැන සිටියේ නැත. දියමන්තිය පරීක්‍ෂා කළ තරිඳු එදිනම ඩුබායිහි සිටි මාකඳුරේ මධුෂ්ට වයිබර් ඇමතුමක් ඔස්සේ දුරකථනයෙන් කතා කළේය.
‘මධුෂ් අයියා මේක නම් සුපිරිම දියමන්තියක්. මම ජීවිතේට දැකලා නැහැ මේ තරම් ලොකු දියමන්තියක්. මේක කපලා ඔප දාලා ගත්තහම රුපියල් කෝටි 1500 කට විතර විකුණන්න පුළුවන්…’
තරිඳු දියමන්තිය පිළිබඳ සියලූ විස්තර මාකඳුරේ මධුෂ්ට කීවේය.
‘හරි තරිඳු මල්ලි උඹ ආපහු ඩුබායිවලට වරෙන්. අපි හොඳ ප්ලෑන් එකක් ගහමු මේක අහවරක් කරන්න.’
මධුෂ්ගේ උපදෙස් මත තරිඳු ආපසු ඩුබායි බලා පිටත්ව ගියේ වැඩි දවසක් ගත වන්නට පෙර දියමන්තිය තමන් සතුකර ගැනීමට සිහින මවමින්ය.
ජයේ මුදලාලි මැණික් ව්‍යාපාරයට අතගසන්නේ 2013 වර්ෂයේ සිටය. ඒ වන තුරු ඔහු රැකියාව කළේ සෞදි අරාබියේ අවහන්හලකය. ජයේ මුදලාලිට මේ දියමන්තිය හමුවන්නේ සෞදි අරාබියේ සිටින අතරතුරදීය.
ජයේ මුදලාලි පවසන ආකාරයට ඔහුට මේ දියමන්තිය ලැබෙන්නේ තමන් සේවය කළ අවන්හල අසල පස් ගොඩක තිබියදීය. මේ පස්ගොඩ සෞදියට ගෙනැවිත් තිබුණේ දකුණු අප‍්‍රිකාවෙන් බවද ජයේ මුදලාලි තම හිතමිතුරන්ට කියා තිබුණේය.
එහෙත් ජයේ මුදලාලිගේ කතාව කොයි තරම් සත්‍ය ද යන්න ගැන සෙවීමට ඔහුගේ මිතුරන් ඉදිරිපත් වුණේ නැත. සැබැවින්ම දියමන්තිය ඔහු අතට පත්වුණේ කෙසේද යන්න අදටත් දන්නේ ඔහු පමණය. සෞදියේ පස් ගොඩින් හමුවූ මේ දියමන්තිය ජයේ මුදලාලි ශ‍්‍රී ලංකාවට එවන්නේ කුරියර් ක‍්‍රමයටය. තමන්ට දියමන්තියක් හමුවූ බව ඔහු සෞදියේ තම සමීපතම මිතුරන්ට පවා නොකියා සිටීමට ජයේ මුදලාලි වගබලා ගත්තේය.
නීත්‍යානුකූල නොවන මාර්ගයක් ඔස්සේ ශ‍්‍රී ලංකාවට ගෙන එන මේ දියමන්තිය මහරගම ඇරැව්වල පිහිටි තම නිවස වෙත යැවීමට ජයේ මුදලාලි කටයුතු කර තිබුණේය.
වසර ගණනක් තිස්සේ සෞදි අරාබියේ අවන්හලක සේවය කරමින් සිට තම රැකියාව අවසන් කළ ජයේ මුදලාලි ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරයට අතගැසීමට සිහින මවමින්ය. ශ‍්‍රී ලංකාවේදී ජයේ මුදලාලි දන්නා හඳුනන මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනකු මේ දියමන්තිය පරීක්‍ෂා කර තිබුණේය.
දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවන බව ජයේ මුදලාලි දැනගත් මුල්ම දිනයේ ඔහුට තරු විසි වුණේය. 2013 වර්ෂයේ සිට මේ දියමන්තිය ඉහළ මිලකට අලෙවි කිරීමට ජයේ මුදලාලි ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ඔහුගේම අවාසනාවට විය යුතුය. දියමන්තිය පරීක්‍ෂා කළ තරිඳු ඩුබායි දේශය වෙත ගොස් මාකඳුරේ මධුෂ් හමුවී මේ ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.
මම දැනටමත් දියමන්තිය ගන්න ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. තරිඳු මල්ලි උඹටත් මේ ප්ලෑන් එකේ ලොකු රෝල් එකක් කරන්න තියෙනවා. මේ වැඬේට ලොකු ටීම් එකක් එකතු කර ගන්න වෙනවා. මේ බිස්නස් එක ගෙනාවෙ උඹනේ. වැඬේ හරියට වුණොත් මම උඹට කෝටි 50 ක් දෙනවා….’
මාකඳුරේ මධුෂ් තරිඳු සමග එක්ව දියමන්තිය කොල්ලකෑමේ සැලසුම සකස් කරන්නට පටන් ගත්තේය.
‘අපි ෆොරින් කෙනෙක් මේ වැඬේට සම්බන්ධ කරගන්න ඕනෙ. ෆොරිනත් එක්ක බිස්නස් එක යන අතරේ මම වෙන ටීම් එකක් දාලා දියමන්තිය උස්සන්නම්.
මධුෂ් දියමන්ති කොල්ලය වන ආකාරය පිළිබඳ සියලූ සැලසුම් තරිඳුට පැහැදිළි කර දුන්නේය.
මාතර රොටඹේ පදිංචි තුසිත මධුරංග මධුෂ්ගේ පාතාල කල්ලියේ කොල්ලකෑම් සම්බන්ධ විශේෂඥයෙකි. කොල්ලකෑම්, මිනී මැරීම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ තුසිත මධුරංග පාතාලයේ ප‍්‍රසිද්ධව සිටියේ මාතර මල්ලී යන අන්වර්ථ නාමයෙන්ය.
කලක් බන්ධනාගාරගතව සිටි මාතර මල්ලී මීට ටික කලකට උඩදී ඇප ලබා මාතරට පැමිණ සිටියේය. දකුණු පළාතේ එක්තරා විහාරස්ථානයක රියැදුරකු ලෙස ඔහු ඒ වන විට තාවකාලික රැකියාව කරමින් සිටියේ කිසියම් අපරාධයක් සඳහා මාකඳුරේ මධුෂ්ගෙන් නියෝගයක් ලැබෙනතුරුය.
දියමන්ති කොල්ලය සඳහා මාකඳුරේ මධුෂ් තෝරාගෙන සිටියේ මාතර මල්ලීය.
ඩුබායි සිට මධුෂ් දුරකථන මාර්ගයෙන් මාතර මල්ලී සම්බන්ධ කර ගත්තේය.
‘මේ පාර කරන්න යන්නෙ අපි ලොකු වැඩක්. උඹට තියෙන්නෙ පොලිසියේ නාකොටික් එකෙන් වගේ පැනල ගේම් එකක් දෙන්න. සේරම විස්තර මම වෙලාවට කියන්නම්.’
වැඬේ හරියට කළාම මම උඹට රුපියල් ලක්‍ෂ 50 ක් දෙනවා. හෙටම මම උඹට රුපියල් ලක්‍ෂ දෙකක ඇඞ්වාන්ස් එකක් එවන්නම්. ඒකත් එක්ක පිස්තෝලයකුත් එවනවා. උඹ වැඬේට ලෑස්ති වෙයන්.’
මධුෂ් හැමදාම තමාට දෙන්නේ බරපතළ රාජකාරි බව මාතර මල්ලී හොඳින් දැන සිටියේය. මාතර මල්ලී විහාරස්ථානයේ සිටම සූදානම් වුණේය.
මධුෂ් කී පරිදි පසුදින රුපියල් ලක්‍ෂ දෙකක මුදල සහ පිස්තෝලයක් මාතර මල්ලී අතට පත්වන්නේය.
දියමන්තිය කොල්ලකෑමේ සැලසුම සඳහා තම හිතවත් ඔස්ටි‍්‍රයා ජාතිකයකු සම්බන්ධ කරගන්නට මධුෂ් කටයුතු කරගෙන සිටියේය. ඒ වෙනුවෙන් ඔස්ටි‍්‍රයා ජාතිකයාටද විශාල මුදලක් ලබාදීමට ද මධුෂ් පොරොන්දු වුණේය.
දියමන්ති කොල්ලය ක‍්‍රියාත්මක වන්නේ ඉකුත් වසරේ ඔක්තෝබර් මස අවසන් සතියේ සිටය. තරිඳු සහ ඔස්ටි‍්‍රයා ජාතිකයා ශ‍්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් අගෝස්තු මස 03 වැනිදා ජයේ මුදලාලි හමුවන්නට ආහ.
මහරගම, ඇරැව්වල පිහිටි නිවස වෙත ගිය තරිඳු ඔස්ටි‍්‍රයා ජාතිකයා ජයේ මුදලාලිට හඳුන්වා දුන්නේය. මීට පෙරද තරිඳු රුපියල් කෝටි 500 යේ දියමන්තිය පරීක්‍ෂා කර තිබූ නිසා ජයේ මුදලාලිට ඔහු ගැන කිසිදු සැකයක් තිබුණේ නැත.
මුදලාලි මේ මිස්ටර් ජෝර්ජ්. මෙයා ඔස්ටි‍්‍රයන් ජාතිකයෙක්. මාත් එක්ක ඩුබායිවල ජෙම් බිස්නස් කරනවා. මෙයා කැමැතියි ගල ගන්න. මිනිහා දියමන්ති කිව්වොත් අතහරින්නේ නැහැ. තරිඳු කී සියල්ල ජයේ මුදලාලි හිස් මුදුණින් පිළිගත්තේය. ඔස්ටි‍්‍රයා ජාතිකයා පැය ගණනක් තිස්සේ දියමන්තිය පරීක්‍ෂා කළේය. ඒ සඳහා යාන්ත‍්‍රික මෙවලම් කීපයක් ද ඔහු යොදා ගත්තේය.
ඔස්ටි‍‍රයා ජාතික ජෝර්ජ්ට හරිහැටි ඉංග‍්‍රීසි භාෂාව උච්චාරණය කිරීමට නොහැකි නිසා ඔහු කියූ සියල්ල පරිවර්තනය කළේ තරිඳුය.
‘දියමන්තිය පරීක්‍ෂා කරන්න තව මැෂින් කීපයක් පාවිච්චි කරන්න ඕන කියලා ජෝර්ජ් කියනවා. අපි ලබන 05 වැනිදා සවස එන්නම්. එදාට අනිවාර්යයෙන්ම මේ බිස්නස් එක වෙනවා.’
තරිඳු ජයේ මුදලාලිගෙන් සමුගන්නා ගමන් කීවේය. තමන් බලාපොරොත්තු වූ මුදලම දියමන්තිය අලෙවි කිරීමට හැකි වෙතැයි සිතමින් ජයේ මුදලාලි දැඩි ලෙස සතුටට පත්ව සිටියේය.
ඔහු තමන් දන්නා හඳුනන ව්‍යාපාරිකයන් කීප දෙනකුටම මේ බව කීවේය. ඔස්ටි‍්‍රයා ජාතිකයා ගැන ඇසූ තවත් ව්‍යාපාරිකයෙක් ඔහු සතුව තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත් මැණික් තොගයක්ද අගෝස්තු 05 වැනිදා ගෙනැවිත් ඔස්ටි‍්‍රයා ජාතිකයාට පෙන්වීමට සැලසුම් කළේය.
ඒ වන විට දියමන්ති කොල්ලය සඳහා මාකඳුරේ මධුෂ් සියලූ සැලසුම් සකස් කර තිබුණේය. කොල්ලය මෙහෙයවීමේ කාර්ය භාරවී තිබුණේ මාතර මල්ලී වෙතය. නාලක රවීන්ද්‍ර රණසිංහ ද මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි. ඔහුද මේ කොල්ලයට සම්බන්ධ වී සිටියේ මධුෂ්ගේ උපදෙස් මතය.
ඊට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනකු කොල්ලය සඳහා සූදානමින් සිටියහ.
නාලක රවීන්ද්‍රට පොලිස් නිල ඇඳුමක් ලබා දීමට මධුෂ් කටයුතු කර තිබුණේය.
උඹලා නාකොටික් එකෙන් වගේ මුදලාලිගෙ ගෙදරට පනින්න ඕනෙ. නාලක පොලිස් යුනිෆෝම් ඇඳලා ඉන්න නිසා කවුරුත් සැක හිතන එකක් නැහැ. බිස්නස් එක යන තැන ඉන්නෙ අපේ සෙට් එකක්. උන්ට මොකුත් කරදරයක් කරන්න එපා. ඔතන සුද්දෙකුත් ඉන්නවා. මිනිහා මගේ යාළුවෙක්. මිනිහට කරදරයක් නොකර රිලීස් කරන්න ඕනෙ.
මධුෂ් කොල්ලයට අදාළ සියලූ උපදෙස් මාතර මල්ලී වෙත ලබා දුන්නේය. අගෝස්තු මස 05 වැනිදා සවස මහරගම ඇරැව්වල පිහිටි ජයේ මුදලාලිගේ නිවසට කඩා වැදී දියමන්තිය කොල්ලකෑමට සියලූ සැලසුම් ඒ වන විට සකස් කර තිබුණේය.අගෝස්තු 05 වැනිදා සවස තරිඳු සහ ඔස්ටි‍්‍රයා ජාතික ජෝර්ජ් මහරගම ඇරැව්වල පිහිටි ජයේ මුදලාලිගේ නිවසට ආවේ අති සුඛෝපභෝගී වාහනයකින්ය. ඒ වන විට ජයේ මුදලාලි මෙන්ම තවත් මැණික් ව්‍යාපාරිකයකුද ඔවුන් පිළිගැනීමට සැදී පැහැදී සිටියහ. තරිඳු සහ ඔස්ටි‍්‍රයන් ජාතිකයා කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවූ ජයේ මුදලාලි තම මිතුරා වූ මැණික් ව්‍යාපාරිකයාද ඔවුන්ට හඳුන්වා දුන්නේය.
‘මගේ යාළුවා ළගත් කෝටි 200 ක විතර ගල් තියනවා. අපි මේ වැඬේ ඉවර කරලා ඒකත් බලමු.’ ජයේ මුදලාලි තරිඳුට කීවේය. දියමන්තිය නැවත පරීක්‍ෂා කිරීමට ජෝර්ජ් සූදානම් වුණේය. ඒ සමගම ජයේ මුදලාලිගේ නිවස ඉදිරිපිට සුදු පැහැති වෑන් රථයක් නතර කළේය.
ඉන් බැසගත් පොලිස් නිල ඇඳුම් සහ සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් එක්වරම ජයේ මුදලාලිගේ නිවසට ඇතුළු වූහ.
කවුරුත් කලබල කරන්න එපා. අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්.’
පොලිස් නිලධාරියකු ලෙස වෙස්වලා ගෙන සිටි මාතර මල්ලී පිස්තෝලයක් පෙන්වමින් කෑගැසුවේය. සිදුවන්නට යන්නේ කුමක්දැයි නොදැන ජයේ මුදලාලි මෙන්ම ඔහුගේ මිතුරා තුෂ්ණිම්භූතව බලා සිටියේය.
මේ සුද්දා ඉන්ටර්නැෂනල් හෙරොයින් බිස්නස් කාරයෙක්. අපි කාලයක් තිස්සේ මිනිහව ෆලෝ කළා. මෙතන ඩ‍්‍රග්ස් ඞීල් එකක් යනවා කියලා අපට ඉන්ෆොමේෂන් ආවා. ඒ නිසා මෙතන කවුරුත් කලබල කරන්න එපා. අපිට රාජකාරි කරන්න ඉඩ දෙන්න…’
මොහොතකට පොලිස් නිලධාරියකු වූ මාතර මල්ලි නමැති මංකොල්ලකාරයා ඔස්ටි‍්‍රයා ජාතිකයාගේ දෑත්වලට විලංගු දැමුවේය.
‘අපිට මේ ගේ සර්ච් කරන්න ඕනෙ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලා පැත්තකට වෙන්න.’
මාතර මල්ලි කෑගැසුවේය. ජයේ මුදලාලි තම දියමන්තිය එකවරම දෑතට ගෙන බදාගත්තේය. එය දුටු මාතර මල්ලී ජයේ මුදලාලි අතවූ දියමන්තිය ලබාගන්නට උත්සාහ කළේය.
මේක මගේ මැණික් ගලක්. මෙතන කුඩු නැහැ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලෝ මෙතනින් යන්න. ජයේ මුදලාලි කෑගැසුවේය. තම නිවස පරීක්‍ෂා කිරීමට ඔහු තදින් විරුද්ධ වුණේය. ඒ සැණින් ක්‍රියාත්මක වූ මාතර මල්ලි පිස්තෝල මිටෙන් ජයේ මුදලාලිගේ හිසට වේගවත් පහරක් එල්ල කළේය. ඒ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මුදලාලි බිම ඇද වැටුණේය. ඔහු අත වූ රුපියල් කෝටි 500 ක දියමන්තිය මාතර මල්ලි ලබා ගත්තේය.
ජයේ මුදලාලි සහ ඔහුගේ මිතුරා කාමරයක දමා සිරකළ මාතර මල්ලී ඇතුළු පිරිස පැය භාගයකට ආසන්න කාලයක් නිවස තුළ ගතකර එහි තිබූ වටිනා මැණික් සහ මුදල් සියල්ල කොල්ලකාගෙන පලා ගියහ.
ඒ වනතුරුත් ජයේ මුදලාලි සිතා සිටියේ තම නිවසට පැමිණියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කියාය. මාතර මල්ලී ඇතුළු පාතාල මැරයන් පැහැරගෙන ගිය ඔස්ටි‍්‍රයානු ජාතිකයා සහ තරිඳු මහරගම ප‍්‍රදේශයෙන් අතහැර දැමුවෝය.
පැය කීපයකට පසු ඔවුන් දෙදෙනා නැවතත් ජයේ මුදලාලිගේ නිවස වෙත දිව ආහ. ඒ වන විට ජයේ මුදලාලිගේ නිවස ගිනි කන්දක් බවට පත්ව තිබුණේය.
ජයේ මුදලාලි මේ කොල්ලකෑම පිළිබඳව පිළියන්දල මෙන්ම මහරගම පොලිසි වෙත ඒ වන විටත් දැනුම් දී තිබුණේය. තම දියමන්තිය අහිමි වීම ගැන ජයේ මුදලාලි සිටියේ දරාගත නොහැකි වේදනාවෙන්ය.
ඔස්ට්‍රියානු ජාතිකයා සහ තරිඳු නැවතත් ජයේ මුදලාලිගේ නිවස වෙත එන්නේ ඔවුන් වෙත එල්ල වන සැකය මගහැරීම සඳහාය. බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රසාද් රණසිංහ, පොලිස් අධිකාරි සමන් සිගේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කළහ.
ඔස්ට්‍රියා ජාතිකයාට ඉංග‍්‍රීසි භාෂාව කතා කළ නොහැකි නිසා ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි විය. ඒ වන විට ඔස්ටි‍්‍රයා ජාතිකයා සමග කතා කිරීමට භාෂා පරිවර්තකයෙක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැත.
ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ඔස්ටි‍්‍රයා ජාතිකයා සහ තරිඳු අගෝස්තු මස 07 වැනිදා හොර රහසේම ඩුබායි දේශයට පලා ගියහ.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් දියමන්ති කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුමක් ඒ වන විට ක‍්‍රියාත්මක කර තිබිණි. කොල්ලකන ලද දියමන්තිය රුපියල් කෝටි 700 ක් බව ඒ වන විටත් තහවුරු කරගෙන සිටියේය.
දියමන්ති කොල්ලය සිදුවී දින හයකට පසු එනම් අගෝස්තු 11 වැනිදා එක් කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ ඒකකය සමත් වුණේය. අත්අඩංගුවට පත්වන්නේ නාලක රවීන්ද්‍ර රණසිංය. කොල්ලකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී මේ මහා කොල්ලය පිටුපස සිටින්නේ මාකඳුරේ මධුෂ් බව තහවුරු කර ගැනීමට පොලිසියට හැකිවිය. මේ අතර කොල්ලකෑමට අදාළ ඉතා වැදගත් සාක්‍ෂි රැසක්ද හෙළිකර ගන්නට ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන්ට හැකිවිය.
කොල්ලය සඳහා පොලිස් නිල ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියේ නාලක රවීන්ද්‍ර නමැති අපරාධකරුය. ඔහුගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී අපරාධයේ සුලමුල හෙළි වුණේය.
කොල්ලකන ලද දියමන්තියේ සහ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා මැණික් තොගයේ සියලූ ඡායාරූප සියල්ල නාලක රවීන්ද්‍රගේ ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයා ගත්තේය.
මේ අතර මෙම කොල්ලයට අදාළ වටිනාම සාක්‍ෂිය වූ හඬපටයක් ද මේ ජංගම දුරකථනයේ තිබී සොයා ගන්නට පොලිසියට හැකිවිය. මේ හඬපටයන්ට අදාළ දුරකථන සංවාදයේ සිටියේ මාකඳුරේ මධුෂ් සහ නාලක රවීන්ද්‍රය.
දුරකථන සංවාදයට අනුව මධුෂ් නාලක නමැති කොල්ලකරුට කතා කළේ නාලක අයියා කියාය.
‘නාලක අයියෙ මේ මැණික් ගල් ටික කිසිම අඩුපාඩුවක් නැතිව මගේ අතට එන්න ඕනෙ. මොකද මේක ගන්න මම කෝටි ගණනක් වියදම් කළා. මේ ගේම් එකට සම්බන්ධ වෙච්ච හැම එකෙකුටම මම කෝටි ගණනක් ගෙවන්න ඕනෙ. ඒ නිසා ගල් ටිික හරියටම ලැබෙන්න ඕනෙ. මධුෂ් දුරකථනයෙන් නාලක රවීන්ද්‍රට කීවේය.
‘හරි හරි මධුෂ් මල්ලී ඒක කිසිම ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මම ගල් ටික හරියට පාර්සල් කරලා කාටවත් ගේමක් ගහන්න බැරි විදිහට එවන්න ලෑස්ති කරලා තියෙන්නෙ.
නාලක රවීන්ද්‍ර මැණික් තොගය පාර්සල් කළ ආකාරය ද ඡායාරූපයට නගා එය මධුෂ් වෙත වයිබර් දුරකථන මාර්ගයෙන් යවා තිබුණේය.
නාලක අයියෙ හැබැයි කවුරුහරි මේ ගල් ටිකට ගේමක් දුන්නොත් මම ඌව තාච්චියක දාලා බැදලා මරනවා. උඹ දන්නවනේ මම දෙයක් කිව්වොත් ඒක හරියටම කරනවා. ඔය ගල් ටික මම කියන වෙලාවට දෙමටගොඩට සමන්තා හෝල් එක ළගට ගෙනත් දීපන් මම එතනට මගේ එකෙක් එවන්නම්.
මධුෂ් නාලකට දුරකථනයෙන් කීවේය. මේ හඬපට සියල්ල නාලකගේ දුරකථනයේ සටහන් වී තිබී පොලිසිය සොයා ගත්තේය. ඒ අනුව පොලිසිය තවදුරටත් විමර්ශනය පවත්වන්න පටන් ගත්තේය.
මධුෂ් කී පරිදි අගෝස්තු 08 වැනිදා සවස නාලක රවීන්ද්‍ර රුපියල් කෝටි 500 ක දියමන්තිය සහ කෝටි 200 ක මැණික් ගල් තොගය දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසලට රැගෙන ගියේය. මධුෂ් දැනුම් දුන් පරිදි එහි පැමිණි මුහුණු ආවරණය කරගත් හිස්වැසුමක් පැළඳ සිටි යතුරුපැදිකරුවකු මැණික් තොගය රැගෙන ගොස් තිබුණේය.
දියමන්ති කොල්ලය සිදුවී සති තුන හතරකට පසු පිළියන්දල පොලිසියට හෙරොයින් ජාවාරම්කරුවකු කොටු වුණේය. පොලිසිය මේ කුඩු ජාවාරම්කරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී ඔහු මධුෂ්ගේ ගෝලයකු බව හෙළි විය.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ද මේ කුඩු ජාවාරම්කරුගෙන් ප‍්‍රශ්න කළහ.
‘සර් ඔය රයන් වැන්රෝවන් කියන නළුවායි අමල් පෙරේරායි දෙන්නම මධුෂ් අයියගේ ළගම යාළුවෝ. ඒ ගොල්ලො ඩුබායිවලදී නිතර හම්බවෙනවා.
කුඩු ජාවාරම්කරු හෙළිකළ තොරතුරුවලට අනුව පොලිසිය රයන් වැන්රොවන්ට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය. අමල් පෙරේරා ඒ වන විට විදේශගතව සිටි නිසා ඔහුට ප‍්‍රශ්න කිරීම් සඳහා වෙනත් දිනයක පැමිණෙන්නැයි දැනුම් දී තිබිණි.
පොලිසිය කළ දැනුම්දීමට අනුව රයන් වැන්රෝවන් මිරිහාන විශේෂ ඒකකය වෙත පැමිණ සිටියේය.
මාකඳුරේ මධුෂ් කියන මිනිහා මම දැකලවත් නැහැ. කතා කරලත් නැහැ. ඉතින් කොහොමද මිනිහා මගේ යාළුවෙක් වෙන්නෙ. මේක මගේ කීර්තිනාමයට කැලලක් කරන්න කවුරු හරි කියපු බොරුවක්.’
රයන් වැන්රෝවන් පොලිසිය හමුවේ තරයේම කියා සිටියේ මාකඳුරේ මධුෂ් නමැත්තකු තමා නොහඳුනන බවයි.
මේ අතර දියමන්ති කොල්ලයට සම්බන්ධ මාතර මල්ලී ද පොලිස් අත්අඩංගුවට පත් වුණේය. පොලිස් විමර්ශන නොනවත්වා දිගටම ක‍්‍රියාත්මක වෙමින් තිබිණි.
මුළු රටම කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ ඔය අතරතුරදීය. ශ‍්‍රී ලංකාවට මහා විෂබීජයක්ව සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සගයන් සමග ගායන ශිල්පී අමල් පෙරේරා රංගන ශිල්පී රයන් වැන්රෝවන් ඩුබායි පොලිසියට කොටුවීමේ සිද්ධියෙන් රටම ගිනි ගත්තේය.
තමන් මාකඳුරේ මධුෂ් නොහඳුනන බව රයන් වැන්රෝවන් පුන පුනා කර තිබූ ප‍්‍රකාශ පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ ඒකකය විමර්ශන පවත්වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කෝටි 700 දියමන්ති සහ මැණික් කොල්ලය සිදුවී දින තුනකට පසු එනම් අගෝස්තු මස 08 වැනිදා රයන් වැන්රෝවන්, අමල් පෙරේරා සහ කැරොකේ වසන්ත ඩුබායි දේශය බලා ගොස් තිබූ බව පොලිසිය හෙළිකර ගත්තේය.
රයන් වැන්රෝවන්ගේ ජංගම දුරකථන දත්ත පරීක්‍ෂා කළ පොලිසිය ඔහු දිගින් දිගටම මාකඳුරේ මධුෂ් සමග වයිබර් තාක්‍ෂණය ඔස්සේ ඇමතුම් ලබාගෙන තිබෙන බව අනාවරණය කර ගත්තේය.
මේ අතර වැදගත්ම තොරතුරක් හෙළි කරගන්නට මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සමත් විය. කොල්ල කෑ දියමන්තිය සහ මැණික් තොගය නාලක රවීන්ද්‍ර විසින් නාඳුනන පුද්ගලයකුට දෙමටගොඩදී ලබාදී තිබුණේ දෙසැම්බර් 08 වැනිදා සවස් කාලයේදීය. ඒ සිද්ධිය වන අවස්ථාවේ රයන් වැන්රෝවන් සහ අමල් පෙරේරා දෙමටගොඩ ප‍්‍රදේශයේ සිට ඇති බව පොලිසිය සොයාගන්නේ ඔවුන්ගේ දුරකථන ඇමතුම් ඔස්සේ කළ විමර්ශනවලදීය. මේ දියමන්ති හුවමාරුව සිදුවන අවස්ථාවේදීද රයන් වැන්රෝවන් තම ජංගම දුරකථනයෙන් ඩුබායි පිහිටි මධුෂ්ට ඇමතුම් ලබාගෙන තිබූ බව පොලිසිය හෙළිකර ගත්තේය. රයන්ගේ සහ අමල්ගේ ජංගම දුරකථන දෙමටගොඩ ප‍්‍රදේශයේ පරිහරණය වූ බව පොලිසිය සොයා ගන්නේ දුරකථන කුලූනු වාර්තාවලට අනුවය. එදින රාත‍්‍රියේම රයන්, අමල් සහ කැරොකේ වසන්ත ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවද පොලිසිය හෙළිකර ගත්හ. පොලිසිය පවසන්නේ රුපියල් කෝටි හත්සියේ මැණික් දියමන්ති තොගය ඩුබායි දේශයට රැගෙන යෑම පිටුපස රයන්ගේ සහ අමල්ගේ සම්බන්ධයක් ඇති බවට තහවුරු නොවුණත් සාධාරණ සැකයක් මතුව ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට රුපියල් කෝටි 700 ක දියමන්තිය සහ මැණික් තොගය තිබෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන තිළිණි නිශායා සතුව බව පොලිසිය හෙළිකරගෙන සිටියි. මේ දියමන්තිය ඩුබායි දේශයට ගොඩබා ගත්තද මධුෂ්ට එය අලෙවි කිරීමට ඉඩක් ලැබුණේ නැත.
කෙසේ වෙතත් මේ දියමන්ති සහ මැණික් තොගය ඩුබායි දේශයට රැගෙන යෑමේ සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට අමල් පෙරේරා සහ රයන් වැන්රෝවන් ශ‍්‍රී ලංකාවට පැමිණෙනතුරු බලා සිටීමට පොලිසියට සිදුවන්නේය.
රයන් වැන්රෝවන් අමල් පෙරේරා වැනි ප‍්‍රසිද්ධ කලාකරුවන් ගුවන්තොටුපළේදී වැඩි පරීක්‍ෂාවකට ලක් නොවන නිසා ඔවුන් යොදාගෙන මාකඳුරේ මධුෂ් දියමන්ති සහ මැණික් තොගය ඩුබායි දේශයට ගෙන්වා ගත්තේද යන්න බැහැර කළ නොහැකි සැකය පොලිසිය තුළ ජනිත වෙමින් තිබෙයි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!