Gossip

කෝටි 400කට පොලු තියා හොර රහසේම පැන ගිය පුත්තලමේ නීති උපදේශිකාව‍

විවිධ වංචනිකයින්ගේ විවිධ උගුල්වලට, තොණ්ඩුවලට, යටි කූට්ටු ගේම් වලට අසු නොවන ලෙස, අහක යන කෝච්චි වලට බෙල්ල නොතියන ලෙස දිනපතා, නිතිපතා, රාජ්‍ය අංශයත්, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පොලීසිය මෙතක් ම නොව විවිධ ශ්‍රව්‍ය – දෘශ්‍ය මාධ්‍යයන් මඟින් පුන පුනා, කෑ ගසා කියමින් හිඳී. නමුත් ඊළඟ තත්පරයේදී පැයේදී, හෙට දවසේදී සියල්ල අමතකව ඇතැමුන් මෝඩයින් සේ හසුවීම අප කෙසේ නම් විශ්වාස කරන්නද?
මෙහිදී අප දකින්නේ හසුවන්නන් ගේ “මෝඩකම” කෙසේ වෙතත් උගුල් අටවන්නන්ගේ “දස්කම්” ය. කූඨ උපක්‍රම යන්ය. මරු වැලක් (බඳින තුවක්කු කඳක්) බඳින දඩයක්කාරය ඇසට පෙනෙන නොපෙනෙන කළු නූලක් (මරු වැල) තුවක්කු කඳට බැඳ අටවා, මිනිස් ගඳ (කුයිල) මැකී යන්නට කරපිංචි කොළ පොඩි කර දමා යන්නේ, රැයේ ආහාර, ජලය සොයා යන සතෙකු දෙන්නෙකු එළා ගන්නට ය. බිංකුණ්ඩා යටි ඕවලාකාර වැලි වළක් උගුලක් තනා එහි වැලි යට සැඟ වී සිටින්නේ ඇවිද යන කෘමීන්, කුඩා සතුන් වැලි මතලිස්සා අවුත් වලට වැටෙන විට සපා යුෂ උරා බොන්නට . මෙවන් උගුල් නම් කොතෙක් ද…? උගුල් අටවන්නන්ගේ පුරුද්ද ද උගුල් ඇටවීම මයි. එයට අසු නොවීමට නම් බුද්ධිය, පළපුරුද්ද, අත්දැකීම තිබීම මෙන් ම තණ්හාව, ආසාව ද අත් හළ යුතු ම වේ.
නැවත වතාවක් අපට මාධ්‍යයන් මඟින් මෙවර එළි කිරීමට සිදු වන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයේ නීතිය ජනතාවට උගන්වන උගත් නීතිඥවරියක්, ජනතාව ගොනාට අන්දවා, වංචනිකව මුදල් රුපියල් කෝටි ගණනක් කඩාගෙන එතෙර ගිය පුවතක් ය. ඉංග්‍රීසි ඉගැන්වීමට ම උපන් සක්විත්තා මෙන්, නීතිය ම උගැන්වීමට උපන් ඇය; ජනතාවගේ මුදල් වලට විද්දේ අඩු තරමේ මයිලකට වත් නොදැනෙන්නටය. ඇය ඒ තරමට ම සූක්ෂම වූවාය.
ඇය; පුත්තලම දිස්ත්‍රික්කයේ පෞද්ගලික බැංකුවක බැංකු ශාඛාවල නීති උපදේශිකාව වූවාය. බැංකුව ඇය බඳවා ගත්තේ විශ්වාසය අවංක භාවය, රහෂ්‍යභාවය ඇතුළු බැංකු ප්‍රතිපත්තීන් සියයට සීයක් ම ඇයගෙන් සුරක්ෂිත වන බවට බැංකුව විශ්වාස කළ නිසාවෙන්ය. ඇය වසර කීපයක් ම වෙන්නප්පුව ප්‍රදේශයේ සිට තම රැකියාව කළා ය. ඉහළ වැටුපක් ද ලැබුවා ය.
ඇ‍යගේ ස්වාමි පුරුෂයා ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙක් විය. ඔහු රාජ්‍ය මෙන් ම පෞද්ගලික කොන්ත්‍රාත් ඉදිකිරීම් සිදු කරමින් මුදල් ඉපයූයේය. ඔවුන්ගේ එකම පුතා යෞවන විය පසු කරමින්, උසස් පාසලකට යමින්, පිහිනුම් ක්‍රීඩාව ද මනා සේ සිදු කරමින් සිටියේ ය. මේ පවුලට මුදලින් අඟ හිඟකම් ද නොතිබුණි.
එසේ තිබියදී පියා හා මව නව සමාගමක් ආරම්භ කළේ වැඩියෙන් කොන්ත්‍රාත් ලබා වැඩි වැඩියෙන් මුදල් උපයන්නටය. මෙසේ ඉදිකිරීම් කරගෙන යාමේදී ඔවුනට මුදල් ප්‍රශ්න පැන නැගිනි. මුදල් සොයා තම ව්‍යාපාරය තවදුරටත් ඉදිරියටත් පවත්වාගෙන යාමට මුදල් සෙවීමට ඔවුහු උපක්‍රම සෙවූහ.
ඔවුහු තම ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා මුදල් ඇතියවුන් පොළඹවා ගැනීමට අපූරු ආකර්ෂණීය ඇමක් ඇටවූහ. ඒ තම ව්‍යාපාරික සමාගමට මුදල් යොදවන අයට ලාභාංශ ගෙවන බවට ද යෙදූ මුදලට මාසිකව සියයට තුනක (3%) ක නැතිනම්, වාර්ෂිකව සියයට තිස් හයක (36%) පොලියක් ද ගෙවන බවට ප්‍රතිඥාවක් ලබා දීමෙනි.
ඒ සඳහා ඇයට අපූරු ගනුදෙනු කරුවන් රැසක් ද හමුවිය. ඒ ඇය සේවයකරන බැංකු පද්ධතියෙන් ණය වර්ග ලබා ගැනීමට හිමිකම් වාර්තා (ටයිටල් රිපෝට් TITLE REPORT) නීතිඥ සහතිකය ඇයගෙන් ලබා ගැනීමට ණය ඉල්ලුම් කරුවන් ඇය හමුවීමට පැමිණි අවස්ථාවේදීය.
ඇය ‍ටයිටල් රිපෝට් මුදලට සපයමින් ම එම ණය ලබා ගන්නවුනට පැවසුවේ, තමාත් සිටින තම ස්වාමියාත් සිටින ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට එම ණය මුදල හෝ වෙනත් මුදල් හෝ ආයෝජනය කරන ලෙසයි. ඒ සඳහා ආපසු ලාභාංශ ද, මුදල සඳහා මාසිකව 3%ක (සියයට තුනක) පොලී මුදලක් ද ගෙවන බව විශ්වාසය හඟවන දෑසින් යුතුව ‍පවසා සිටියා ය. ඇය එළූ මායාකාරී දැලට තෝරු, මෝරු මෙන් ම අලගොඩුවෝ, ඇටවල්ලෝ, හාල් මැස්සෝ ද අසූ වූහ. ඉඳහිට බේරී ගියේ කූණිස්සෝ දෙන්නෙක් පමණි.
මුලදී මාසවල 3% පොලී මුදල අපූරුවට ලැබුණු බව ගනුදෙනුකරුවෝ පැවසූහ. දෙවනුව ඇය; රජයේ ගෙවීම් මුදල්, ඉදිකිරීම් සඳහා නොලැබුණ බවත් කියා ආණ්ඩුවට පස් පඩංගුවේ බැණ, මුදල් ඉල්ලූ අවස්ථාවේදී මග හැරියේ ය. එක වෛද්‍යවරයෙක් ලක්ෂ අසූවකට (80) අධික මුදලක් ඇයට ලබා දුන් අතර ම තවත් මුදල් ඇති බො‍හෝ දෙනෙකු ලක්ෂ තිහ, තිස් පහ වැනි මුදල් ලබා දී තිබුණි. “යස පොලියක්” ලැබෙන මෙම ආයෝජනය පසුව “වස බඳුනක්” වේවි යැයි කිසිවෙකුදු සිතුවේ නැත. එසේ සිතන්නට කිසිදු අයෙකුට වසර කීපයක් පුරා, නීතී උපදේශිකාව ඉඩක් තැබුවේ ද නැත. ඔවුන් ඇඹලයන් මෙන් පැණි හට්ටියේ ම ගිලී සිටියේ, මුදල් ලෝලයෙනි. තණ්හාවෙනි.
ටික කලකට පසු ඇය පොලී මුදල් ඉල්ලූ විටෙක චෙක්පත් දුන්නාය. ඒවා ඉන්පසු කල් දින යෙදූ චෙක්පත් බවට පරිවර්තනය විය. මාස ගණන්, අවුරුදු ගණන් දින යොදා චෙක්පත ලබා දෙන විට ඔලුව මොළය යම්තම් හෝ තිබෙන කීප දෙ‍නකුට මෙහි කිසියම් අර්බුදයක් තිබෙන බව පෙනී ඇය සොයා ගියෝය. හත් වළාමේ..! ඔවුන් එවිට ප්‍රමාද වැඩිය. නීති උපදේශිකාව, තම කොන්ත්‍රාත්කාර සැමියා විසි හැවිරිදි පුතු සමඟ රට හැර විදෙස් ගතව සිටියා ය. ඇය සිටිනා ඉසවුවක් ද ඔවුනට සොයා ගත නොහැකි විය.
ඒ වන විට ඇය දැනට ඉදිරිපත් වී සිටින ගනුදෙනුකරුවන් තිස්අට (38) දෙනෙකුගේ ආයෝජනයකළ මුදල් රුපියල් කෝටි සියයකට වැඩි ප්‍රමාණයකට තට්ටු කර හමාර ය. ඉදිරිපත් වී නොසිටින සංඛ්‍යාව මීට වඩා වැඩි වී කෝටි 400 ක පමණ මුදලක් ඇය වංචා කොට පලා ගිය බැව් තවත් ගනුදෙනුකරුවෝ පවසති. ඔවුන් සැම අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නීතිඥවරුන් හමුවෙමින් ද, FCID, මූල්‍ය වංචා අපරාධ මූලස්ථානය, රහස් පොලිසියට මේ ගැන පැමිණිලි කරමින් ද සිටින්නේ ඇයගේ කෙස් වල්ලෙන් ම අල්ලා ගැනීමේ අදිටනනි.
මේ සියලු කාරණාවලින් අපට පැහැදිලි වන්නේ කුමක් ද…? තෘෂ්ණාවෙන් පිරි දඩයක්කාරයා මඟ දිගට දැමූ මී පැණි උලා කකා තොණ්ඩුවට කරා පා නඟන මුව පොව්වන් සේ අපත් කටයුතු කරනා බව නොවේ ද. නොපෙනෙ බලවේග, මිථ්‍යා විශ්වාස, මිථ්‍යා ක්‍රියාවන් පසුපස හැල්මේ දුවනා අපට අප ඉදිරියේ ඇති උගුල්, වළවල් කිසිත් නොපෙනේ.
ඉන්පසු ඒවායේ වැටී රටට ම කෑ – මොර දෙති. එමතුදු නොව; මහ පාර, ලිප්ටන් වට රවුම, කොටුව දුම්රිය පොළ හරස් කොට පුවරු ඔසොවා ගෙන, තවත් ජනතාවට කරදර – හිරිහැර දෙමින් උද්ඝෝෂණවල යෙදෙති. ඔවුන් වැටුණු වළෙන් ගොඩ ඒමට වෙහෙස වන්නට, කාලය ශ්‍රමය, මුදල් යොදවන්නට සිදුවන්නේ රජයටය. පොලිසියට ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!