Gossip

කොළඹ පාතාලය හොල්ලන මාකඳුරේ මධූෂ්ට පොට වැරදුනේ මෙහෙමයි

උඳුගොඩ පතිරින්නැහෙලාගේ අරුණ ශාන්ත හෙවත් “රණාලේ සමයං“ කොළඹ නගරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ප්‍රබල පාතාල නායකයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම හා පුද්ගල ඝාතන සිදු කිරීම ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් අතර මූලික අංග බවට පත්වී තිබේ.

අපරාධ සිදුකිරීම සඳහා ඔහුට ඇතැම් කොන්ත්‍රාත් ලබා දී තිබුණේ විදේශගත පුද්ගලයින් විසිනි.

එවැනි එක් අවස්ථාවක් වන්නේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙහොමඩ් රූෆි නැමති මුස්ලිම් ජාතික තරුණයා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ විමර්ශන කටයුතුවලදීය.

එසේම රටම කැළඹූ තවත් එක් ඝාතනයක් වූ අනුරාධපුර වසන්ත සොයිසා ඝාතනයට අදාළව එස්.එෆ් ලොක්කා අත්අඩංගුවට ගැනීමෙන් පසු ආරංචියක් පැතිර ගියේ එස්.එෆ් ලොක්කා ඝාතනය කිරීම සඳහා වසන්ත සොයිසා විසින් රණාල සමයංට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබූ බවය.

එසේ ඝාතන මෙහෙයවමින් සිටි රණාල සමයංගේ පාතාල ක්‍රියාවලට කණකොකා හැඬීමට පටන් ගන්නේ අංගොඩ ලොක්කාගේ ළඟම ගෝලයෙකු වූ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් අතුරුගිරියේ බණ්ඩා මරා දැමීමත් සමඟනි.

මාකඳුරේ මධූෂ් ද ඒ වන විට සමයංගේ දැඩි වෛරක්කාරයෙකු බවට පත්ව සිටියේය.

සමයං වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී මධූෂ්ගේ කුඩු ජාවාරමේ ප්‍රධානියා වූ හර්ෂ යසස් ද වැලිකඩ බන්ධනාගාර ගත වූ අතර බන්ධනාගාරය තුළ සමයං චණ්ඩියා වී සිටි නමුත් යසස් පැමිණ සමයංගේ බල බිඳීමට ක්‍රියා කළේය.

ඒ අනුව සමයං දණගස්වා පහර දීමට යසස් කටයුතු කිරීමත් සමඟ සමයං ඔහු මරා දමන බවට සපථ කළ අතර ඇප මත නිදහස් වූ යසස් දින 5 ක් ඇතුළත මැරවීමට සමයංට හැකිවිය.

යසස්ගේ ඝාතනයෙන් දැඩි සේ උරණ වූ මධූෂ් ඩුබායි හි රැඳී සිටින අතරතුර සමයං මරා දැමීමට සැලසුම් කළේය.

මේ සමයේ දී අංගොඩ ලොක්කා ද මධූෂ්ට සමීප වී සිටි බැවින් සමයංගේ ඝාතනය සිදු වන්නේ මධූෂ්ගේ උපකාර සහිතවය.

මෙසේ සමයං ඝාතනයට ලක් වන්නේ කලුතර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා බස් රථයකින් රැගෙන යමින් සිටියදී එම රථයට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි.

සමයං මියගියද එහි පළිය ගැනීමට ඔහුගේ ගෝලයින් ක්‍රියා කළ අතර අංගොඩ ලොක්කා, ලඩියා කල්ලි සාමාජිකයින් මෙන්ම මධූෂ්ගේ ගෝලයද ඝාතනය කිරීමට පටන් ගන්නේ ඒ අනුවය.

එම ඝාතන රැල්ළේ තවත් ඝාතනයක් ලෙස පසුගිය පෙබරවාරි 16 වැනි දා සමයංගේ කල්ලිය විසින් මධූෂ්ගේ සමීපතම හිතවතෙකු වූ මෙහොමඩ් රිෆ්කාන් මරා දැමීමට ද කටයුතු කළේය.

එහිදී ඔහුට වෙඩි තැබූ නිරෝෂන් නැමැත්තා ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මියගොස් සිටි අතර පැදිකරු මිරිහාන පොලිසියට කොටුවී තිබුණි.

රිෆ්කාන් ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය ලබා දී තිබූ පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී පමණක් ඉතුරු වී සිටියේය.

අනතුරුව කොස් මල්ලීව උපක්‍රමශීලීව කොටු කර ගැනීමට මධූෂ්ගේ ගෝලයින්ට හැකිවිය.

කොටුකර ගත් පසු කලින් සැලසුම්කර තිබූ පරිදි එක් ස්ථානයකදී ඝාතනය කර කොස් මල්ලී හිස කඳෙන් වෙන් කර රිෆ්කාන් ඝාතනය කළ ස්ථානයට ගෙනැවිත් දැමී‍ය.

කොස් මල්ලීගේ හිස හමුවුවත් ඔහුගේ කඳ සොයා ගැනීමට ‍අපහසු වූයේ එම ඝාතනය සැලසුම් කළ පුද්ගලයින්ගේ ඉතා සූක්ෂමව එම අපරාධය සිදුකර තිබූ නිසාවෙනි. එහෙත් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකිවිය.

ඊට දින කිහිපයකට පසුව කඹුරුපිටිය පොලිසිය විසින් තවත් පුද්ගලයින් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ සැකකටයුතු කිහිපදෙනෙකු මධූෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුවය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කොස්මල්ලී ඝාතනයේ ප්‍රධානම සැකකරුවෙකු වූ කසුන් තරංග පිළිබඳ තොරතුරු හෙළිවන අතර ඉතුරු පුද්ගලයින් අතර කොස් මල්ලීට වෙඩි තැබූ අමිල සම්පත් ද විය.

මේ අතර මධූෂ් පොලිස් නිලධාරින්ට දුරකථන ඇමතුම් දී ඉල්ලා ඇත්තේ තම සගයින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන විට ඔවුන්ට පහර නොදෙන ලෙසයි.

අඟුණුකොළපැලැස්සේ ලොකු අයියා කොස් මල්ලී ඝාතනයේ ප්‍රධානයා වූ අතර ඔහු අතුරුදහන්ව සිටියත් අත්අඩංගුවට පත්වූවන් ඝාතනය සම්බන්ධ සියලු තොරතුරු හෙළිකර තිබුණි.

මේ අතර මධූෂ් ඩුබායි රාජ්‍යයෙන් පළා යාමට කටයුතු කළේ තමාට පොට වැරදී ඇති බව තේරුම්ගත් නිසාවෙනි. කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන පවා නිකුත් කෙරුණි.

දැන් මධූෂ් ඉතාලියට පැන ගොස් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

දැන් තොරතුරු හෙළිව ඇත්තේ මධූෂ් ඉතාලියෙන් ස්විස්ටර්ලන්තයට ගොස් දේශපාලන රැකවරණ පැතීමට බලාපොරොත්තු වන බවයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!