Gossip

කොහුබත් සල්ලි කරන දිරිය කත – Photos

විවිධ බාධක හා අභියෝග හමුවේ දශක දෙකක කාලයක් පුරා කොහු කෙඳි හා කොහුබත් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන පැමිණ අද එහි යම් සාර්ථකත්වයක් ලබා සිටින දිරිමත් කාන්තාවක් පසුගියදා අපට හමු විය.
රටට විදේශ විනිමය උපයා දෙන මෙම කර්මාන්තය කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු බව පෙන්වා දෙන ඇය, ඩබ්.එම්.ඕ. මාරි හෙලන් ප්‍රනාන්දු මහත්මියයි. බිංගිරිය, වීරපොකුණ, ඉහළ කරඹේ ප්‍රදේශයේ ඇය පදිංචිව සිටින්නීය.
ඇය වසර 19කට වැඩි කලක් පැරණි යන්ත්‍රයක් භාවිත කරමින් ඉඩකඩ ප්‍රමාණවත් නොවන මඩුවක අඩු පහසුකම් සහිත පසුබිමක තම කර්මාන්ත ශාලාව පවත්වාගෙන පැමිණ ඇත.
බොහෝ කාලයක් ප්‍රයෝජනයට ගැනීම නිසාම ඇගේ කර්මාන්ත ශාලාවේ ඇති යන්ත්‍රද මේ වන විට ඇත්තේ අබලන් තත්ත්වයකය. කෙසේ වෙතත් මේ වන විට කොහු යන්ත්‍රය නවීකරණය කර ගැනීමට ඇය සමත්ව ඇති අතර ශාලා මඩුවද ඉඩකඩ ඇති ලෙස ඉදිකර ගැනීමටත් කටයුතු කර තිබේ.
එසේම කොහුබත් වේලන බිමද ඇය නවීකරණය කරගෙන තිබේ. ඇය කියා සිටින්නේ මෙම ක්ෂේත්‍රයේ ඇති ආර්ථික වැදගත්කමට සාපේක්ෂව වගකිවයුත්තන්ගේ අනුග්‍රහයක් හා අවධානයක් යොමු නොවීම හේතුවෙන් වත්මන් තරුණ පරපුර මෙම කර්මාන්තය වෙත ආකර්ෂණය නොවන බවයි.
මාරි හෙලන් මහත්මියගේ කර්මාන්ත ශාලාවේ පොල් ලෙලි කපන යන්ත්‍රය නවීකරණය කර ගැනීමට හා මඩුව ඉදි කිරීමට අනුග්‍රහය ලබා දෙනු ලැබ ඇත්තේ ඇයගේ කොහුබත් නිෂ්පාදන මිලදී ගන්නා ‘ට්‍රොපි කෙයාර් ලංකා’ පුද්ගලික සමාගම විසිනි.
එසේම ඇයගේ කොහුබත් වේළන බිම ප්‍රතිසංස්කරණය කර ගැනීමට පොල් සංවර්ධන මණ්ඩලය දායක වූ බව හෙලන් මහත්මිය පවසයි. ඒ පිළිබදවත් ඇය මෙම කර්මාන්තය ආරම්භ කිරීම පිළිබඳවත් සිහිපත් කරමින් ඇය මෙසේ කියා සිටියාය.
“මම මේ කොහු කර්මාන්ත ශාලාව ආරම්භ කළේ දෙදාහේ අවුරුද්දේ.
ඉඩකඩ අඩු කුඩා මඩුවක තමයි එදා ඉඳල මේ කර්මාන්ත ශාලාව මම කරගෙන අවේ. මැෂින් එකත් ඉතාම පරණ එකක්. හරිම අපහසුතාවකින් තමයි වැඩ කළේ.
තිබුණු මැෂින් එක පරණ නිසා ඒකට පොල් ලෙලි දැම්මෙත් අමාරුවෙන්. පොල් ලෙලි ඇඹරිලා ඉවත් වෙන කොහුබතුත් එතැනමයි ගොඩගැහුණේ. ඒවා කම්කරුවෙක් දාලා එතැනින් ඉවත් කළා. අපේ කොහුබත් නිෂ්පාදන මිලදී ගන්න ට්‍රොපි කෙයාර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ දිනෙෂ් ප්‍රනාන්දු මහත්තයා මගේ කර්මාන්ත ශාලාව අලුතින් ඉදිකර දීල මැෂින් එකත් නවීකරණය කර දුන්නා. දැන් ශාලාවෙ හොඳට ඉඩකඩ තියෙනො. වටේ දැල් ගහලත් තියෙනවා.
මැෂින් එක නවීකරණය කරපු නිසා දැන් ඒකෙ කොහුබත් බෙල්ට් එකක් දිගේ ගිහිල්ල ට්‍රැක්ටර් ටේලරයකට වැටෙනවා. ඒ නිසා ඒක පිරුණාම දැන් ට්‍රැක්ටර්යෙන්ම ගෙනිහිල්ල වේළන බිමට දාන්න පුළුවන්. එයින් මට කම්කරු කුලියත් අඩු වුණා. වැඩ කරන අයටත් විශාල පහසුවක් ඇති වුණා. ඒ ගැන දිනෙෂ් මහත්තයා ඇතුළු ඒ සමාගමේ අයට මම ස්තුතිවන්ත වෙනවා.
“කොහුබත් වේලන බිම හදා ගන්න උදව් කළේ පොල් සංවර්ධන මණ්ඩලය. මේතාක් කලක් රජයේ ආයතනයකින් කියලා ඒ උදව්ව විතරයි කරලා තියෙන්නේ. මට මොනතරම් දුෂ්කරතා, අභියෝග ආවත් මේ කර්මාන්තය අත නොහැර කරගෙන ආව නිසයි මේ උපකාර මට ලැබුණේ.”
තමන් විසින් සපයනු ලබන කොහුබත් යොදා ගනිමින් නිපදවන දෑ විදේශ වෙළෙඳපොළ වෙත යවා රටට විදේශ විනිමය ලබා ගැනීමට හැකි වීම පිළිබද මාරි හෙලන් මහත්මිය සිටින්නේ මහත් සතුටකිනි. ප්‍රදේශයේ ඇති කොහු කර්මාන්ත ශාලා නවීකරණය කර ගැනීමට උදව් කරන්නේ නම් මේ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කර එමඟින් උපයන විදේශ විනිමය ප්‍රමාණය තවත් වැඩි කර ගත හැකි බවද ඇය පෙන්වා දෙයි. එමඟින් මේ කර්මාන්තයෙන් අද ඈත් වන තරුණ පරපුර නැවත මේ කර්මාන්තය වෙත ආකර්ෂණය කර ගත හැකි බව ඇය කියා සිටී.
හෙලන් මහත්මියගේ කර්මාන්ත ශාලාවේ මේ වන විට 5 දෙනකු සේවය කරයි.
ඇය නිපදවන කොහු කෙඳිවලින් ලණු ඇඹරීමේ කර්මාන්තයක් ඇරඹීමේ හැකියාව ඇති මුත් ඇය පවසන්නේ ඒ සඳහා ආයෝජනය කිරීමට මුල්‍ය ශක්තියක් තමන්ට නැති බවයි.
ඒ පිළිබදව ඇය මෙසේ පවසා සිටියාය.
“මගේ කර්මාන්ත ශාලාවේ නිපදවන කොහු කෙඳි මිලදී ගන්න හේලීස් සමාගම මට කිව්වා මේ කෙඳිවලින් ලණු අඹරලා දෙනවා නම් ඉහළ මිලකට ගන්න පුළුවන් කියල.
විදේශ වෙළෙඳපොළේ ලණුවලට හොඳ ඉල්ලුමක් තියෙන බවත් ඒ අය කිව්වා.
මට ලණු අඹරන වැඩේ කරන්න පුළුවන්. නමුත් ඒකට තව ශාලාවක් හදලා මැෂින් ගන්න ඕනෑ. ඒකට ආයෝජනය කරන්න මට මුදල් නෑ. මම රජයේ සංවර්ධන යෝජනා ක්‍රම යටතේ දෙන ණය මුදලක් මේ කටයුත්ත කර ගන්න ඉල්ලුවම ඒ බැංකුව මට ණය දෙන්න හැදුවේ සීයට 16 පොළියට.
ඒකයි මම කියන්නේ මේ වගේ විදේශ විනිමය රටට ගෙනෙන කර්මාන්ත ගැන රජය මීට වඩා අවධානය යොමු කරන්න ඕනෑ කියලා. ලණු අඹරන කර්මාන්තය පටන් ගන්න තිබුණා නම් මට තවත් හතරපස් දෙනකුට රැකියා දෙන්නත් තිබුණා.”
මෙහිදී අප හා කතා කළ මාරි හෙලන් මහත්මියගේ කර්මාන්ත ශාලාව නවීකරණය කර ගැනීමට රුපියල් මිලියනයකට වැඩි මුල්‍ය පහසුකම් සැපයූ ට්‍රොපි කෙයාර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“කොහුබත් කපාපු පොල් ලෙලි ආශ්‍රිත අමු ද්‍රව්‍ය යොදා ගෙන කරන නිෂ්පාදන විදේශ වෙළෙඳපොලට යවන එක තමයි අපේ කර්මාන්ත ශාලාව මඟින් කරන්නේ.
මාරි හෙලන් මහත්මියගේ කර්මාන්ත ශාලවේ කොහුබත් අපි මිලදී ගන්නවා. ඇය ඉතාම උනන්දුවෙන් කැපවීමෙන් මේ කර්මාන්තයේ යෙදී ඉන්න කෙනෙක්. ග්‍රාමීයව මේ කර්මාන්තය ව්‍යාප්ත වෙලා තිබුණත් මෙය කාලයට ගැලපෙන ලෙස නවීකරණය වෙලා නෑ.
ඒ නිසාම ගම්බද තරුණ පරපුර මේ කර්මාන්තයට යොමු වෙනවා අඩුයි. ඉන්න අයත් පුරුද්දට වගේ කරගෙන යනවා. නමුත් මේ කොහුබත් යොදාගෙන කරන නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. එනිසයි අපිත් ඉල්ලන්නෙ මේ කර්මාන්තයේ යෙදී ඉන්න අය දිරිමත් කරන්න කියලා.
“ඇත්තටම කොහුබත් කියන්නේ විදේශ විනිමය උපයා දෙන සම්පතක්. තිබෙන ඉල්ලුමට අනුව භාණ්ඩ සපයන්න අපට ලැබෙන කොහුබත් ප්‍රමාණවත් නෑ. එනිසා අපි සමාගමක් විදියට අපට අමුද්‍රව්‍ය සපයන අයට උදව් කරන්න තීරණය කළා. ඒ අනුවයි අපි මාරි හෙලන් මහත්මියට උදව් කළේ. ඇත්තෙන්ම ඇය ඉතාම දිරිමත් කාන්තාවක්.
විශාල කැපවීමකින් මේ කර්මාන්තය රැක ගන්න කටයුතු කරන කෙනෙක්. මේ වගේ තවත් අයට උදව් කරන්නත් පොල් වගාව වැඩි දියුණු කරන්නත් අපි උදව් කරනවා. මොකද මේ කර්මාන්තය ගෙනියන්න නම් පොල් ගස රැකෙන්න ඕනෑ.”

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!