Gossip

කිසිම කෙනෙක් නිසා මගේ නිදහස වෙනස් කරගන්නේ නෑ – සමහර කට්ටිය බලාගෙන ඉන්නේ කවද්ද අපි වෙන්වෙන්නේ කියලයි – අංජුලා රාජපක්ෂ

ජනප්‍රිය රංගන ශිල්පිණී අංජුලා රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඉතින් විවාහයත් එක්ක අංජුලා ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තා. මේ අංජුලා ඒ සියල්ල ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

අංජුලා… තනිකඩ ජීවිතෙන් මිදිලා පසුගියදා විවාහ ජීවිතයට පිවිසුණානේ. කියමුකෝ ඔයාගේ ආදරණීය සැමියා ගැන විස්තර. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් නේද…?
එයා… එයාගේ නම රංග වීරකෝන්. ඔහු ක්වින්ටස් වීරකෝන් මහතාගේ පුතා. ටෙලිනාට්‍ය, වේදිකා, සිනමාව තුනම නියෝජනය කරපු කලාකරුවෙක් තමයි රංග අයියාගේ තාත්තා. ඔහු දැන් අප අතරේ නෑ. රංග අයියත් කාලයක් ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු නර්තන ශිල්පියෙක්. නර්තන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.

කොහොමද රංගව මුණගැහුණේ…?
රංග අයියාව මට මුලින්ම මුණගැහුණේ ටෙලිනාට්‍යයක් කරන්න ගියපු වෙලාවකයි. කාලයක් ඔහු විදේශ ගතවෙලයි හිටියේ. මේ නිසාම කාලයක් තිස්සේ එයා කලාවෙන් ඈත්වෙලයි හිටියේ. ඉතින් මුල් කාලවලදී එයාව මම දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ රංග අයියාව මට මුණගැසුණා. අපි කතාබහ කළා. කොහොමත් සාමාන්‍යයෙන් මම හැමෝඑක්කම හරිම සුහදව කතාබහ කරනවනේ ඉතින්… අයියත් එක්කත් මම ඒ විදිහට හොඳට කතා කළා. එතනදී එයාට මම ගැන අදහසක් පහළවෙලා තිබුණා. ඉතින්… ටික දවසක් ගියාට පස්සේ රංග අයියා කෙලින්ම අපේ ගෙදරින් ඇවිත් ඇහුවා.

තාමත් අංජුලා කියන්නේ අයියේ කියලද…?
ඔව් අනේ… ඉස්සර ඉඳන්ම මම එයාට කතා කළේ අයියේ කියලා. ඉතින්… නම කියලා කතා කරන්න මොකද්ද වගේ…

ගෙදරින් ඇවිත් අහන්න කලින් රංග හිතේ තියන දේ අංජුලාට කිව්වේ නැද්ද…?
කිව්වා… කිව්වා… මට එයා කිව්වා. මට එහෙම කියපු ගමන් “අනේ මගෙන් ඕවා මුකුත් අහන්න එපා… කියලා මම අයියට කිව්වා. ඒ ගමන එයා ගෙදරින්ම ඇවිත් ඇහුවා. ගෙදරින් කතාබහ කරගෙන අපිට කැමැත්ත දුන්නා. අපි දෙන්නා මුලින්ම හඳුනාගත්තේ 2016 මැයි මාසේදී. එයාගේ හිතේ අදහස ඇති වුණු අලුතම එයා ගෙදරින් ඇවිත් ඇහුවා.

මෙච්චර කල් ඔය සම්බන්ධය රහසක්ව තියාගෙන හිටියේ ඇයි…?
අපි එහෙම රහසක් කරගෙන තියාගත්තේ නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් මම අවංකවම ඔව් කියලා කියනවා. හැබැයි කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නෑ. මම එහෙම ලොකුවට අණබෙර ගහලා මගේ පෞද්ගලික ජීවිතේ ගැන කියන කෙනෙක් නොවේ. මේක විවාහ වුණු දවසට හැමෝම දැනගත්තොත් හොඳයි කියලා මට හිතුණා. නිකම් බොරුවට හැමෝටම කියලා මේ දේවල් සිදුනොවුනොත් අපහසුතාවයට පත්වෙනවනේ. ඒ නිසා මම නොකියා හිටියා. ගෙදර ආශිර්වාදය තිබුණා. අපි ආශ්‍රය කළා. කතාබහ කළා. ඉතින් විවාහ වෙන්න තීරණය කළා. අපි දෙන්නා විවාහ වුණා.

රංගට ආදරය කරන්න ඔහුව විවාහ කරගන්න හිතුණේ ඇයි…?
මම බොහෝම නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. කිසිම කෙනෙක් නිසා මගේ නිදහස වෙනස් කරගන්න මම කැමති නෑ. මොකද මම දන්නවා මම ජීවත් වෙන්නේ වැරදි විදිහට නෙමෙයි කියලා. මම නිදහසින් කවදාවත් අයුතු ප්‍රයෝජන අරගෙන නෑ. මම බොහෝම සැහැල්ලුවෙන් හිනාවෙලා ගතකරන්න කැමති කෙනෙක්. තමන් තමන්ගේ විදිහට ජීවත් වෙන්න ඕනෑම කෙනෙක් කැමතියි. එයා කොයිම වෙලාවකවත් මාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නෑ. අනික අපි උදේ අටට ගිහින් හවස පහට ඉවරවෙන රස්සාවල් කරන අය නෙමේ. අපි කලා ශිල්පිනියන්. විවිධාකාර වූ කට්ටියව අපිට මුණගැහෙනවා. ඉතින් කලාව ගැන හරි අවබෝධයක් ඔහු තුළ තියෙනවා. අපි දෙන්නා කලා ක්ෂේත්‍රය තුළ විවිධ පැතිකඩයක් නියෝජනය කරන දෙන්නෙක්. ඉතින් කලාව ගැනත් එයාට අවබෝධය තියෙනවා. ඒ නිසා මගේ ජීවිතය එයත් එක්ක යන්න බොහෝම පහසු වේවි. අපි දෙන්නාගේ අදහසුත් ගොඩාක් දුරට සමානයි. සියයට සීයක් නම් නෙමේ. අපි ඒ දේ තේරුම් ගෙන ජීවිතේ ගෙනියන්න තීරණය කළා.

රංග මේ වෙනකොට වෘත්තියෙන් කලාකරුවෙක්ද…?
රංග අයියා කලාවට සම්බන්ධව වැඩ කරනවා. ළඟදීම එයා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. නර්තන කටයුතුත් ආයෙමත් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අංජුලාගේ විවාහ උත්සවය හරි වෙනස්, චාම් උත්සවයක් වුණා නේද…?
ඔව්නේ… අපේ වෙඩින් එක තිබුණේ ජනවාරි 19 වැනිදා. අපි දෙන්නා ලොකුවට වෙඩින් අරගෙන කරන්න කැමති වුණේ නෑ. අපි දෙන්නටම ඕනේ වුණේ ලංකාවේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා විශ්වයේ ඒ ශක්තිය එකතු කරගෙන අපේ විවාහ උත්සවය ගන්න. අපේ උත්සවය උදේ අටට පටන් අරගෙන එකොළහ හමාර වෙද්දී අවසන් කළා. මේක එළිමහන් සුන්දර වටපිටාවක තමයි පැවැත්වූවේ. එළිමහනේ පිච්ච මලින් සරසපු පෝරුවක තමයි අපේ විවාහය සිද්ධ වුණේ. ස්වභාව දහමේ සුළඟ, හිරැගේ ආලෝකය, ගහකොළත් එක්ක වටවුණු සුන්දර පරිසරයක තමයි අපේ වෙඩින් එක ගත්තේ.

කේක් වෙනුවට කැපුවේ කිරිබත් නේද…?
ඔව්… අපි කැපුවේ කිරිබත්. වෙල්කම් ඩ්‍රින්ක් එක වෙනුවට අපි දුන්නේ තැඹිලි ගෙඩියක්. කිරිබත් මේසේ පොඩි පොල්තෙල් පහනක් අපි දැල්වූවා. අමුත්තන්ට සංග්‍රහ කළෙත් සිංහල ඇතිලි වළංවල සිංහල කෑම මේසයක්. අපි අතුරුපස විදිහට ඒ වෙලාවෙම බැදපු කැවුම් කොකිස් තමයි දුන්නේ. තේ කෝපි වෙනුවට ඉරමුසු පොල්පලා බොන්න දුන්නා

හරි ලස්සනට අංජුලා හැඩ කරලා තිබුණා…?
ඔව්… මම හැමවෙලේම කොහේ හරි උත්සවයකට යද්දී මාව හැඩ වැඩ කරගත්තේ ලක්ෂිත ජයසිංහ. ඉතින් මගේ වෙඩින් එකේ හැඩගැන්වූයේ එයයි. මගේ ඇඳුම හදලා දුන්නේ චමිල් උදයංග. අයියගේ ඇඳුම හදලා දුන්නේ නාමල් බාලචන්ද්‍රයි. ඡායාරෑප ධනුෂ්ක සේනාධීර. මගේ පළවෙනි දවසේ හැමදෙයක්ම හොයලා බලලා කළේ සඳුන් බණ්ඩාර. දෙවැනි දවසේ වෙඩින් ප්ලෑන් කළේ ලසන්ත පීරිස්.

ඔහොම චාම් උත්සවයක් ගත්තාම ජනවාරි 20 වැනිදා ඊට හාත්පසින්ම උත්සවයක් අංජුලා ගත්තා නේද?
ඔව්… ඔව්… පළමු දවසට වඩා හාත්පසින්ම වෙනස් වූ උත්සවයක් දෙවැනි දවසේ ගන්න මට ඕන වුණා. එදා තනිකරම “Night Club” එකක් තමයි කළේ. ඒක තිබුණේ බත්තරමුල්ල අපේ ගම. ඒක වෙනස්ම උත්සවයක්. දෙවැනි දවසේ ආපු කට්ටියම මාර විදිහට සතුටු වුණා. අපේ ජීවිතේ දවස් දෙක දෙවිදිහක් වුණා. ඇත්තටම ඒ ගැන ඇත්තටම සතුටුයි.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු…?
අපි දෙන්නාගේ ජීවිතේ තියන බලාපොරොත්තුව තමයි ජීවිතේ මැරෙනකල්ම කාටවත්ම කරදරයක් නැතිව සතුටින් ජීවත් වෙන්න. සමහර මිනිස්සු බලාගෙන හිටියේ කවද්ද අපි කසාද බඳින්නේ කියලයි. දැන් සමහර කට්ටිය බලාගෙන ඉන්නේ කවද්ද අපි වෙන්වෙන්නේ කියලයි. ඒ වගේ පිරිසකට ඒ අවස්ථාව නොදී අපි දෙන්නා ජීවිත කාලේම සන්තෝසයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!