Gossip

“කවුරුවත් දික්කසාද වෙන්න බලාගෙන විවාහ වෙන්නේ නෑනේ..” – සුරාජ් මාපා

පුංචි තිරයේ හිටපු ජනප්‍රිය පෙම්වතෙක් තමයි සුරාජ් මාපා කියන්නේ.
සිය රංගන හැකියාවට වගේම සුරාජ්ගේ කඩවසම් පෙනුමටත් බොහෝ දෙනෙක් ආදරය කළා.
මේ සුරාජ්ගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතක සටහන් වූ කතාවයි.

ඔබ කාලයක් බොහෝ නිර්මාණවල පේන්න හිටිය නළුවෙක්. දැන් නිර්මාණ ගොඩක ඔබව පේන්න නැත්තේ තේරීම් නිසාද?
ඉස්සර ටෙලි නාට්‍යවල ගුණාත්මක බව වැඩියි. දැන් ටෙලි නාට්‍ය අඩු වියදමකින් ඉක්මනින් කරන්න බලන්නේ.
එහෙම නාට්‍යවලට ගියාම ඒ නාට්‍යවල වෙන්නේ මොනවද කියලා අපිවත් දන්නේ නෑ. ඉතින් ඒ වගේ වැඩවලට මම දායක වෙනවා අඩුයි. ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි තමයි. හැබැයි කලාව කියන්නේ මුදල මතම පදනම් වෙලා යන වෘත්තියක් නෙවෙයි. කලාව කරද්දී තෘප්තියත් ඒකට වැදගත්. ඉතින් නිර්මාණයක් කරද්දී මගේ තෘප්තිය ගැන හිතන්න වෙනවා.
මට මගේ තෘප්තිය වැදගත්. ඒ නිසා මට වෙනසක් කරන්න පුළුවන් නිර්මාණවලට විතරයි දායක වෙන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයාට ගුණාත්මක දෙයක් දීලා ඔවුන් තෘප්තිමත් කරන්න මම කැමැතියි.

ඔබ ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලුමක් හදාගත්ත නළුවෙක්. කාලයෙන් කාලයට අලුත් පිරිස් ක්ෂේත්‍රයට එනවා. ඒ එක්ක ඔබේ ඉල්ලුම අඩු වැඩි වෙලාද?
අපි නිර්මාණයක් කරද්දී අධ්‍යක්ෂවරයාගේ හිතේ තියෙන චරිතයක් තමයි අපි නිරූපණය කරන්නේ.
අපි ඒ වැඩේ ඔහු හිතපු විදිහට ලස්සනට කළොත් ඔහුත් තෘප්තිමත්. අපි බලන්න ඕනේ අධ්‍යක්ෂවරයා හිතනවටත් වඩා හොඳට එය කරන්න. මම මගේ චරිතයත් සියයට සියයක් ලස්සනට කරන්න මහන්සි වෙනවා.
ඒකත් එක්ක අධ්‍යක්ෂවරු හිතනවා හරියටම වැඩේ කරන කෙනාට චරිතයක් භාරදෙන්න.
මම අධ්‍යක්ෂවරයා ප්‍රවීණ වුණත් නවක වුණත් මට භාරවෙන දේ හරියට කරන්න මහන්සි වෙනවා. අධ්‍යක්ෂවරයා සහ අපි අතර හොඳ ගනුදෙනුවක් තියෙනවා නම් ඔවුන් කැමැතියි අපිත් එක්ක වැඩ කරන්න. මට ඉස්සරට වඩා හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඉස්සර වගේම ඉල්ලුමක් මට තියෙනවා.

ඒ කියන්නේ අධ්‍යක්ෂවරු එක්ක සහයෝගයෙන් වැඩ කරන නිසා අලුත් අය එක්කත් ඔබේ තැන රැකගෙන ඔබට වැඩ කරන්න ලැබෙනවා?
ඔව්. හැම ක්ෂේත්‍රයකටම අලුත් අය එනවා. අපි අපිට ගැළපෙන දේ කරන්න ඕනෑ. මම පෞද්ගලිකව උත්සාහ කරන්නේ අලුතින් එන අයටත් සහාය දීගෙන මගේ වැඩ කොටස කරන්න. මගේ ස්ථාවරය, මගේ තැන තියාගෙන මම හොඳට ඉන්නවා. අපි දවසින් දවස දේවල් ඉගෙන ගන්නවා.
ඉතින් ඒ ඉගෙන ගන්න දේවල් එක්ක චරිත නිරූපණය කරද්දී ප්‍රේක්ෂකයනුත් අපිට වැඩි වැඩියෙන් ආදරය කරන්න ගන්නවා. අධ්‍යක්ෂවරුන් අපිව වෙනස් කරන්න බලනවා.

සුරාජ් නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවාද?
එතැනදිත් මට රචකයා සහ පිටපත් රචකයා කියන දෙන්නම වැදගත්. මම නිර්මාණයක් තෝරා ගන්නේ මට ඒ චරිතය හොඳට කරන්න පුළුවන්නම් විතරයි. මම එක නාට්‍යයක් ඉවර වෙද්දී තමයි තවත් නාට්‍යයක් භාරගන්නේ. සමහරු උදේ එක නාට්‍යයක් සවස තව නාට්‍යයක වැඩ කරනවා. අපිත් එහෙම කරපු කාලයක් තිබ්බා. නමුත් දැන් එහෙම කරන්න අමාරුයි. දැන් මම එක නාට්‍යයක ෂෙඩුල් එක ඉවර කරලා තමයි තව නාට්‍යයකට යන්නේ.
අපේ මානසික මට්ටම හරියට තියා ගත්තොත් තමයි අපිට ඒ නිර්මාණයට කැප වෙන්න පුළුවන්. රඟපාන එක පහසු නැහැ. ක්ෂේත්‍රයට එන යන එකට වඩා රැඳෙන එක අමාරුයි. ඉතින් මම කරන දෙයට කැප වෙනවා.

සුරාජ් මාපා කියන චරිතයට ආදරය කරන පිරිසක් ඉන්නවා. කාලයක් පුරා ජනප්‍රියත්වය රඳවා ගන්න පහසු නැහැ නේද?
මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වෙලා ජනප්‍රියත්වය රඳවා ගෙන ඉන්න එක අමාරුම දේ. තවම මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය තියෙනවා.
ඔවුන් දුවගෙන ඇවිත් කතා කරනවා. ෆොටෝ ගන්නවා. සමාජ මාධ්‍ය හරහා ප්‍රතිචාර ලබාදෙනවා. ඒ අපි කරන දේවල් එක්ක. හැබැයි මම ඕනෑවට වඩා ජනප්‍රියත්වය පසුපස දුවන්නේ නෑ. ලැබෙන ජනප්‍රියත්වය රැකගෙන ඉදිරියට යනවා.

ජනප්‍රියත්වය ඔබේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කරනවද?
මම ඉස්සර ඉඳලාම ජනප්‍රියත්වය කරට ගත්තේ නෑ. ඒක මට ආභරණයක් වුණේ නෑ. අදටත් මම පෞද්ගලික ජීවිතයයි ජනප්‍රියත්වයයි පටලා ගන්නේ නෑ. සමහරු නම් පෞද්ගලික ජීවිතය ඉදිරියට දාගෙන ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. නමුත් මම පෞද්ගලික ජීවිතේ විකුණගෙන ජනප්‍රිය වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි.
වෘත්තිය වෙනයි, පෞද්ගලික ජීවිතය වෙනයි. මට බස් එකේ යන්න හිතුණොත් මම බස් එකේ යනවා. පයින් යන්න හිතුණොත් පයින් යනවා. මම නළුවෙක් නිසා පෞද්ගලික ජීවිතය නැති කරගෙන නැහැ. මම එදිනෙදා ජීවිතේ හමුවෙන අය එක්ක කතා කරනවා. හැමදෙයකම සීමාවක් තියාගෙන මම වැඩ කරන්නේ.

නළු නිළියන් ගැන විවිධ කටකතා පැතිරෙනවා. ජනප්‍රියත්වය එක්ක ලැබෙන තවත් බෝනස් එකක් නේද ඒ වගේ දේවල්?
අපි ගැන වැරැදි කටකතා, වැරැදි දේවල් පැතිරෙන්න පුළුවන්. අපිට ඒවා නවත්වන්න බෑ. අපි ඒවට මුහුණ දෙන්න ඕනෑ. මම මගේ පෞද්ගලික ජීවිතය ඉදිරියට දාගෙන ඉස්සරහට ආපු කෙනෙක් නෙවෙයි. මම හොඳ දේවල්වලට දායක වෙලා ප්‍රේක්ෂකයන්ට හොඳ දේවල් ලබා දෙන්න උත්සාහ කරන්නේ. මම කවුද? මම කොහොම කෙනෙක්ද? කියන එක මගේ යාළුවෝ, ළඟම අය දන්නවා. මම ජීවිතය සතුටින් ගත කරන කෙනෙක්.
එක එක මිනිස්සු අපිට ආශ්‍රය කරන්න වෙනවා. මට හොඳ අය මම හරි ආදරයෙන් ආශ්‍රය කරන්නේ. කටකතා මම විශේෂයෙන් ගණන් ගන්නේ නෑ. කාලයක් යන කොට ඇත්ත දැන ගන්නවා. මම බුදුදහමට අනුව ජීවත් වෙන කෙනෙක්. බුදු දහම අනුව ජීවත් වෙන කොට ප්‍රශ්න අඩුයි. ඉතින් මම ඔය කටකතා නම් ගණන් ගන්නේ නෑ.

ඔබ මෙතෙක් කළ දේවල් ගැන සතුටින්ද ඉන්නේ?
ඔව්. මම නළුවෙක් විදිහට මේ ක්ෂේත්‍රයට එද්දී ගොඩක් දේවල් දැනගෙන නෙවෙයි ආවේ. ක්ෂේත්‍රයට ආවට පස්සේ තමයි බොහෝ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ. නළුවෙක් වුණාම හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් මට්ටමක් හැදුණා. මම නළුවෙක් වීම ගැන සතුටුයි.

සුරාජ් කියන නර්තන ශිල්පියාට මේ දවස්වල තැන දීලා තිබෙන්නේ කොහොමද?
අගෝස්තු මාසයේ මගේ ගුරුතුමියගේ ෂෝ එකක් තියෙනවා.
ඉතින් ඒ වෙනුවෙන් පුහුණුවීම් කරනවා. මගේ ෂෝ එකකුත් මේ වසරේදී කරන්න ඉන්නේ. අපි මිනිස්සු සතුටු කරන්න හොඳ දේවල් කරන්න ඕනේ.

ඔබව සිනමාවේ දකින්න නැත්තේ ඇයි?
ලංකාවේ චිත්‍රපට හැදෙන්නේ ගොඩක් අඩුවෙන්. ගොඩක් වෙලාවට රූපවාහිනිය වටා තමයි මිනිස්සු එක්රැස් වෙන්නේ. මම චිත්‍රපට කරන්නත් ආසයි. නමුත් ප්‍රේක්ෂකයෝ වැඩියෙන් රැඳෙන ක්ෂේත්‍රයක් තුළින් ප්‍රේක්ෂකයෝ අතරට යන එකත් වැදගත්.

සුරාජ් දැන්මම විවාහ වෙන්න අදහසක් නැද්ද?
විවාහ වෙන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. තනිකඩව ඉන්න ඕනෑ කියලා මම හිතලා නැහැ.
විවාහ ජීවිතයකට ඇවිත් ඒ ජීවිතය ලස්සනට ගෙනියන්න මම කැමැතියි. හැබැයි අදටත් මම පාඩුවේ සතුටින් ජීවත් වෙන කෙනෙක්. විනෝදයෙන් ජීවත් වෙන කෙනෙක්.
ඒ නිසා එහෙම සතුටින් විනෝදයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි මම විවාහ වෙන්න කැමැති. විවාහය කියන්නේ ලස්සන දෙයක්. මමත් විවාහ වෙලා ළමයි හදාගෙන ඉන්න කැමැතියි. ඒකට හොඳ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක් හම්බ වෙන්න ඕනේ.
කාටවත් ඕන විදිහට අපි විවාහ වෙන්න ඕනේ නැහැනේ.
මම මගේ ජීවිතය ගත කරන්නේ මට ඕන විදිහට. ජීවිතය කියන්නේ දුකෙන් ගත කරන්න ඕනේ දෙයක් නෙවෙයි.
අපි ගැළපෙන කෙනෙක්ව විවාහ කර ගන්න ඕනේ. කවුරුවත් දික්කසාද වෙන්න බලාගෙන විවාහ වෙන්නේ නෑනේ. මම කැමැතියි හරි කෙනෙක්ව තෝරාගෙන ඒ ආදරය කරන කෙනා එක්කම මැරෙන කල් ලස්සන ජීවිතයක් ගත කරන්න. මගේ රැකියාව එක්ක මට සහයෝගය දෙන කෙනෙක්ට මම කැමැතියි. මම කැමැති නැහැ විවාහය නිසා මගේ සතුට, විනෝදය, තෘප්තිය නැති කරගන්න. ඉතින් හැමදේම හිතලා හරි කෙනා ලැබුණම විවාහ වෙන එක හොඳයි.

උපුටා ගැනීම – තිළිණි කෞශල්‍යා විජේසිංහ – මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!