Gossip

කලාව අයාලේ යන හැටි ගැන දෙවැනි ඉනිමේ ඒකනායක සර් කියපු සැර කතාව මෙන්න – Photos

දෙවැනි ඉනිම හරහා ඔබේ ආලින්දයට එන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් තමයි පාලිත සිල්වා කියන්නේ.
තම චරිතයට ඉහළම සාධාරණයක් ඉටුකරන පාලිත පෙරේරා සතිඅන්ත පුවත්පතක් සමඟ සුහද පිළිසදරක යෙදුනු අයුරුයි මේ.

ඉතිං කොහොමද අලුත් කලා කටයුතු එහෙම?
මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වෙන “දෙවෙනි ඉනිම” සහ තවත් ටෙලි නාට්‍ය දෙකකට මම චරිත නිරූපණයෙන් දායක වෙනවා. ඒ වගේ ම මේ දවස්වල ජීවන්
හඳුන්නෙත්තිගේ “සාරි ගැටේ” කියලා වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල යෙදෙනවා.
ඒ නාට්‍ය බොහෝ දුරට සැප්තැම්බර් මාසෙ වන විට වේදිකාගත වේවි.
ඒ අතර මගේ ම කියලා නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.
තව ඉතින් විවිධ වැඩකටයුතු තියෙනවා. විවිධ පාර්ශ්වයන්ට නාට්‍ය වැඩමුළු කරනවා. විවිධ අවස්ථාවන්වල නාට්‍ය තරග විනිශ්චය වැනි දේවලටත් සහභාගි වෙනවා.
සේරම ඉතිං කලා කටයුතු තමයි. ඒවත් එක්ක ටිකක් කාර්යබහුලයි.

දෙවෙනි ඉනිමේ ඒකනායක සර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒ චරිතය ඇත්තට ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන චරිතයක්. මම හිතුවෙත් නෑ මේක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා.
ක්‍රිකට් කියන්නෙ මට එච්චර නුහුරු දෙයකුත් නෙවෙයි. මම ක්‍රීඩයෙක් හැටියට කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළා.
ක්‍රිකට් කියන්නෙ මම ගොඩක් ආස කරපු දෙයක්. දැන් ඉතිං සෙල්ලම් කරන්න වෙලාවක් නැති වුණාට මම තාමත් හොඳ ක්‍රිකට් රසිකයෙක්. නිතර ක්‍රිකට් මැච් බලනවා.
ඒක මට මානසික සහනයක්. ඉතිං දෙවෙනි ඉනිමේ ක්‍රිකට් කෝර්ච්ගේ චරිතයට මම ගොඩක් කැමතියි. ක්‍රිකට් ෆෑන්ස්ලත් ගොඩක් ඒ නාට්‍ය බලන්න පටන් ගත්තා.

දෙවෙනි ඉනිමේ ක්‍රිකට් කෝර්ච්ගේ චරිතය ඔබට ම ලැබෙන්න හේතුව?
මේ චරිතය මට ලැබෙන්නත් සමහර විට මට ක්‍රිකට් ගැන ඇති දැනුම සහ කැමැත්ත යම්තාක් දුරකට බලපාන්න ඇති.
මොකද සාරංග ඒ දේවල් ගැන දැනගෙන හිටියා. ක්‍රිකට් සෙල්ලම් කරලා නැති කෙනෙකුට ටිකක් අමාරුයි මේක කරන්න.
භාවිත කරන වචන සහ පොඩි පොඩි දේවල් තියෙනවා, ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන කෙනෙකුට විතරයි ඒවා අහුවෙන්නෙ.
මේ වගේ චරිතයක් කරනකොට ක්‍රිකට් ගහලා තියෙන කෙනෙක් වුණොත් වැදගත්.මං කියන්නෙ නෑ ඒක අනිවාර්යයි කියලා.
නමුත් චරිතයට සාධාරණයක් කරන්න නම් අඩුම තරමෙ ක්‍රිකට් කෝර්ච් කෙනෙක්ව දැකලා තියෙන්නවත් ඕනෙ. මට ක්‍රිකට් පුහුණුකරුවන් කිහිප දෙනෙක් ම ඉඳලා තියෙනවා.
මගේ ප්‍රධාන පුහුණුකරු තමයි මෙරිල් පෙරේරා සර්. සර් කතා කරන විදිහ, හැසිරෙන විදිහ, ළමයින් පාලනය කරන විදිහ, මට මේ චරිතය ගොඩනඟා ගන්න ගොඩක් උපකාරි වුණා කියලා හිතනවා.
වතාවක් අපේ පාසලේ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා.
නමුත් වෙලාවක් නැතිකම නිසා මට ඒ අවස්ථාව බාරගන්න බැරිවුණා. පස්සෙ කාලෙකදි මට ඒ චරිතය රඟපාන්න ලැබුණා.
ක්‍රීඩකයෙක් විදිහටත් සර් මං ගැන ලොකු විශ්වාසයක් තියාගෙනයි හිටියෙ.

නාට්‍ය කලාව නිසා ඔබට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් මගහැරුණාද?
15න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරපු මං අවුරුදු 17 දි විතර ඉඳන් තමයි නාට්‍ය කලාවට යොමු වුණේ. නාට්‍ය කරන්න පටන් ගත්තම මට ක්‍රිකට් ෆ්‍රැක්ටිස් එහෙම මගහැරුණා.
දවසක් මගේ ක්‍රිකට් පුහුණුකරු නාට්‍ය පුහුණුවීමක් මැද්දට ම ඇවිත් මට කිව්වා “නාට්‍ය කරන්න එපා ඔයා ක්‍රිකට් ගහන්න” කියලා.
මං එතකොට සම්පූර්ණයෙන් ම ක්‍රිකට් පිළිබඳ මගේ සිහිනය අතෑරලා තිබ්බෙ. සර් මාත් එක්ක අමනාප වෙලයි ගියේ මං ක්‍රිකට් අතෑරලා දිගට ම රඟපාන්න තීරණය කරපු හින්දා.
ඒ වෙනකොට ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ හමුවීමත් එක්ක විද්‍යාත්මකව රංගනයට ප්‍රවේශ වෙන්න මට අවස්ථාව ලැබුණා. ගොඩක් හැදෑරුවා,
අභ්‍යාස කළා. රංගනයේ තියෙන ගැඹුර මට එතකොට අහුවෙලයි තිබුණෙ. ක්‍රීඩාවෙන් ඉවත් වෙලා වේදිකාවේ ම තමයි රැඳුණෙ.
නමුත් සිනමා නළුවෙක් වෙන්න නම් හිතු‍වෙ නෑ. වතාවක් මාව අහම්බෙන් තෝරගත්තා 1987දී ලංකාවට ආව විදේශීය චිත්‍රපටයක පොඩි චරිතයක් නිරූපණය කරන්න.
ඒ චිත්‍රපටියෙදි මට ලෝකප්‍රකට විදේශීය නළුවො තුන්දෙනෙකුත් එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා.
මං එතකොට ගොඩක් පොඩියි. මං රංගනයේ යෙදෙන හැටි දැකලා ඔවුන් මට කිව්වා, එංගලන්තයට ගිහින් රඟපෑම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න කියලා.
මම අනිවාර්යෙන් ම ඩ්‍රාමා ස්කූල් එකකට යා යුතුයි කියන කාරණාව ඒ අය මගේ ඔළුවට දැම්මා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඉංග්‍රීසි භාෂා දැනුම ගොඩනඟාගන්නයි මම බ්‍රිතාන්‍ය කවුන්සිලයට යොමු වුණේ. බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා විදේශීය නාට්‍ය කරුවො රාශියක් මට මුණගැහුණා.
අවසානයේ දී මට නාට්‍ය හදාරන්න එංගලන්තයට යන්න අවශ්‍ය වුණෙත් නෑ. කෙසේ හෝ මම ගියේ නෑ නාට්‍ය පාසලකට. ආචාර්ය සාලමන් ෆොන්සේකා සහ වෙනත් විවිධ රටවල නාට්‍ය කරුවන් සමඟ වැඩ කරන්න ඉඩ ලැබුණා.

වේදිකාව, පුංචි තිරය හා රිදී තිරය තුළ ඔබ ප්‍රධාන චරිත විශාල සංඛ්‍යාවක් නිරූපණය කළ අයෙක්?
ඔව්. ඇත්තෙන් ම මම ලංකාවේ වැඩිපුරම ප්‍රධාන චරිත රඟපෑ නළුවෙක් කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ.
වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ත්‍රිත්වයේ ම නිර්මාණ තුන්සීයයකට අධික ප්‍රමාණයක මම ප්‍රධාන චරිත නිරූපණය කරලා තියෙනවා.
ඒක ඇත්තට ම සෑහෙන්න ලොකු ජයග්‍රහණයක්. කෙනෙකුට සෑහෙන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ඕනෙ ඒ වගේ දෙයක් අත්පත් කරගන්න.

ඔබ නිරූපණය කළ චරිත අතරින් ඔබේ හිතට වඩාත් කාවැදුණු චරිතය?
මම ජර්මන් ජාතික නාට්‍යකරුවෙක් සමඟ කළා “කස්පාර්” කියලා වේදිකා නාට්‍යයක්. ඒක ඇත්තට ම ජාත්‍යන්තර මට්ටමේ නාට්‍ය අධ්‍යක්ෂණයක්. ජර්මනියේ ඉන්න හොඳ ම අධ්‍යක්ෂකවරු දහදෙනාගෙන් කෙනෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කළේ.
ඒ සම්පූර්ණ නාට්‍ය දර්ශනය ජර්මනියේ සංරක්ෂණය කරලා තියෙනවා. ඒක තමයි මට සුවිශේෂ ම චරිතය. මගේ රඟපෑමක් කොහේ හරි සංරක්ෂණය වෙලා තියෙනවානේ.
නළුවෙක් හැටියට මං ඒ ගැන හරි ආඩම්බර වෙනවා.

වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන ඔබේ අදහස?
වර්තමාන ටෙලිනාට්‍ය කලාව නිකන් අයාලේ යන ළමයෙක් වගේ. අපිට හොඳ ටෙලිනාට්‍ය කලාවක් තිබුණා. මම මේ ඉන්දියාවට අපහාස කරනවා නෙවෙයි. ඉන්දියාවේ තියෙන දියුණුතම නිර්මාණ හලලා, අපි ඉන්දියාවේ තියෙන කසිකබල් ම නිර්මාණ ගෙනැල්ලා මෙහේ දාගෙන වැඩකට නැති දේවල් ප්‍රේක්ෂකයාට ළං කරමින් සමාජය මොට කරන තත්ත්වයකට පත්වෙලා.
අපි අපේ තියෙන ලස්සන ටෙලිනාට්‍ය කලාව සම්පූර්ණයෙන් ම විනාස කරගෙන මේ කොහෙවත් යන වැඩකට නැති සිස්ටම් එකකුයි ඒකට අනුගත වුණු මෙගා නාට්‍ය රැල්ලකුයි අල්ලගෙන දඟලනවා.
ඒක හරි අපරාධයක්. මට කියන්න තියෙන්නෙ අපේ මේ ටෙලිනාට්‍ය කලාව නැවත පණගන්වන්න පුළුවන්. විශේෂයෙන් ම ටෙලිනාට්‍ය, රාජ්‍ය මට්ටමෙන් ආරක්ෂා කළ යුතු කලාවක් විදිහට රජය විසින් හඳුනාගත යුතුයි. මේ කලාව කියන්නේ ඇත්තට ම වෙළෙඳ අධිකාරින් විසින් තීරණය කරන දෙයක් නෙවෙයි.
වෙළෙන්දන්ට ඇඩ් දාන්න පුළුවන් මේක ඇතුළට ඇවිල්ලා. ඒ වුණත් වෙළෙන්දන්ට සම්පූර්ණයෙන් මේක පාලනය කරන්න දීම කනගාටුදායක තත්ත්වයක්. කලාව ගැන දැනුමක් නැති අය හැමතිස්සෙම කලාව පාලනය කරන්න ගියාම එතන ලොකු අර්බුදයක් ඇතිවෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!