Gossip

“කලකිරීමකට වඩා දැනෙන්නේ බයක් – අනාගතයේ මොනවා වෙයිද කියන බිය තියෙනවා – මොරින් චාරුණි

වර්ෂ 1988දී ගම්පෙරළිය ටෙලි නාට්‍යට නන්දා වුණු ඇය වර්ෂ ගණනාවක් පුරා පුංචි තිරයට වගේම සිනමා තිරයට නැතිවම බැරි රංගන ශිල්පිණියක්. ඇය මොරින් චාරුණි. නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ආදරේ ලබන ඇය ගැනයි මේ.

මොනවද අලුත් තොරතුරු?
ගිරිරාජ් කෞශල්‍යගේ අලුත් චිත්‍රපටයේ වැඩ කරන්න ලෑස්ති වෙනවා.ඒ වගේම වේදිකාව එක්කත් කාර්යබහුල වෙලා තියෙන්නේ.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
බොහොම ඛේදනීය වාතාවරණයක් තමයි තියෙන්නේ. අපි මෙහෙම වැඩ කළාට ඉන්දියන් නාට්‍ය නිසා අවස්ථාව අඩුවෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ භාගයක් ගිලිලා, ඉතුරු ටිකත් ගිලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.

එදා සහ අද ක්ෂේත්‍රය අතර වෙනස මොන විදිහටද ඔබ දකින්නේ?
අපි ක්ෂේත්‍රයට එද්දි තිබුණේ සම්පතක් විදිහට. අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. එදා තිබුණු නටබුන් තමයි අද තියෙන්නේ. මේ දේට කවුරුන් හෝ වගකිව යුතුයි. මේ ක්ෂේත්‍රයෙන් යැපෙන බොහෝ පිරිසක් ඉන්න නිසා මෙය ගොඩගන්න අවශ්‍යයි

ක්ෂේත්‍රය ගැන කලකිරීමක්ද ඔබට තියෙන්නේ?
නැහැ, ක්ෂේත්‍රය ගැන කලකිරිලා නම් නැහැ. ක්ෂේත්‍රයට වෙලා තියෙන දේ ගැන කලකිරීමක් වගේම බියක් තියෙනවා. කලකිරීමකට වඩා දැනෙන්නේ බිය. අනාගතයේ මොනවා වෙයිද කියන බිය තියෙනවා.

නැවත නිර්මාණකරණයේ නියැළෙන්න අදහසක් නැද්ද?
1993 විතර ‘හංස විලාපය’ චිත්‍රපටය කළා. ඒ කා‍ලේ ලොකු අත්දැකීමක්, දැනුමක් නොතිබුණු නිසා ඒ චිත්‍රපටය අසාර්ථක වුණා. ක්ෂේත්‍රයේ තියෙන මේ වාතාවරණයත් එක්ක කොහොමටත් නිර්මාණ කරන්න අදහසක් නැහැ.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්?
එහෙනම් මම ගුරු වෘත්තිය තෝරා ගනීවි. මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මට ගුරු වෘත්තියේ නියැළෙන්න අවස්ථාව ලැබුණා. නමුත් මගේ ඒ කා‍ලේ ඉඳලම කැමැත්ත තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න, නැත්නම් නීතිඥවරියක් වෙන්න. ගුරු වෘත්තියට අවස්ථාව ලැබුණ නිසා එය භාරගත්තා. කලාවට සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා ගුරු වෘත්තියෙන් ඈත්වෙන්න වුණා.

ඒ ගැන පසුතැවීමක් නැද්ද?
අද හිතෙනවා ඒ රැකියාව අතහැරියේ අපරාදේ කියලා. රංගනයයි, ගුරු වෘත්තියයි දෙකම කළා නම් මගේ රැකියාව රැකගන්න තිබුණා. ඒ දේ ලොකුවට දැනෙන්නේ කලාවට වර්තමානයේ වෙච්ච දේවලුත් එක්කයි. මොකද අද කලකාරයෙක්ට විශ්‍රාම වැටුපක් නැහැ, දෙකම කරගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ ඒකයි.

ඔබ මුලින්ම රංගනයට ආපු හැටි මතක් කළොත්?
සිරිල් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කරපු ‘කරදිය වළල්ල’ චිත්‍රපටයෙන්. මට ඒ චිත්‍රපටයේ ප්‍රවීණ ශිල්පීන් ගොඩක් දෙනෙක් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එදා ඔවුන්ගෙන් ලබාගත්ත දැනුම ගොඩක් වටිනවා මට.

දැන් ක්ෂේත්‍රයට යොමුවෙලා වසර කීයක් වෙනවද?
මේ වෙනකොට වසර තිස් පහක් වෙනවා. හැමෝටම මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණාට රැඳෙන්න හරි අමාරුයි. මම මේ තරමක් දුරට ක්ෂේත්‍රයේ ආපු එක ගැන සතටුයි. සුන්දර අත්දැකීම් ලබන්න පුළුවන්, වැඩිම පිරිසක් කැමති රැකියාවක් තමයි රංගනය කියන්නේ. රංගනය නිසා කීර්තිය, ධනය, ජනප්‍රියත්වය මේ හැමදේම ලැබුණා. හැමෝටම මේ රැකියාවේ නියැළෙන්න බැහැ.

එදා වගේම තවමත් ඔබ සුන්දරයි. ඔබේ සුන්දරත්වයේ රහස මොකක්ද?
මම නිතරම කැමති පිරිසිදුව නිරෝගීව ඉන්න. ශරීරයට අවශ්‍ය සමබර ආහාරවේලක් ගන්නවා. ඒ වගේම නිතරම වතුර බොනවා. ව්‍යායාම කරනවා. ඒ ඇරෙන්න විශේෂ දේවල් කරන්නේ නැහැ.

ඔබේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ කුමක් මතද?
වෘත්තිය සාර්ථක වීම වගේම ආධ්‍යාත්මික පැත්තෙන් සාර්ථක වීම වගේම පවුල් ජීවිතයේ සාර්ථක වීම මත තමයි මගේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ. වෘත්තිය වගේම අනිත් සියලුම දේවලුත් සමබර වුණොත් ජීවිතය තුළ සතුට තියෙනවා.

වෘත්තීය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
මම මැද මාවතේ සරලව ජීවත්වෙන කෙනෙක්. මම ක්ෂේත්‍රයේ ඉන්නෙත් බොහොම මැද මාවතක. තරුණ කාලයේ ඉඳන්ම මැද මාවතක සිටිය කෙනෙක් නිසා මගේ ජීවිතයේ සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතෙනවා.

රංගනයෙන් දායකවුණු නිර්මාණ අතරින් ඔබේ සිත්ගත් නිර්මාණ මොනවාද?
මම වැඩ කරපු හැම නිර්මාණයකටම කැමතියි. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම මම දායක වුණු නිර්මාණවලට මම කැමතියි. ඒ අතරින් ගම් පෙරළියේ නන්දා, සඳගලතැන්නේ පුංචි මැණිකා, සඳගිරිපව්වේ හීන් එතනා, සුදු පරෙවියෝහි ඉරේෂා, අවිදු අඳුරේ නෝනා මහත්තයා, සාරාගි නන්දිතාට වගේම අංජලිකා වගේ චිත්‍රපටයටද මම කැමතියි.

රංගනයෙන් දායක වෙන්න නොලැබුණු කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
මම කැමතියි අන්ධ චරිතයක් නිරූපණය කරන්න. දැන් මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඉදිරියේදී රූගතකිරීම් සිදුවේවි.

ගෙදරදි කාලය ගත කරන්නේ කොහොමද?
මම මල් වවන්න හරි කැමතියි. වත්ත පිටිය සුද්ද කරලා ලස්සනට තියාගන්න මම කැමතියි. ගෙවල් සුද්ද කරලා පිරිසිදුව තියාගන්න කැමතියි. මට වෙන්නප්පුවේ තියෙනවා තාත්තගෙන් ලැබුණු ඉඩමක්. එහේ ගියාම මට ඕන විදිහට වවන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය එළවළු හැමදේම අතුරුගිරියේ වගා කරලා තියෙනවා. එළවළු කැඩුවාම හැමෝමත් එක්ක බෙදා ගන්නවා. අපේ පවු‍ලේ හැමෝම වවලා බෙදාගන්නවා. ඒකෙන් ලොකු තෘප්තියක් ලැබෙනවා. ඒ වගේම අලුත් කෑම වර්ග වගේම අතුරුපස හදනවා. යාළුවෙක් බලන්න යද්දි කෑම හදාගෙන යන්නයි මම කැමති.

විවේකයක් ලැබුණාම කොහෙද යන්න කැමති?
මම පන්සලට තමයි යන්නේ. විවේකයක් නොලැබුණත් වෙලාව හොයාගෙන පන්සලට යනවා. මම බෝධි පූජා තියනවා, බෝධිය ගාව වාඩිවෙලා බෝ කොළවල සද්දෙ අහගෙන ඉන්න මම ගොඩක් කැමතියි. ස්වභාව ධර්මය රස විඳින්නත් මම හරි කැමතියි.

දියණිය රංගනයට එකතු වෙන්න කැමැත්තක් නැද්ද?
එයාට මම නිදහස දීලා තියෙන්නේ. මම කරන දේම දුව කරන්න ඕන කියලා නීතියක් නැහැ. පාස‍ලේ නම් එයා රංගනයෙන් දායක වෙනවා. මේ දවස්වල එයා උසස් පෙළ අධ්‍යාපනයේ නිරතවෙලා ඉන්නවා. එයා කැමති නම් අධ්‍යාපනයෙන් පස්සේ රංගනයට එකතු වේවි. මොකද එයාගේ ජීවිතය එයාගේ. එයා තීරණය කරාවි එයා මොනවද කරන්න ඕනේ කියලා. අපේ යුතුකම එයාව නිවැරදිව සමාජගත කිරීම විතරයි.<

ඔබ සුන්දර යුවතියක් ලෙස ඒ කා‍ලේ තරුණයන්ගෙන් වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද?
මම සුන්දර යුවතියක් වුණාට ටිකක් දඩබ්බර කෙනෙක්. පිරිමි ගැන ලොකු ආකර්ෂණයක් ඒ කා‍ලේ මගේ තිබුණේ නැහැ. පිරිමි ළමයි කතා කරලා හිනා වුණා. නමුත් මට ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ ආදරය මට ගෙදරින් ලැබුණා. ඒ නිසා මගේ ජීවිතයේ හිස්තැනක් තිබුණේ නැහැ. කවදාවත් ප්‍රේම සම්බන්ධතාවක් තිබිලා නැහැ. පවු‍ලේ ගොඩක් අයට ප්‍රේම සම්බන්ධතා තිබිලා නැහැ

ඔබ විවාහ වෙන්නේ විවාහ යෝජනාවකින්ද?
ඔව්, අපි යෝජනා කරලා බැන්දත් ආදරය කරලා බැන්දත් විවාහ වෙන්නේ නොදන්නා පුද්ගලයෙක්ව. මම කියන්නේ ඒ දෙකේ වෙනසක් නැහැ කියලා. ආසියාතික කාන්තාව හරිම පරිත්‍යාගශීලියි. ඔවුන් නිතරම බලන්නේ පවුල් යාත්‍රාව පරිත්‍යාගශීලීව පදවාගෙන යන්න.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
ඇත්තටම දුකක් තියෙනවා, කොච්චර ජනප්‍රිය වුණත් දුක සැප දෙකම ලැබෙනවා. හිත් රිදවීම්, දුක හිතුණ අවස්ථා බොහොමයක් තියෙනවා. දරාගන්න බැරි තරම් අවස්ථා තිබුණා. මේ හැමදේම එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉපදීම කියන්නේ දුකක් කියන එක මට දැන් දැනිලා තියෙනවා.

කොහොමද සැමියාගෙන් රංගනයට ලැබෙන සහයෝගය?
ඇත්තටම එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ මේ ගමනේදි. හිතවතුන්, නෑ මිතුරෝ හැමෝගෙන්ම ලැබුණු සහයෝගය නිසයි මම මේ තරම් දුරක් ආවේ. වචනයකින් හරි උදව් කරපු හැම කෙනෙක්වම මම මේ වෙලාවේ මතක් කරනවා.

උපුටා ගැනීමකි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!