Gossip

කඩමණ්ඩියේ මහ වැස්සේ හොඳට තෙමී, යුවළක් තවම පොඩි වාහන සිහින දකී – සිහින බොඳ වෙයි – වාහන මිල ඉහළ යන හැටි මෙන්න

වාහන මිල නැවත වරක් ඉහළ යෑම වැළැක්විය නොහැකි බව එම කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන්ගේ මතය වී තිබෙනවා..
ඒ අනුව රුපියල් ලක්ෂ 3-8ක් අතර මුදලකින් එහි මිල ඉහළ යන බව දැන් නොරහසකි.
මෙවර වාහනවල මිල ඉහළ යන්නේ රජයේ තීරුබදු වෙනස් වූ පරිසරයන් තුළ නොවේ.
ඊට හේතු වී ඇත්තේ රුපියලේ අගය අඩු වීම හා ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යෑමය. තවත් විදියකින් කියනවා නම් ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩි වීමය.
යහපාලන රජය බලයට ආවේ ජනතාවට අසීමිත පොරොන්දු රාශියක් ලිඛිතව ලබාදීමෙනි.
එම පොරොන්දු අතර අඩු මිලට වාහනයක් ලබා දෙන පොරොන්දුව කැපීපෙනිණි.
එහෙත් දැන් ඒ පොරොන්දුවේ වචන එකින් එක වැස්සටම දිය වී ගොසිනි. මහ වැස්සේ කඩමණ්ඩිය අසල නැවතී සිටින තරුණ යුවළ තවමත් එතැනමය.
කෙසේ හෝ විටින් විට වැඩිවන වාහනවල මිල ස්ථාවර කර ගැනීමට රජයට නොහැකි වී ඇත්තේ මන්ද?
වාහනයක් මිලදී ගැනීමට සිහින මවන අලුත් පරපුරට ඒ සිහිනය සඵල කර ගැනීමට හැකි පරිසරයක් ගොඩනැඟීමට රජය අපොහොසත් වී ඇත්තේ කුමක් නිසාද?
පසුගිය කාලේ වාහනවල මිල වැඩිවුණේ තීරු බදුවල ඇති වූ වෙනස නිසායි.
ඒ නිසා කුඩා වාහනයේ සිට හැම වාහනයක්ම සැලකිය යුතු මිලකින් වැඩි වුණා. ඒ වගේම වාහන තදබදයට පිළියමක් විදියට මෙසේ කළ බවත් සඳහන් වුණා.
නමුත් මෙවර මිල වැඩි වුණේ එවැනි තත්ත්වයක් තුළ නොවේ. විශේෂයෙන්ම ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යෑමට සාපේක්ෂවයි.
මෙසේ කීවේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතාය.
ඔහු පවසන ආකාරයට මේ මිල වැඩිවීම යෝජනා කළ මහ බැංකුව ඒ තුළ ඇති ගැටලු හඳුනාගෙන නැත. එමෙන්ම රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්ද දකින්නට නැත.
‘ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යෑමත් එක්ක මහ බැංකුව මෙරටින් පිටට යන මුදල්වල ප්‍රමාණය හා ඒ මුදල් ගෙවන ක්‍ෂේත්‍ර සොයා බලා තිබෙන බව පැහැදිලිය.
මෙරටට ගෙනෙන භාණ්ඩ අතරින් වැඩිපුරම ගෙන්වන්නේ තෙල් සහ වාහන.
මේ දෙකට තමයි වැඩිපුරම රුපියල් ප්‍රමාණයක් ගෙවන්නේ. එතකොට ඒ මුදල්වලිනුත් තෙල් වෙනුවෙන් ගෙවන මුදල් අඩු කරන්න බැහැ.
නමුත් වාහන සඳහා ගෙවන මුදල අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය පසුබිම තුළ තමයි මහ බැංකුව මෙවර ණයවර ලිපිවලට වාහන ගෙන්වීමේදී 100% මුදල් තැන්පත් කළ යුතු බවට කොන්දේසි පවා පනවා තිබෙන්නේ. ඒ වැඩිපුර ලංකාවෙන් මුදල් පිටරටවලට යන එක සීමා කරන්න.
ඉතිං මේ තත්ත්වය තුළ වාහන ගෙන්වීමත් සීමා වෙනවා. ඒ නිසා වාහන මිල ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනත් වැඩිවෙන ලකුණු පහළ වෙනවා. පසුගිය කාල සීමාව තුළ මෙරට ජනතාව වැඩිපුරම මිලදී ගත් වාහනය ලෙස සැලකෙන්නේ සුසුකි වැගන් ආර් වාහනයයි. මේ මිල වැඩිවීමත් සමඟම එම වාහනය ලක්ෂ 3කින් පමණ ඉහළ යන බව පැවැසේ.
එමෙන්ම ටොයොටා ඇක්සියෝ වාහනය දෙවැන්නයි. මේ වාහනයේ මිලද ලක්ෂ 8කින් පමණ ඉහළ ගොසිනි.
කොහොම වුණත් දැන් වාහන ආනයනකරුවන්ගේ සංගම් හැටියට අපි තීරණය කොට තිබෙනවා මිල වැඩි වුණත් පරණ මිලටම වේ වාහන අලෙවි කරන්න. ඉතිං එහෙම අලෙවි කරන අතරේ අපි අලුතින් වාහන ගෙන්වන එක සීමා කරනවා. මොකද මේ මිල වැඩිවීම හා මහ බැංකු නව රෙගුලාසි යටතේ මේ ව්‍යාපාරය කරගෙන යන එක අපහසුයි.
ඒ ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතාගේ අදහසය.
ඉදිරියේ මෙරටට වාහන ගෙන්වීම සීමා කිරීම තුළ වාහන ගැනුම්කරුවන් මුහුණ දෙන ගැටලුව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුය. ඒ මුදල් තිබෙන අයට පවා පහසුවෙන් වාහනයක හිමිකරුවකු වීමේ බාධාවය.
මේ පිළිබඳව අප තොරතුරු විමසුවේ ශ්‍රී ලංකා මෝටර් රථ ආනයන සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතාගෙනි.
ඩොලරයේ මිල ඉහළ ගිය නිසා අපි වැඩි වශයෙන් රුපියල් ගෙවනවා. ඒ නිසාම මෙරටින් මුදල් විශාල ප්‍රමාණයක් පිටරටවලට ගලා යනවා. ඒ තත්ත්වය ලංකාවේ ආර්ථික තත්ත්වයට හොඳ නැහැ. ඒක ඇත්ත. රටක් විදියට හිතනවා නම් අපි ඒ කාරණය සැලකිල්ලට ගතයුතුයි.
නමුත් වාහන වෙළෙදාම තුළ ඉන්න උදවිය ලොකු අපහසුතාවකට මුහුණ දෙන ගැටලු මෙහි තිබෙනවා. ඒ තමයි ණයවර ලිපි සඳහා පනවා තිබෙන නව රෙගුලාසි.
ඒ අනුව වාහනයක් ගෙන්වීමේදී සියයට සියයක් තැන්පත් කිරීම තුළ ප්‍රශ්නයක් තිබෙනවා. උදාහරණයක් ලෙස අපි බලමු සියයට සියයක් ගෙවන කෙනා කලින් සියයට දහයක් ගෙවා වාහන 10ක් ගෙන්වූවා කියලා. දැන් ඔහුට ගෙන්වන්න පුළුවන් එක වාහනයයි. එවිට වෙළෙඳපොළට වාහන එන එක සීමා වෙනවා.
මේ වෙද්දී ලංකාවේ වාහන විකුණන ආයතනවල ඕනෑ තරම් වාහන විකුණන්න තිබෙනවා. ඒවා කාලෙකට ඇති. ඒ නිසා ඒ පිළිබඳව දැන්ම අපි කලබල විය යුතු නැහැ.
නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි කරන්න බලධාරීන් මීටත් වඩා වෙනත් උපක්‍රම රජයක් හැටියට සිතන්න වෙනවා.
රන්ජන් පීරිස් මහතා පවසන ආකාරයට වාහන ආනයනකරුවන් ඒකමතිකව පරණ මිලටම වාහන අලෙවි කිරීමට තීරණයක් ගෙන තිබෙන නිසා මේ අපහසුව ටික කාලයක් ගතවන තුරු ජනතාවට නොදැනේ. නමුත් සුළු වශයෙන් බලපෑමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.
පසුගිය කාලය තුළ ලංකාවේ වැඩි වශයෙන් අලෙවි වුණේ අපේ රටට ආසන්න රටවලින් වෙළඳපොළට ආ කුඩා වාහන. මේවායේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු තිබුණා. විශේෂයෙන්ම එයාර් බැලුන් දෙකක් නොමැති වීම, ඒ.බී.එස්. බ්රේක් පද්ධති වගේ තවත් ආරක්ෂික පද්ධතිවල අඩුවක් ඒ වාහනවල තිබුණා.
පසුගිය ජූලි මාසේ තීරුබදු වැඩි කිරීමත් එක්ක ඒ වාහන ගෙන්වීමේ අඩුවක් තිබුණා. ඒ නිසා තමයි ජනතාව සුසුකි වැගන් ආර් වගේ ජපන් වාහනවලට ගියේ. සුසුකි ඇල්ටෝ, වගේම ඇක්සියෝ ප්‍රිමියෝ වගේ වාහනවලට වගේම කුඩා බඩී වෑන්වලට. ඒ වගේම ඕස්ට්‍රේලියාවෙන් හා එංගලන්තයෙන් ගෙන්වන සුපිරි වාහනවලටත් ලොකු ඉල්ලුමක් තිබුණා.
දැන් මේ වාහනවලට වැඩිපුර මිලක් ගෙවන්න වෙන එක නම් සැබෑවක්.
ඩොලරයේ මිල ඉහළ යෑම නිසා අපේ රට පමණක් නෙවෙයි වෙනත් රටවල මුදල්වලට පවා යම් බලපෑමක් ඇති වී තිබෙනවා.
මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන බලන විට පෙනී යන්නේ යහපාලන රජයේ පහසු මිලකට වාහනයක් මිලදී ගැනීමට ලබා දෙනවා යැයි කියූ පොරොන්දුව තවදුරටත් සිහිනයක් වන බවය.
රජය දේශීය මුදලේ අගය පාලනය කර ගැනීමට මෙවන් බොළඳ උත්සාහයන්වල නියැළීම නොකළ යුතුය. ගෙවීම් ශේෂය අඩු කර ගැනීමට යම් පාලනයක් කළ යුතුය. එතෙක් එය පාලනය කර ගැනීමට හැකි මූලිකම න්‍යාය ආණ්ඩුවට අමතක වී ඇත.
මේ වන විට අපේ ආණ්ඩු බොහොමයක් කළේ අල්පෙනෙත්තක් පවා පිටරටින් ආනයනය කිරීමටය. සියලු භාණ්ඩ පිටරටින් ගෙන්වා පිටරැටියන්ට මෙරට මුදල් තොග පිටින් යැවීම තුළ රුපියලේ අගය ස්ථාවර කර ගැනීම අපහසුය. එසේ නම් ආනයනය තරමටම අපනයනය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුය.
වාහන ආනයනය කිරීමේදී අති විශාල මුදලක් පිටට ගලා යනවා නම් මෙරට වාහන නිපදවීම ඇරැඹිය යුතු වැඩපිළිවෙළක් සකස් කළ යුතු යුගය ඇරැඹී ඇත. එහෙත් අවාසනාවකට කුලියාපිටියේ ඇරැඹීමට තිබූ වොක්ස්වැගන් කර්මාන්තශාලාවත් ලත් තැනම ලොප් වූවේය.
දැන් ඒ කර්මාන්තශාලාව ගැන කතා නැත.
කොහොම වුණත් සම්පත් ඉන්දික මෙරින්චිගේ මහතා සහ රන්ජන් පීරිස් මහතා පවසන්නේ රුපියලේ අගය අඩු වුණත්, ඩොලරයේ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියත් දැනට වෙළෙඳපොළේ ඇති වාහන පරණ මිලටම ලබාදෙන බවය. ඒ නිසා වාහනයක හිමිකරුවකු වීමේ සිහිනය සැබෑ කර ගත හැකි වාතාවරණයක් තවමත් ගැනුම්කරුවන්ට තිබෙන බවය.
එහෙත් ඒ වාහන තොගය අලෙවි වූ සැණින් ඊළඟට ගෙන්වන වාහනවල මිල වැඩිවීම වැළැක්විය නොහැකි බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!