Gossip

කටින් බතල හිටවනවා වෙනුවට පුරන් කුඹුරු තුරන් කරන තරුණ ජවය – Photos

කටින් බතල කොළ හිටවනවා වගේ කියන ප්‍රස්තාව පිරුළ ලංකාවටම ආවේණිකව බිහි වූවක් බව හිතන්න වැඩි සාක්කි ඕන නෑ. එහෙව් මිනිස්සු ඉන්න රටක් මේක. එහෙව් මිනිස්සු ඉන්න රටේ මෙහෙව් මිනිස්සුත් ඉන්නවාය කියන්නයි මේ කතාව ලියන්නෙ. බැත කොහොමද බත වෙන්නෙ? කිසිම කොන්දේසියක් නැතුව රට වටා වී වපුරන තරුණ ජවයක්!

මේ මොහොත වෙද්දි මේ පිරිස යම් තරමක් ප්‍රසිද්ධයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඇසුරු කරන්නන් යම් තරමින් මේ ක්‍රියාවලිය දැනගෙන ඉන්න පුළුවන්.

මොකද්ද මේ වැඩේ?

රට වටා ඇති පුරන් කුඹුරු අස්වැද්දීම

කවුද කරන්නෙ?

ලංකාවෙ කොල්ලො කට්ටියක්

කොහෙ අයද?

රත්නපුරේ, කලවාන ප්‍රදේශයේ කොල්ලො තුන් දෙනෙක් පටන්ගන්නෙ.

මේ කතාවෙ සරලම විස්තරය ඒකයි. මේ ක්‍රියාව සඳහා මූලිකත්වය ගත්ත තුන් දෙනාගෙන් කෙනෙක් තමයි ඔවුන්ගේ කතාව අපට මෙහෙම කියාගෙන යන්නෙ. ඔහු නමින් යුරේෂ් එරංග.

ස්වෙච්ඡා සංවිධානයක් හැටියට “ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු” කියන තේමාව යටතේ ඔවුන් මේ වැඩසටහන ආරම්භ කරන්නෙ මාස කිහිපයකට කලින් බව කියලමයි එරංග කතාවට බැස්සෙ.

“රත්නපුරේ දැදිගම ඇළක් කපලා නාලක අයියලා තමයි මේ වැඩේ පටන් ගත්තෙ.”

නාලක සේනාධීර. ඔහු තමයි මේ වැඩේ මුල් පුරුක. මේ සඳහා පිඹුරුපත් සකස් කරන්නේත් පුරෝගාමී තරුණයා වන්නේත් නාලකයි. ඔහුගේ මේ ක්‍රියාව මේ වෙද්දි සාර්ථක මානයක් ඔස්සේ ගමන් කරමින් තිබෙනවා.

“අපි මුලින්ම තුන් දෙනකුගෙන් තමයි වැඩේ පටන් ගත්තෙ. දැන් වෙද්දි ටීම් 13ක් ලංකාව වටේ අපි එක්ක වැඩ කරනවා.”

එරංග ඒ විස්තරේ කියන්නෙ හරිම ගැම්මකින් සහ ආඩම්බරයකින්. ඔව්. ඔවුන් එසේ ආඩම්බර වීමේ කිසි වරදක් නැහැ. මේ ක්‍රියාව ඉන්ද්‍රජාලයක් නෙවේ. අපි මේ අහන්නෙ මායා බෝංචි වැල වගේ සුරංගනා කතාවකුත් නෙවේ. පියවි ලෝකෙ පොළව එක්ක ඔට්ටු වෙන රියල් මිනිස්සු ටිකක් ගැනයි. මෙහි විශේෂත්වය තමයි දැනට එක්කහු වෙලා ලංකාව වටේ වැඩ කරන පිරිස එකිනෙකාව මුණ ගැහිලා නැති වීම. ඔවුන් සියල්ල කරන්නෙ විශ්වාසය හා තුරුණු ජවයේ උත්තේජනය මත ඉඳගෙන. පසුගිය නොවැම්බර් 02 වැනි දින දැදිගම විහාරස්ථානයේ මේ සියලුදෙනාගෙ පළමු හමුවීම තිබූ බව එරංග කිව්වෙ සතුටකින්.

මේ වගේ වැඩක් පටන් ගන්න හිතුණෙ ඇයි?

මෙතැනදි ඔවුන්ට කිසි පෞද්ගලික ප්‍රතිලාභයක් නැහැ. ඔවුන් මේක කරන්නෙ සමස්ත අනෙකා වෙනුවෙන්. එහෙම දෙයක් කරන්න මේ තරම් වෙහෙසකර ක්‍රියාවලියක් තෝරා ගැනීමම පුදුම කරවන්නක්. මගේ ඒ ප්‍රශ්නෙ පැනනඟින්නෙ ඒ හේතුව පදනම් කරගෙනයි. ඒකට එරංග උත්තර දුන්නෙ අවංකවම අමුවෙන්.

“ලංකාවෙ තියෙනවනෙ ආහාර ප්‍රශ්නයක්. එක පැත්තකින් වකුගඩු ප්‍රශ්න. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තමා වගා කරන්නෙ. මේක නිසා පාරම්පරික දේවල් නැති වෙලා යනවා. දැනට කාලෙකට කලින් මෙහෙ වගා කරපු පාරම්පරික වී වර්ග නැවත වගා කරන්න තමයි අපි හදන්නෙ. ඒවා මිනිස්සුන්ගේ රෝගවලටත් ඒ වගේම වගාවන්ගේ රෝගවලටත් ඔරොත්තු දෙනවා.”

ඔහුගේ ඒ ප්‍රකාශය ඉතාම වැදගත්. ඔහු කියන හරි විශේෂ දෙයක් “මිනිස්සුන්ගෙ වගේම වගාවේ රෝග.” ඒ ක්‍රියාව ඉතාම සද්භාවී දෙයක් වන්නෙ මෙවැනි හේතු නිසයි. තමන්ගෙ බඩ ගැන විතරක් නෙවේ ඔවුන් සොබාදහමේ හදවත ගැනත් හිතනවා. ඔවුන් මේ වගාව ආරම්භ කරන්නේ එක්වරක් රටටම කන්න දී ශේප් වීමේ න්‍යාය පදනම් කරගෙන නෙවේ. දීර්ඝකාලීනව මේ වැඩේ කරගෙන යෑමේ අරමුණින්. ඒ සඳහා පොළව නොමරා තබා ගත යුතු බවත් ඔවුන් හොඳාකාරවම දන්නවා.

සුවදැල්, මා වී, මඩතවාළු වැනි ඔවුන් සංරක්ෂණ කර ගත් වී වර්ග 200ක් පමණ ඔවුන් සතු බවත් එරංග කියනවා. ඒ වගේම මහරගම ප්‍රදේශයේ පදිංචි වී සංරක්ෂණය කර ගත් මහත්මයෙක්ද ඔවුන්ට වී වර්ග සපයන බවත් අනුරාධපුරයෙන්ද වී සොයා ගත් බවත් මූලික අදියර විස්තර කරමින් එරංග අපව දැනුවත් කළා. මේ වී වගාවට අමතරව කාබනික එළවළු වගාවත් කරගෙන යන බව ඔහු කියනවා.

පුරන් වෙච්ච කුඹුරු ගැන වගේම මේ වැඩේ ආරම්භයට හේතු ගැන විස්තර කරමින් එරංග මීළඟට පැහැදිලි කරන්නෙ මේ රටේ අභ්‍යන්තර දේශපාලනික කාරණාවක්.

“මෙතැනදි අපිට රජයෙන් කිසිම අනුග්‍රහයක් දක්වන්නෙ නැහැ. ඒගොල්ලො කොහොමත් වගා කරන්නෙ රසායනික දේවල් එක්කනෙ. මේ කුඹුරු පුරන් වෙලා තියෙන්නෙ පොඩි පොඩි ප්‍රශ්න නිසා. ඇළපාරවල් හරස් වෙලා. එක්කො වගාවලට ලෙඩ හැදිලා. අනික ගොවියො කියන්නෙ ගොඩාක් සල්ලි තියෙන මිනිස්සු නෙවෙයිනෙ. අපි කළේ ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට විසඳුම් දීපු එක.”

හතර අතේ මුහුදක් තියාගෙන, පොළව යට දිය උල්පත් හංගගෙන බත් පතට හෙනහුරා වැටුනා කිය කිය කටබලියගෙන ඉන්න රටක් මේක. එහෙම රටක ඉඳගෙන මේ පිරිස මෙහෙම උත්තරයක් ගොවියන්ට දෙනවා.

“මුල්ම වැඩේ කරපු දැදිගම කිලෝමීටර 3ක ඇළක් හදන්න තිබුණා. ඒ ඇළ හැදුවෙ නැති එකෙන් අක්කර හතරක් පුරන් වුණා. ඒ ඇළ කපලා තමයි අපි වැඩේ පටන් ගත්තෙ. පුරන් වෙච්ච කුඹුරක් අස්වද්දන එක සාමාන්‍ය කුඹුරක් කරනවට වඩා වියදම් යන වැඩක්. ඒකට 40,000ක් වගේ යනවා. එච්චර ගාණක් යට කරන්න ගොවියකුට බෑ. එයලට දෙන සහනාධාරවලින් තමයි වගාව කරගෙන යන්නෙ. අපි ඇළ කැපුවා විතරයි අහළ පහළ කුඹුරුවල පවා වැඩ පටන් ගත්තා.”

මේ ගැන ඔවුන්ට උපදෙස් දෙන්න කවුරුන් හෝ සිටිනවද? ඊළඟ ගැටලුව ඉදිරිපත් කළා.

“තිලක් කන්දෙගම සර් තමයි මේ සම්බන්ධයෙන් අපව දැනුවත් කරන්නෙ. බෝග පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන දැනට ලංකාවෙ ඉන්න හොඳම පුද්ගලයෙක් ඔහු. ඒ වගේම ගම්වල ඉන්න සීයලාගෙන් වුණත් උපදෙස් ලැබෙනවා. ෆේස්බුක් ඔස්සේ අපි එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයන් හරහාත් උපදෙස් අපට ලැබෙනවා.”

වගකිවයුත්තන්ගේ වගකීම් ඕගොල්ලො ඉෂ්ට සිද්ධ කරනකොට ඔවුන්ගෙන් බලපෑම් ආවෙ නැද්ද?

“තාම නම් එහෙම නෑ. කාටවත් මුකුත් කියන්න බැහැනෙ. දැනට ඒගොල්ලො කියන්නෙ මැතිවරණෙ ඉවර වුණාම උදව් කරන්නම් කියන එක තමයි. ඒවා ඉතිං කවදාවත් වෙන දේවල් නෙවෙයිනෙ.”

රට කරන්නන් ගැන බිංදුමාත්‍රයක හෝ විශ්වාසයක් ඔවුන් තුළ නැහැ. ඒ කිසිවකට වඩා ඔවුන්ගේ ජවය හා දැක්ම ගැන දැඩි විශ්වාසයක් ඔවුන් සතුව තිබෙනවා.

ඇත්තටම ඔවුන් කියන විදියට මේ වැඩේට ඔවුන් මුලපුරන්නෙ සංවිධානගත සමූහයක් හැටියට නෙවේ. තමන්ටම අනන්‍ය වුණු නමක් තිබීම, හැඩයක් තිබීම, එකතු වෙන්න ස්ථානයක් තිබීම, න්‍යාය පත්‍රයක් තිබීම වැනි කාරණා කිසිවක් එතැන නෑ. ‘හිත ඇත්නම් පත කුඩාද?’ එච්චරමයි එතැන තියෙන බැම්මත් ගැම්මත්.

ඔවුන් මේ ගැන ලෝකෙට කියන්නෙ ෆේස්බුක් මාධ්‍යයෙන්. රටවටා සිටින ඔවුන්ගේ සගයන් තමන් කරන වගා කාර්‍යන් වීඩියෝගත කර එවූ විට ඒවා තම ෆේස්බුක් පිටුව හරහා බෙදා හැරීම පමණයි ඔවුන් කරන එකම ප්‍රචාරණ ව්‍යායාමය. මේ සඳහා ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න ඔබටත් පූර්ණ හැකියාවක් තියෙනවා. ‘yuresh eranga’ ෆේස්බුක් පිටුව හරහා ඔවුන්ට කතා කිරීමට හෝ උපදෙස් දීමට හෝ වැඩේට ප්‍රතිපාදන සැපයීමට හෝ අවස්ථාව ඔබට විවෘතයි. ‘රස්තියාදුකාරයා’ හා ‘ නාලක සේනාධීර’ කියන youtube නාලිකාවලින් ඔවුන් එදිනෙදා බෙදාහරින වීඩියෝපට නැරඹීමට හැකි වැඩපිළිවෙළක්ද අරඹා තිබෙනවා.

“පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වට අපි ගියේ වෙන ගමනක්නෙ. දැන් අපි ලොස් වෙලා ඉන්නෙ. ඒක තමයි මේ වැඩේ පටන් ගන්න මුලික හේතුව වුණේ. එක එක බිස්නස් කරන ගමන් මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා. මම නං දැන් ෆුල් ටයිම් මේ වැඩේටම බැහැල ඉන්නෙ. තව මාස තුනකින් හොඳ output එකක් දෙන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා.”

ඔව්…., මේ වෙද්දි ඔබ විතරක් නෙවේ මුළු රටක්ම ඔබේ මහන්සියට ආචාර කරන්න මඟ බලමින් ඉන්නවා. හෙටට ණයක් නොවන රටට බරක් නොවන ඔබේ ආකල්පයට ජය!

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!