Gossip

“ඔහු නොහිතපු විදිහට සමුගත්තා.. ඔහුගේ සමුගැනීම මට ගොඩක් දැනුනා. ” – විනූ සිරිවර්ධන

විනූ සිරිවර්ධන කියන්නේ කෙටි කාලයකින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්.

ඉතිං විනූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට කියලා තිබුණා.

විනූ මේ දවස්වල කාර්යබහුලයි වගේ
ඔව්, ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

එකකට එකක් වෙනස් චරිතවලින් තමයි විනූව දකින්න ලැබෙන්නේ?
බොහෝදුරට මගේ තෝරා ගැනීම් එක්ක තමයි මට එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න පුළුවන් වුණේ.

තෝරා ගැනීම් කරන්නේ විනූට වෙනස් වෙන්නම ඕනේ නිසාද?
ඔව්. අපිව හැමදාම එකම විදියට නිතර දකිනකොට එපා වෙන්න පුළුවන්.
මට ඕනේ රංගනයේ ඉදිරි පියවරක් තියන්න. මම මට ලැබෙන චරිතය, තිරපිටපත, අධ්‍යක්‍ෂවරයා, දායක වන පිරිස කියන හැමදේම ගැන සැලකිලිමත් වෙනවා.

සිනමාවේ අලුත් වැඩවලට සම්බන්ධ වුණාද?
‘ආකාස පාලම’ කියන ළමා චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ චිත්‍රපටයට රොනී ලීච් මහත්තයත් සම්බන්ධ වුණා. ඔහු නොහිතපු විදියට අපෙන් සමුගත්තා.
මට ඔහුගේ සමුගැනීම පෞද්ගලිකව ගොඩක් දැනුණා. මොකද අපි එකම ප්‍රදේශයේ. මමයි රොනී ලීච් මහත්තයයි ළඟින් ඇසුරු කළා. අපි රඟපාපු චිත්‍රපටත් තිරගත වුණා.
මේ චිත්‍රපටයත් තිරගත වෙනකල් බලාගෙන හිටියේ. එය ඉදිරියේදී තිරගත වෙයි. මීට අවුරුදු දෙකකට සහ අවුරුද්දකට උඩදි කරපු චිත්‍රපට දෙකක වැඩ අවසන් කරන්නත් තියෙනවා.

දැන් රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න අලුත් අලුත් අය එක්ක විනූට ලැබෙන තැන ගැන සතුටුද?
ඔව්. නව පරපුරේ කෙනෙක් විදියට මම ආපු ගමන ගැන මට සතුටුයි. තාම මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයයි.
ඒ කාලය පුරා කරපු නිර්මාණ එක්ක මම ප්‍රේක්‍ෂක හදවත් තුළ ඉන්නවා. මම සම්බන්ධ වුණු බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගියා. මගේ දක්ෂතාව, වාසනාව වගේම ප්‍රවීණයන් එක්ක සුහදව වැඩ කිරීම එක්ක බොහෝ දෙනෙක් මට ආදරෙයි.

ක්‍ෂේත්‍රය ඇතුළේ සමහර පුද්ගලයන් අතර විරසකකම් බොහෝමයි. විනූට ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ නැද්ද?
දැනුවත්ව නම් මට තරහකාරයෝ නැහැ. මම අවශ්‍ය දේ විතරයි කරන්නේ. අනවශ්‍ය දේ හොයා ගෙන යන්නේ නැහැ.
කවුරු හරි මට දෙයක් කිව්වත් මම අවස්ථාවට ඕන විදියට ඉන්නවා. ඒවා දිගින් දිගට ගෙනි යන්නේ නෑ.

රංගන ශිල්පිනියන් වර්තමානයේ විවිධ දෝෂාරෝපනවලට ලක් වෙනවා. විනූට මේ තාක් ලැබුණු පිළිගැනීම ගැන මොකද හිතෙන්නේ?
2012 මිස් ශ්‍රී ලංකා කිරුළ කියන්නේ මගේ ජීවිතේ ලොකු කඩඉමක්. ඊට පස්සේ තමයි මම රංගනයට එකතු වුණේ. අද මම ඉගෙන ගත්ත අනුලා විද්‍යාලයේම ආරාධිත අමුත්තියක් විදියට පිළිගන්න තැනට ඇවිත් තියෙනවා.
කෙනකුට පිළිගැනීමක් ඇතිව ජීවත් වෙන එක වැදගත්. ක්‍ෂේත්‍රයට අහම්බයෙන් ආපු සමහරුන් ගරුත්වයක් ඇතුව ජීවත් වන විදිය දන්නේ නෑ. මට ඕනේ ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න.

විනූ දැන් පෙම්වතියක් නේද?
පෞද්ගලික දේවල් ගැන කතා කරන එක මම තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.

ඇයි ඒ?
සමහර මාධ්‍ය අපි නොකියන දේවල් පළ කරනවා. ඒ නිසා මම පෞද්ගලික තොරතුරු කතා කරන එක ටිකක් අඩු කරලා තියෙන්නේ.

විනූ ජීවිතයට සීමා දාගෙනද ජීවත් වෙන්නේ?
අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම ගැහැනු ළමයෙක් වුණාම සීමා තියෙන්න ඕන.
මම ලංකාවේ සංස්කෘතියට හැදුණු කෙනෙක්. මගේ පෞද්ගලික ජීවිතයේ වගේම රංගන ජීවිතයේ සීමා තියෙනවා. ඒ දේවල් එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

විනූගේ ජීවිතේ ඉදිරි කඩඉම් එක්ක රංගනය අතහැරලා දායිද?
නැහැ. මම රංගනය අතහරින එකක් නැහැ. සිනමාව සහ ටෙලි නාට්‍ය කියන දෙක අතරින් බොහෝ වෙලාවට එකක් මම තෝරා ගනී.

මොනවද ඉදිරිය ගැන තියෙන සැලසුම්?
මම මේ වෙනකොට ජනමාධ්‍යකරණය ගැන හදාරනවා. අම්මයි තාත්තයි මම කථිකාචාර්යවරියක් වෙනකල් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
ඒ දේවල් වෙනුවෙන් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඒ වගේම ගොඩක් අය මගේ විලාසිතා ගැන කතා කරනවා. ඉදිරියේදී ඒ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!