Gossip

“අවුරුදු 6 ක් ඇසුරු කරලයි අපි විවාහ වුණේ” – සිංහල, දෙමළ වර්ගවාදය මෙරට ගිලගත් සමයේ ජනතාව තුළ සහජීවනය ඇතිකිරීමට රංගන දායකත්වය ලබාදුන් සරෝජා මතකද..? – Photos

සරෝජා’සහ ‘පුංචි සුරංගනාවී’ සිනමා පට හරහා මෙරට කතාබහට ලක්වූ පුංචි දැරිය ඔබට මතකද?
වසර දහ අටක් ගත වීත් ඇය පිළිබඳ මතකය සියලු දෙනාගේම සිත් තුළ තවමත් නිදන්ව ඇතිවා නොඅනුමානයි.
සිංහල, දෙමළ වර්ගවාදය මෙරට ගිලගත් සමයේ ජනතාව තුළ සහජීවනය ඇතිකිරීමට මේ දැරිය රංගනයෙන් ලබාදුන් සහයෝගය අගය කළ යුතු මෙන්ම සියල්ලටම ආදර්ශවත්.
එදා පුංචි ළදැරියකව සිටි ඇය පසුගියදා යුගදිවි ගමන් අරැඹුවා.
ඒ වසර ගණනක් තිස්සේ දැන හඳුනාගත් තරුණයකු සමගයි.

කොහොමද අලුත් ජීවිතේ ..
සතුටෙන් ගෙවිලා යනවා.

කවදද විවාහය සිදුවුණේ..
පසුගිය හතරවැනිදා චාරිත්‍රානුකූලව විවාහය සිදුකර තැල්ල බැඳීමේ චාරිත්‍රය පැවැත්වුණා.
ඉන් පසුව හය වැනිදා මංගල උත්සවය පැවැත්වූවා.

කවුද ඔබේ අතගත් වාසනාවන්තයා..
ඔහු ප්‍රියදර්ශන්. පෞද්ගලික බැංකුවක සේවය කරනවා. එයාගෙ පවුලේ ඉන්නේ අම්මා, අයියා, ආච්චි සහ සීයා. අයියා විවාහකයි.

කොහොමද ඔබ දෙදෙනා හමුවුණේ..
ප්‍රියදර්ශන් මගේ යහළුවකුගේ යහළුවෙක්. යහළුවාගේ හිතවත්කම නිසා ප්‍රියදර්ශන් මගෙත් මිතුරෙකු බවට පත්වුණා.
අපි අවුරුදු දෙකක් පමණ හොඳ මිතුරන් ලෙස ඇසුරු කළා. ඉන් පසුව අප දෙදෙනාටම නොදැනී පෙම්වතුන් බවට පත්වුණා.
පෙම්වතුන් ලෙස වසර හතරක් ආදරය කළා. දැන හඳුනාගෙන වසර හයකට පමණ පසුව තමයි විවාහ වුණේ.

කවුරුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ..
ප්‍රියදර්ශන්. එයාට හිතෙන්න ඇති මම එයාට ගැළපෙන කෙනා කියලා.
මටත් එහෙම හිතුණා. ඒකනේ ගෙදරින් අහලා කැමැත්ත දුන්නේ.

කොහොමද දැන් දවස ගෙවන්නේ…
අපි මොරටුව සොයිසාපුර මගේ අම්මලා ජීවත්වන ප්ලැට් එක ඉදිරිපිට නිවෙසේ පදිංචිව සිටින්නේ.
තවමත් ප්‍රියදර්ශන් රැකියාවට යන්න ගත්තේ නැති නිසා බොහොම නිදහසේ කාලය ගෙවනවා. කොහොමත් අම්මලා ළඟම ඉන්න නිසා තනියක් නෑ,

නිත්‍යාගේ ඉගෙනුම් කටයුතු අවසන්ද?
තවම නැහැ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අවසන් වසරේ ඉගෙනුම ලබනවා.
පුංචි කාලයේ සිටම වෛද්‍යවරියක් වෙන එක මගේ හීනයක්. අනාගතයේදී ඒ හීනය සැබෑවීම ගැන සතුටුයි.
ඉගෙනුමට බාධා වෙයි කියා විවාහය වුණත් තව ටිකක් ප්‍රමාද කිරීමටයි මගේ කැමැත්ත තිබුණේ. නමුත් අම්මාගෙන් සහ තාත්තාගෙන් බේරෙන්න බැරිවුණා කාලයක් තිස්සේ අපි ඇසුරු කරන නිසා විවාහ වෙන්න කියල. ඉතින් එයාලගෙ කීමට කන්දෙන්න ඕනෑ නිසා විවාහ වීමට අපි දෙදෙනාම කැමැති වුණා.

නිත්‍යා නැතුව අම්මලාට පාලු ඇති නේද?
අම්මා කියනවා මම නැතුව ගෙදර පාළුයි කියලා. අපි පුළුවන් වෙලාවට අම්මලා බලන්න යනවා.
අම්මලාත් මාව බලන්න එනවා. මගේ පවුලේ තාත්තා, අම්මා, මල්ලී. මල්ලී තවම ඉගෙන ගන්නවා.

නිත්‍යාට රසට උයන්න පුළුවන් කියන්නේ ඇත්තද?
ටිකක් විතර. වඩේ හදන්න තමයි හොඳටම පුළුවන්. අපි දෙන්න විවාහ වුණාට පස්සෙ නම් තවම මුකුත්ම උයන්න, පිහන්න අවස්ථාව ලැබුණේ නෑ.
ඥාතින්ගෙන් කෑමට ආරාධනා ලැබෙනවා. තවම තේ එකක් විතරයි මගේ අතින් හැදුණේ. තව ටික දවසකින් උයන්න පටන්ගන්නවා.

වඩේ සාදාගන්නා අන්දම අපිටත් කියනවද ?
මුලින්ම කරන්න ඕන උඳු පෙඟෙන්නට වතුරේ දමා තියන එක. එය වඩේ හදනදාට පෙර දා රාත්‍රියේ දමනවානම් පසුවදා වනවිට හොඳට පෙඟිලා තියෙනවා.
ඉන්පසු උඳු බ්ලෙන්ඩ් කරනවා. එයට ලූනු, අමුමිරිස්, කරපිංචා ආදිය කපලා මිශ්‍ර කර පදමට ලුණු දමා අතේ තෙල් ස්වල්පයක් තවරාගෙන මිශ්‍රණය අතින් කුඩා පැතලිවට වඩේ සාදාගෙන තෙලට දමා බදිනවා. එය සම්බල් සමග හෝ සෝස් සමග ආහාරයට ගන්න පුළුවන්.
මම නම් ලේසියට සෝස් සමග තමයි පිළිගන්නන්නේ. මම කියපු දේවල් සමහරවිට අඩුපාඩු වෙන්න පුළුවන් මොකද අමතක වුණහම අම්මගෙන් අහගන්නවා. අම්මත් නැත්නම් යූ ටියුබ් එකෙන් බලනවා. මම ගෙදර ඉන්න දවස්වල මල්ලි සමග සැන්විච් වගේ කෑමත් හදලා තියෙනවා.

සරෝජා, පුංචි සුරංගනාවී චිත්‍රපටවල රඟ පෑ අතීතය පිළිබඳ මතක් කරමුද?..
ඒ කාලය මගේ ජීවිතයට අමතක වෙන්නෙ නෑ. අවුරුදු දහ අටක් ගෙවුණත් අද ඊයේ වගෙයි. එතකොට මම ඉගෙන ගත්තේ දෙවැනි වසරේ.
ප්‍රමුදි අක්කා තුන්වැනි වසරේ ඉගෙන ගන්නවා. මට සිංහල ‍පොඩ්ඩක්වත් බෑ.
ප්‍රමුදි අක්කා තමයි සිංහල කියලා දුන්නේ. අපි මාසයක් විතර අනුරාධපුරරේ රූගත කිරීම් සඳහා සහභාගි වුණා. ඒ කාලය හරිම සුන්දරයි. කොහොම හරි අපි දෙන්නගේ අම්මලා දෙන්නත් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වන විට හොඳම යහළුවන් වෙලා. අම්මා මගේ වෙඩින් කාඩ් එක දෙන්න ගියාම ගොඩක් අය අහලා අර පොඩි කෙල්ල කසාදයක් බඳින තරමට ලොකු වුණාද කියලා. ඒ තරමටම පුංචි සරෝජාට ආදරෙයි.

සරෝජා, පුංචි සුරංගනාවී අන්තර්ජාතික ඇගැයීමට ලක්වු සිනමා නිර්මාණ..
ඔව්. ඉරාන චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම ජනාධිපති සම්මානය හිමිවුණා.
පුංචි සුරංගනාවී චිත්‍රපටයට සරසවි සම්මාන උලෙළේදී හොඳම නිළිය, විශ්ව කීර්ති සම්මානය, ජනාධිපති සම්මානය සහ ඉරාක සම්මාන උලෙළේ බටර්ෆලයි ගෝල්ඩන් සම්මානය, නෝර්වේ, මැලේෂියාව, ඉරානය, ඇමෙරිකා ආදී රටවල සිනමා සම්මාන උලෙළවලට සහභාගි වුණා. එම චිත්‍රපටයේ රඟ පෑ නිසා පුංචි කාලයේදි ලෝකය ගැන ගොඩක් දේවල් දැක බලාගන්න අවස්ථාව ලැබුණා.

නිත්‍යා- ප්‍රමුදි සුසංයෝගය ගැන කතා කරමු..
ප්‍රමුදි අක්කා හොඳ මිතුරියක්. අපි දෙදෙනාම මේ සිනමා පට දෙකෙන් තමයි සිනමාවට පිවිසියේ. ප්‍රමුදි අක්කා මට සිංහල කියලා දුන්නා. අපි දෙන්නාම හොඳින් අපේ චරිත නිරූපණය කළ නිසා තමයි එම චිත්‍රපටය එතරම් ඇගැයීමට ලක්වුණේ. අප දෙදෙනා නිතරම දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙනවා.
මගේ විවාහ උත්සවයටත් ප්‍රමුදි අක්කා ආවා. ඇය තව මාස දෙකකින් මවු පදවිය ලබනවා.

ඔබව කලාවට හඳුන්වා දුන් සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය යුවළ මතකයිද?
ඔවුන් නොසිටින්න නිත්‍යවානි කියා කෙනෙක් කලාවේ දකින්න ලැබෙන්නේ නෑ.
ඔවුන් දෙදෙනාගේ ඇසුර සහ උපදෙස් තවමත් මට නොඅඩුව ලැබෙනවා. රේණුකා ආන්ටි තමයි විවාහයට මගේ පැත්තෙන් අත්සන් කෙළේ. සෝමෙ අන්කල් නිතරම කියනවා ඉගෙනුම අවසන් කළාට පසු හොඳ චිත්‍රපටයක් කරමු කියා. ඔවුන් මගේ ජීවිතයටම ආලෝකයක් ලබා දුන්නා.

අනාගත බලාපොරොත්තු..
මේ දක්වා ආවා වගේ ඉදිරියටත් හැමදේම හොඳ විදිහට සිදු වෙයි කියන බලාපොරොත්තුවෙන් අප දෙදෙනාම අනාගතය දෙස සුබවාදීව දකිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!