Gossip

“ඔව් මම පෙම්වතියක්” – සාරංග ගැන අහපු ප්‍රශ්නෙට දිනක්ෂි දුන්නු පිළිතුර මෙන්න – Photos

සාරංගටයි මටයි අපි දෙන්නට නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. එහෙම ලැබිච්ච ආරාධනාවලින් ප්‍රතික්ෂේප කළ ආරාධනාත් තියෙනවා.
හොඳ වැඩක් නම් ඒ නිර්මාණය තුළ කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒ වැඩේ භාරගන්නවා. අපිට හැම ප්‍රේක්ෂකයෙක්ම සතුටු කරන්න අමාරුයි. සමහරු කැමැති දේවලට සමහරු අකැමැති වෙන්න පුළුවන්.
ඉතිං අපිට හොඳ වැඩක් කියලා හිතුණොත් අපි එයට සම්බන්ධ වෙනවා.

සාරංගත් එක්ක දිනක්ෂි නිතර නිර්මාණවල දකින්න ලැබෙන්නේ ඔයාලගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට කියලා සමහරු හිතනවා?
එහෙම දෙයක් කොහෙත්ම නැහැ. අපිට එකට රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණොත් අපි එයට සම්බන්ධ වෙනවා. මම එහෙම රංගන ශිල්පීන් තෝරන්නේ නැහැ. අධ්‍යක්ෂවරු තමයි අපිව නිර්මාණවලට තෝරා ගන්නේ. ඒ තෝරාගැනීම්වලට අපි බලපෑමක් කරන්නේ නැහැ.

රංගන ශිල්පීන් වගේම දිනක්ෂි අධ්‍යක්ෂවරුන්ව තෝරන්නෙත් නැද්ද?
ඒ ගැන නම් මම දෙපාරක් හිතනවා. දැන් මම රංගනයට ඇවිත් කාලයක් වෙනවා. දැන් දැන් හොඳ නිර්මාණ කරන්න හොඳ අධ්‍යක්ෂවරුන් ගෙන් අධ්‍යක්ෂණය වෙන්න කැමතියි. ඒ නිසා නිර්මාණයක් ලැබෙද්දි අධ්‍යක්ෂවරයා කවුද කියන දේ බලනවා. සමහර අලුත් අධ්‍යක්ෂවරුන්ගේ වුණත් හොඳ නිර්මාණ තියෙනවා. ඉතිං මම ප්‍රවීණ අධ්‍යක්ෂවරු වගේම අලුත් අධ්‍යක්ෂවරු එක්කත් වැඩ කරනවා.

දිනක්ෂියි සාරංගයි නිර්මාණවලට ගැළපිලා තියෙනවා වගේම සැබෑ ජීවිතයෙන් ගැළපිලා කියන්නේ ඇත්තද?
ඒ ගැන අපි පස්සේ කතා කරමු නේද?

දිනක්ෂි දැන් පෙම්වතියක්නේ?
ඔව්. හැමෝම වගේ එහෙම වෙන්න පුළුවන්නේ.

දැන් දිනක්ෂි වේදිකාවෙත් ජීවත්වෙනවා නේද?
ඔව්, ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ වේදිකා නාට්‍යයට මේ දෙසැම්බර් මාසේ අවුරුද්දක් සපිරෙනවා. අපි දැනට දර්ශන වාර විස්සක් විතර කරලා තියෙනවා. මේ මාසෙත් දර්ශන කිහිපයක්ම තියෙනවා. හාස‍්‍යයෝත්පාදක නාට්‍යයක් වුණාට ඒ නාට්‍යයෙන් ලොකු පණිවුඩයක් සමාජගත කරනවා.
ඒ වගේම පසුගිය කාලේ මම චම්ප බුද්ධිපාල මහත්මයාගේ ‘ආශාවේ වීදි රිය’ කියන නාට්‍යයට සම්බන්ධ වුණා. එහි දර්ශන වාර ඕස්ට්‍රේලියාවෙත් කළා.
මම වේදිකා නාට්‍ය ගොඩක් කරලා නැහැ. නමුත් මේ නාට්‍ය මගේ රංගන ජීවිතයේ කඩඉමක්. මෙහි මම කරන්නේ ස්ටෙලා කියන චරිතය. ඒ චරිතය ගොඩක් අය කරන්න ආසාවෙන් ඉන්න චරිතයක්. ඇත්තටම ඒ චරිතය කරන්න ලැබීම වාසනාවක්.

අලුත් නිර්මාණවලට දිනක්ෂිට ආරාධනා ලැබිලත් ඇති?
අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කරන්න තියෙනවා. ඒ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ‘මන්දාරා’ චිත්‍රපටයේ. ජනවාරි මාසේ අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලත් තියෙනවා.

දිනක්ෂි පුංචි තිරය, සිනමාව, වේදිකාව කියන මාධ්‍ය තුනේම ඉන්නවනේ. ඒ අතරින් දිනක්ෂි ජීවත් වෙන්න වැඩිම කැමැත්ත තියෙන්නේ මොන මාධ්‍යයේද?
මම පුංචි තිරය, සිනමාව, වේදිකාව කියන තුනටම කැමැතියි. මොකද මම මේ මාධ්‍ය තුනම අධ්‍යයනය කරමින් ඉන්නේ. මේ මාධ්‍ය තුනෙන් මට වෙනස් විදිහේ අත්දැකීම් ලැබෙනවා. ඒ මාධ්‍ය තුනේ රංගනය හසුරන විදිහ වෙනස්. ඒ නිසා මේ මාධ්‍ය තුනේම ජීවත් වෙන්න මම කැමැතියි.

රංගනය ඇතුළේ ඔබ බලාපොරොත්තු වන දෙයක් තියෙනවාද?
මම කිසිම දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. රංගනය ගැනත් ලොකු බලාපොරොත්තු නැහැ. මට අවශ්‍ය වෙන්නේ නිර්මාණයක් කරද්දි එයට උපරිම දායකත්වය දෙන්න. යමක් හොඳට කරලා ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දි ඒක තමයි මට තියෙන ලොකුම සතුට. අපි යම් දෙයක් කරලා ඒකෙන් යමක් බලාපොරොත්තු වුණොත් ඒ කියන්නේ අපි ඒ කරන දෙයට අවංක වෙලා නැහැ. අපි යමකට අවංකව වැඩ කළොත් කවදා හරි අපිට එහි ප්‍රතිලාභයක් ලැබෙයි.

දවසින් දවස රංගන ශිල්පිනියෝ ක්ෂේත්‍රයට ආවත් නිළි තරගය ඇතුළේ දිනක්ෂිට අවස්ථා ලැබීමේ තරගය පරාද වෙන්න සිදුවෙලා නෑ නේද?
මට අවස්ථා නම් හම්බෙනවා. අපි කරන වැඩේට සියයට සියයක් දායකත්වය දීලා හරි විදියට ඒ දේ කළොත් අපිට ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. අලුතින් අය ක්ෂේත්‍රයට ආවට ප්‍රශ්නයක් නැහැ.
මමත් ඒ අය වගේම කාලෙකදි අලුතින් මේ ක්ෂේත්‍රයට ආවා.
හැබැයි කවුරු හරි මම එන එක වැළැක්වූවා නම් අද මම මෙතන නැහැ. මම කාටවත් අභියෝග කරන්නේ නැහැ. මම මට ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. අපිට ලැබෙන අවස්ථා සීමිතයි. අපි දැනගන්න ඕනේ ඒ අවස්ථාවෙන් අපේ හැකියාව පෙන්න ගන්න.
අපි මේ ක්ෂේත්‍රයෙන්ම ඉගෙන ගන්නවා. ඒ වගේම මේක අපේ රැකියාව. අලුතින් බොහෝ අය එන තරමට හොඳයි. ලස්සන ලස්සන අය ක්ෂේත්‍රයට එනවා. එනකොට අපිට ඔවුන් ගැනත් කතා කරන්න පුළුවන්.

දිනක්ෂි කා එක්කවත් තරග කරන්නේ නැහැ වගේ?
අපෝ මට එහෙම තරගයක් නැහැ. එහෙම තරග කරලා ආතතියෙන් පෙළෙන්න මම කැමැති නැහැ.
මම තරග කරන්නේ මං එක්ක. මගේම දේවල් බලලා මගේ රංගනයන් දියුණු කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. මගේ සමකාලීන රංගන ශිල්පිනියන් වන තිසුරි, ශලිනි වගේ දක්ෂ ශිල්පිනියන්ගේ රංගනයන් මම බලනවා. මට වඩා එයාලා දක්ෂයි. ඔවුන් එක්ක තරග කරන්න යන්නේ නැහැ මම. ඒ වගේම මම චාන්දනි සෙනෙවිරත්න මහත්මිය වගේ ප්‍රවීණ ශිල්පිනියන්ගේ රංගනයනුත් බලනවා. ඔවුන්ගේ දේවල් ඉගෙන ගන්නවා.

කාලයත් එක්ක සමහර ශිල්පිනියන්ගේ ජනප්‍රියත්ව අඩු වෙනවලු. දිනක්ෂිටත් ජනප්‍රියත්වය අඩු වැඩිවීම් දැනෙනවාද?කාලෙන් කාලෙට ජනප්‍රියත්වයේ අඩු වැඩි වීම් වෙනවා. ජනප්‍රියත්වය හිණිපෙත්තෙම තියෙන්නේ නැහැ. නිර්මාණ ජනප්‍රිය වෙනකොට අපි ජනප්‍රිය වෙනවා.
ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ජනප්‍රිය ඇති. නමුත් ප්‍රේක්ෂකයෝ අපි දිහා බලන විදිහ, අපිව විනිශ්චය කරන විදිහ, පෞද්ගලික ජීවිතය විනිශ්චය කරන විදිහ, නිර්මාණ විනිශ්චය කරන විදිහ එක්ක ජනප්‍රියත්වයේ අඩු වැඩිවීම් වෙන්න පුළුවන්.
මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නැහැ. මට ජනප්‍රියත්වය ලැබිලා තියෙනවා. ජනප්‍රියත්වයටත් වඩා දක්ෂ රංගන ශිල්පිනියක් කියන තැනට එන්න මම කැමතියි. ඒ වෙනුවෙන් තව මම වැඩ කරන්න ඕන.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!