Gossip

“ඔයා ඇවිත් අපේ ජීවිතේම වෙනස් කළා. එයාලට බලපෑමක් කරන්න යන්නේ නෑ.ඒක කොහොමද වෙන්නේ කියන දේ එයාලටත් අපි කීවේ නෑ”

තිලකරත්න ඩිල්ෂාන් සහ මංජුලා තිළිණි කියන්නේ රටම දන්න චරිත දෙකක්.
දැන් මේ දෙන්නගේ කැඳැල්ලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. පසුගිය දවසක පුංචිම පුතාගේ උපන්දිනයත් යෙදිලා තිබුණා.
ඒ දේ ගැනත් ඩිල්ෂාන් සහ මංජුලාගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

* ඩිල්ෂාන් පවු‍ලේ හුරතලාට දැන් අවුරුද්දක් වෙලා නේද?
ඒකනේ ඉතින්.. අපේ පුතාගේ පළමුවැනි උපන් දිනේ තිබුණා පහුගිය දිනයක. තාමත් ඒ උපන් දින සතුටත් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නේ.

* උපන් දින කුමාරයා වෙනුවෙන් ගොඩක් කාර්යබහුල වෙලා වගේ..?
ඔව්, ඇත්තටම මේ අපේ පවු‍ලේ අන්තිමයා. ඉතින් එයාගේ පළමුවැනි උපන් දිනේ කියන්නේ අපි හැමෝටම අලුත් ආරම්භයක්. ඒ හින්දම මමයි, ඩිල්ෂානුයි එකතුවෙලා මේ සප්‍රයිස් පාටි එක ලෑස්ති කළා හැමෝටම හොරෙන්.

* ඒ කියන්නේ අයියයි, අක්කලා දෙන්නයි දන්නෙත් නැද්ද මල්ලියාගේ උපන් දින පාටි එක ගැන?
පාටි එකක් ගන්නවා කියලා එයාලා දැනගෙන හිටියා. නමුත් ඒක කොහොමද වෙන්නේ කියන දේ එයාලටත් අපි කීවේ නෑ. මොකද බර්ත් ඩේ එක චූටිම කෙනාගේ වුණාට අනිත් තුන්දෙනාටත් ඒ හැඟීම, ඒ සතුට ඒ විදිහටම දෙන්න අපිට ඕන වුණා. ඒ නිසයි මේ උපන් දිනේ හතර දෙනාටම සප්‍රයිස් පාටි එකක් බවට පත්වුණේ.

* මොකක්ද උපන් දින තේමාව වුණේ කියලත් කියමු..?
අපේ පුතා ගොඩක් සත්තුන්ට ආසයි. ඒ අතරිනුත් එයා ගොඩක්ම කැමැති මාළුන්ට. ඒ හින්දම අපි හිතුවා මුහුදු පතුලක තේමාව අරගෙන මේ දේවල් ලෑස්ති කරන්න.

* එහෙනම් බබා ගොඩක් සතුටු වෙන්න ඇති?
ඔව්. හතර දෙනාම ගොඩක් සතුටු වුණා. විශේෂයෙන්ම මේ දේවල් ලෑස්ති කරනකොට එරංග අපිට ගොඩක් උදව් කළා. එයා තමයි බබාලගේ, අපේ පාටි ලෑස්ති කරනකොට ඒ ගැන හොයලා බලන්නේ. ඒ වගේම හැමෝම කතාබහ කරන ලස්සන වීඩියෝ එකක් කරලා දුන්නා අපිට. ධනුෂ්ක, ඔහුටත් ඒ වගේම ඉන්දිකටත් ස්තුති කරන්න කැමැතියි. අපිට සාර්ථක උපන් දින සාදයක සතුට විඳින්න හයියක් වීම පිළිබඳව.

* කොහෙද පාටි එක තිබුණේ කියලත් කියමු?
‘ඩී පැවිලියන්’ කියන අපේ පුංචි ලස්සන හෝට‍ලේ තමයි එදා ලස්සනම ලස්සන මුහුදු පතුලක් විදිහට හැඩවුණේ.

* ගොඩක් කල් ඉඳන් සැලසුම් කරන්නත් ඇති නේද මේ දවසට?
අපේ ජීවිතේ එහෙම දිගුකාලීන සැලසුම් තිබිලම නෑ. මේකත් අපි පළමුවැනි උපන් දිනේ නිසා ආගමික වතාවත්වලට මුල්තැන දීලා දරුවො වෙනුවෙන් යමක් කරන්නයි සැලසුම් කළේ.
එහෙම නැතුව දිගුකාලීනව සැලසුම් කරලා ගත්තු පාටියක් නම් ‍නෙවෙයි.

* ගොඩක් දෙනෙක් ආරාධනා ලබන්නත් ඇති..?
එදිනෙදා හැමදාම ඒ ඒ අවස්ථාවේ අපිත් එක්ක හිටපු පිරිසටයි අපි ආරාධනා කළේ.
හැමෝටම ආරාධනා කළා නම් ඇත්තටම අපිට පාටි එකක් ගන්න තැනකුත් හොයාගන්න වෙනම මහන්සි වෙන්න වෙනවා.
විශේෂයෙන්ම රසල් ආර්නල්ඩ් සහ දකුණු අප්‍රිකානු ටීම් එකේ ඩිල්ෂාන්ගේ සමීපතමයන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් කියන්නම ඕන හැමෝම එක්ක හැමදාම අපි ඉන්නවා. ආරාධනා නොකළ නිසා හිත් අමනාපයක් තියෙනවා නම් ඒ අයට කියන්න ඕන හිතාමතා මගහැරියා ‍නෙවෙයි, ලොකු පිරිසක් ඉලක්ක නොවීමයි ඒ අතපසුවීමට එකම හේතුව.

* මේ දේවල් දැක්කම බබා කොහොමද ප්‍රතිචාර දැක්වූවේ කියලත් කියමු?
අපේ බබා හරිම නිස්කලංක, සංවේදී කෙනෙක්. එයා මාළුන්ට ගොඩක් කැමැති වෙන්නත් හේතුව ඒ එයාගේ නිශ්ශබ්දකම වෙන්න ඇති.
ඉතින් ගොඩක් කලබල පරිසරයකට එයා අකමැති නිසා ෆොටෝස් එහෙම ගන්නත් එයාගෙන් ඉඩක් ලැබෙයිද කියන බය අපිට තිබුණා.
නමුත් එයත් එයාගේ දවස සතුටින් වින්දා කියලා නම් මූණ දකිනකොට අපිටත් හිතුණා.

* එයාට තේරුමක් තිබුණද මේ එයාගේ උපන් දින පාටි එක සමරන්නේ කියලවත්?
අවුරුද්දක බබෙක් කියන්නේ ඇත්තටම ජීවිතේ පුංචි පුංචි දේවල් තේරුම් ගන්න යාන්තමට උත්සාහ කරන්න පටන් ගන්න කෙනෙක්නේ. ඉතින් එයාට තේරුමත් තිබුණත් නැතත් දරුවෙක්ගේ පළමුවැනි උපන් දිනේ මේ මතක අපි දවසක එයාට දෙන වටිනා තෑග්ගක් විදිහටයි මම දකින්නේ.
මේ මතක සටහන් එයාට දවසක ලොකු සතුටක් වේවි. ඉතින් දරුවන්ගේ සතුට වෙනුවෙන් පුංචි පුංචි සැමරුම් එකතු කරලා තියන එකයි අපි අපේ යුතුකම් විදිහට කරන්න උත්සාහ ගන්නේ.

* බබාලගේ හැම උපන් දිනයක්ම මේ වගේ පාටි එකකින් සමරනවා ඇති එහෙනම්?
නෑ, හැමෝගෙම අවුරුද්දෙ උපන් දිනේට විතරයි අපි මෙහෙම දෙයක් ලෑස්ති කළේ.
උපන් දිනේ දවසට මූලිකම දේ පාටියක් ගන්න එක ‍නෙවෙයි. යන්තම් ‍පොළොවේ අඩිය තියෙන වැටි වැටී ඇවිදින අවුරුද්දේ සැමරුමට අපි මුලින්ම කරන්නේ ආගමික කටයුතු එක්ක එයාලගේ ජීවිතේට ආශිර්වාද ලබාගන්න එක.
ඊට පස්සේ තමයි එයාලගේ සතුට වෙනුවෙන් මේ විදිහට පාටි එකක් වුණත් ලෑස්ති කරන්නේ.

* අයියගෙයි, අක්කලා දෙන්නගෙයි සුබ පැතුම් කොහොමද මල්ලියාගේ උපන් දිනේට එකතු වුණේ?
අපි ඒ තුන්දෙනාටත් කේක් ලෑස්ති කරලා තිබුණා. මොකද තාම එයාලත් ‍පොඩි අයනේ. ඉතින් මේ විදිහට මල්ලිගේ උපන් දින පාටි එක දකිනකොට හිත නොරිදෙන විදිහට එයාලටත් කේක් හදලයි තිබුණේ. ඒ වගේම එයාලා කවි, නිසඳැස් වගේ ලියලා බර්ත් ඩේ කාඩ් හදලා තිබුණා.
අපේ ලොකු දූ ලියලා තිබුණා ‘ඔයා ඇවිත් අපේ ජීවිතේ වෙනස් කළා කියලා. ඒකෙන්ම ඒ තුන්දෙනා මල්ලිට කොයි තරම් ආදරේද කියලා තේරුම් ගන්න පුළුවන්.
ඒ වගේම වෙනස්කමක් නොවෙන්න අපි හැමෝම එකම විදිහේ ටීෂර්ට් එකකිනුත් හැඩවුණේ.

* තාත්තා දැන් නිතරම ළඟ ඉන්න නිසා බබාලගේ සතුට තවත් වැඩි වෙන්න ඇති?
ඒකම තමයි මෙච්චර කතා කරන්න තරම් ලස්සන දවසක් ගන්න ලැබිමටත් හේතුවුණේ. නමුත් අනිත් තුන්දෙනාටමත් මේ සතුට අපි ඒ විදිහටම ලබාදුන්නා. දැන් අපි නිදහසේ පවුල ඇතුළේ ගෙවන නිස්කලංක ජීවිතේට හේතුවත් ඩිල්ෂාන් නිතරම අපිත් එක්ක රැඳෙන එක. ඉතින් ඒ නිශ්ශබ්දතාවය මේ වගේ දේකින් එළියට ගියාම හැමෝම කතා කරන්න පටන් ගන්නවා.

* ‍පොඩ්ඩො ටික ලොකු වෙන්න වෙන්න එයාලා ගැන දකින හීනත් අලුත් වෙනවා ඇති නේද?
හීන දකිනවා. නමුත් එයාලට අපි බලපෑමක් වෙන්න යන්නේ නැහැ. අපේ පුතා කියනවා එයා කැමැතිම තාත්තට තමයිලු. හැබැයි එයා ෆුට්බෝල්වලට ගොඩක් කැමැති නිසා එයා කැමැතිම ක්‍රීඩකයා රොනාල්ඩෝ කියලා. ඒත් ඒක එහෙම කීවාම තාත්තගේ හිත රිදෙයි කියන හැඟීම එයා ළඟ තියෙනවා. ඉතින් එහෙම බලනකොට තාත්තා ක්‍රිකටර් කෙනෙක්, ඔයත් එහෙමම වෙන්න කියලා බලපෑම් කරන්න තරම් යොමුවෙන එක අපි අනුමත කරන්නේ නැහැ. අපි හැමදාම කරන්නේ එයාලා දකින හීනවලට ළඟින් ඉඳන් හොඳ නරක කියලා දීලා ශක්තියක්, හයියක් වෙන එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!