Gossip

ඔමික්‍රෝන් ලෝකය පුරා කතාබහට ලක්වී ඇත්තේ ඇයි ?

කොවිඩ් – 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගතකර තිබෙනවා.

මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළදී මෙවන් විකෘතිතා නිර්මාණයවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්.

එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණදීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසයි.

සියලුදෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසයි.

අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුණ අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුනා.

වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු (V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළයි.

‘ඔමික්‍රෝන්’ (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේදය හමුවීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වනවිට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබුණා.

ජර්මනිය සහ චෙක් ජනරජයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවද වාර්ථා වෙනවා.

දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඇතිවුයේ යැයි සැකකරන පළමු රෝගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තිය අඩපණ කරන රොගයක් ඇති, ඒ සඳහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.

ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට මෙම ප්‍රභේදය වැලඳිය හැකියි.

ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනයවීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බවද වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා.

මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකි තත්ත්වයක් බව විශේෂඥයන්ගේ මත වී තිබෙනවා.

රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්.

කිනම් විකෘති ප්‍රභේදයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මගින් රෝගය වැලඳීම වළක්වාගත හැකියි.

ඒ නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.

ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර “අවධානය යොමු කළ යුතු ප්‍රභේද” වලට එරෙහිව එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිලි වෙමින් පවතී. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණයට පෙර කාලවලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මගින් තවත් වැඩි ආරක්ෂාවක් සලසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

ජනතාව වැඩිපුර ගැවසෙන, වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථානවල ගැවසීම කොවිඩ් ආසාදනයවීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරයි.
විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනඟ ගැවසෙන ආපනශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිරයාමේ වේගය ඉතාමත්ම වැඩියි.

මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතුයි.

නොඑසේ නම් ඒවායේ ගතකරන කාලය හැකිතාක් අඩු කළ යුතුවෙයි.

එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලුදෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකිය.

සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!