Gossip

ඔක්තෝබර් මස රිය අනතුරකින් මියගිය සුරේෂ්ට නැවත පණ එයි

‘‘අයියෝ මගේ පුතා……’’
සන්දරාදුර සීලවතී ද සිල්වා නම් වූ ඒ මව දහවල් කළුතර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරය අසල සිට නැගූ විලාපයෙන් මුළු ප්‍රදේශයම ගිඟුම් දුන්නේය. මියගොස් සිටියේ පහළගේ සුරේෂ් අබේගුණවර්ධන නම් වූ 26 හැවිරිදි තරුණයෙකි. ඔහු අඩි හයක් උස් වූ හැඩකාරයෙකි.

සීලවතී මාතාවට පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙකු සිටි අතර මොහු පවුලේ දෙවැන්නාය.

බේරුවල මොරගල්ල බාබේරියන් පාරේ මුහුදු වෙරළට සමීපව විදේශිකයන් සඳහා තමාගේම අවන්හලක් පවත්වාගෙන ගිය ඔහු මියගියේ පසුගිය මස 17 වැනිදා අලුයම 12.30ට පමණ ගාලු පාරේ මොරගල්ල මාරගහ හංදියට ආසන්නව සිදු වූ රිය අනතුරකිනි.

අනතුරෙන් පසුව ඔහුව බේරුවල රෝහලට ද, එතැනින් කළුතර නාගොඩ මහ රෝහලට ද ඉන්පසු කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා තිබූ අතර ආපසු නාගොඩ රෝහලටම හරවා එවා තිබුණේ මොළේ මිය ගොස් ඇති බැවින් ජීවත් කළ නොහැකි බව පවසමිනි.

ඒ අනුව මොහුගේ අවයව වෙනත් රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කැමැතිදැයි වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් විමසන ලදී. තම දරුවා නැති වුවත් තවත් කීප දෙනෙකු ජීවත් වනවා නොවේදැයි කියා සිත හදා ගත් දෙමාපියෝ ඊට කැමැති වූහ.

අවයව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරන ලද්දේ ඉකුත් 17 වන දින රාත්‍රියේය. ඔහුගේ සිරුරෙන් ඉවත් කළ අක්මාව 18 වැනිදාම තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකුට බද්ධ කරන ලදී.

එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලට ද අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලට ද යවන ලදී. එම රෝහල් දෙකෙන් වකුගඩු අවශ්‍ය රෝගීන් පස් දෙනා බැගින් තෝරාගෙන ඒ අතරින් ගැළපෙනම දෙදෙනාට එම වකුගඩු දෙක බද්ධ කිරීමට වෛද්‍යවරු තීරණය කර සිටියහ.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිලධාරීන් විසින් ඔහුගේ ඇස් ඉවත් කර ගත් අතර ඉන් තවත් දෙදෙනෙකු ලොව දකින්නට පෙරුම් පුරමින් සිටියහ.

කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරය අසල දී අපට හමු වූ සුරේෂ්ගේ පියා වන පහළගේ පද්මසිරි අබේගුණවර්ධන (අවු. 61) අප සමඟ මෙසේ කීය.

මගේ දරුවන් හතර දෙනාගෙන් වැඩිමලා දුව. මේ දෙවැනියා. එයා තමාගේම රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන ගියා. පුතාට ජර්මන්, ප්‍රංශ ආදී භාෂා ගණනාවක් හොඳින් කතා කරන්න පුළුවන්. මාත් ඉස්සර වැල්ලේ සංචාරකයින් සමඟ යනවා. මටත් භාෂා කීපයක් පුළුවන්.

පුතා ලංකාවට ඇවිත් සිටි ස්විට්සර්ලන්ත ජාතික ගුරුවරියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. අපේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එයා සමඟ විවාහවීමට පුතා ලබන මාසේ ඔස්ට්‍රියාවට යන්නයි හිටියේ.

කළුතර තොටමුණ හා බේරුවල හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ ඉකුත් 18 වැනි දා දහවල් පැවැති තම පුතාගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔහු මෙසේ ද කීය.

මේ සිද්ධිය වූ 17 වැනිදා අලුයම 1.30ට පමණ මා නිවසේ නිදා සිටින විට මගේ බිරිඳ හා බාල පුතා හයියෙන් කතා කරන හඬ ඇසුණා. මා ඒ ගැන විමසූ විට ‘අයියව හැපිලා’ කියලා බාල පුතා කිව්වා.

මා පවුලේ අය සමඟ සිද්ධිය වූ ස්ථානයට යනවිට පුතාව බේරුවල රෝහලට ගෙන ගොස් තිබුණා. එතැනින් නාගොඩ රෝහලට ගෙන ගොස් තිබුණා. අප එහි යනවිට පුතා දැඩි සත්කාර ඒකකයේ සිටියා. අලුයම 2.30ට පමණ ඔහුව කොළඹ මහ රෝහලට යැව්වා. උදේ ආපසු නාගොඩට ගෙනාවා.

එහිදී වෛද්‍යවරියක් මට කිව්වා පුතාගේ මොළේ මිය ගොස් ඇති බව. ඒ නිසා ජීවත් කරන්න බැහැ කිව්වා. පුතාගේ අවයව පරිත්‍යාග කරන්න කැමැතිද කියලා මගෙන් ඇහුවා. අප ඊට කැමැති වුණා. මෙම අනතුර හේතුවෙන් පුතා මිය යන්නට ඇතැයි මා විශ්‍වාස කරනවා.

මෙහිදී හොරණ පරගස්තොට මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි විදාන කංකානම්ගේ සමන්ත (අවු. 37) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීය.

මා මෙම අනතුරට අදාළ ‘ප්‍රයිම් මුවර්’ රථයේ රියැදුරු ලෙස කටයුතු කරනවා. 16 වැනි දා රාත්‍රී 10.45ට පමණ මා සිමෙන්ති කොට්ට 900ක් පටවා ගත් වාහනය ගාල්ල ‘හොල්සිම්’ සිමෙන්ති ෆැක්ටරියේ සිට කැලණිය සේදවත්ත ගබඩාව බලා ධාවනය කළා. මගේ වේගය පැයට කිලෝ මීටර් 40-45ත් පමණ ඇති. අපේ වේගය ජී.පී.එස්. උපකරණ මගින් ආයතනය පරීක්ෂා කරනවා.

අපේ වාහනය අළුත්ගම පසු කර ඉදිරියට යනවිට මාරගහ හංදියට මීටර 200ක් පමණ තිබියදී පාර අයිනේ තුන් දෙනෙක් කතා කරමින් සිටියා. අනෙක් අය ‘අයින් වෙන්න’ කියා කෑ ගසද්දී එක් අයෙක් මගේ වාහනයට මීටර් 10ක් පමණ තිබියදී පාර හරහා පැන්නා.

මා තිරිංග ක්‍රියා කළත් ඔහු වාහනයේ ඉදිරිපස හැපී වාහනය ඉදිරියේ වැටුණා. මගේ වාහනයේ ඉදිරි දකුණු පස රෝදය ඔහුගේ කකුල් දෙක ළඟ නතර වී තිබුණා.

මා තුවාලකරුව ඉස්සුවා. ඔහු සමඟ සිටි අයවත් මට උදව්වට ආවේ නැහැ. පාරේ ගිය ත්‍රීවීල් 4-5ක්ම නතර කළත් මොහුව රෝහලට ගෙන යෑම ප්‍රතික්ෂේප කර යන්න ගියා. මෝටර් රථ කීපයකුත් මොහුව රෝහලට ගෙන යාම ප්‍රතික්ෂේප කර යන්න ගියා.

එතැනට ආ තවත් අයෙකු ‘බලෙන් හරි ත්‍රීවීල් එකක් නවත්වා ගමු’ කිව්වා. ඒ අනුව නවතා ගත් ත්‍රීරෝද රථයෙන් මොහුව බේරුවල රෝහලට යැව්වා. පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මා රෝහලට ගියේ නැහැ.

මෙහිදී මියගිය සුරේෂ්ගේ සොහොයුරු පහළගේ දිනේෂ් අබේගුණවර්ධන ද (අවු. 24) සාක්ෂි දුන්නේය.

මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.එල්.එල්. ජයසිංහ මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය හදිසි අනතුරක් හේතුවෙන් මොළයට රුධිරය වහනය වීම හා මොළය ඉදිමීම යන කරුණු මත සිදු වූ මරණයක් බව නිගමනය කරන ලදී.

කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරය අසල දෑසේ කඳුළු පුරවාගෙන සිටි මියගිය සුරේෂ්ගේ පියා වන පද්මසිරි නම් වූ සිව්දරු පියා සමඟ අපි තවත් වචනයක් දෙකක් කතා කළෙමු.

මගේ පුතා නැති වෙච්ච එක ගැන මට දුකයි. ඒත් එයා නිසා තව කීප දෙනෙක් ජීවත් වෙනවා කියලා හිත හදාගන්න පුළුවන්. පුතාගේ අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත ඉල්ලලා අපෙන් අත්සන් ගන්න නෝනලා මහත්තුරු අපේ ගෙදරටම ආවා. මම ඒ අයගෙන් ඉල්ලීමක් කළා. ඒ මගේ පුතාගේ අවයවවලින් ජීවත් වන අය අපට පෙන්වන්න කියලා. අපේ හිත හදාගන්න ඒ අය අපට ඒ උදව්ව කරාවි කියලා මම හිතනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!