Gossip

එහෙන් මෙහෙන් අහුලාගත් නළු නිළියන්ට විශාල ගෙවීම් ලැබෙනවා -අඩු මුදලකට විකිණෙනවාට වඩා නොමි‍ලේ රඟපාන එක මට නම්බුවක් – දුලීකා මාරපන

දුලීකා දැන් කලාවෙන් ටිකක් ඈත්වෙලා නේද ඉන්නේ?
අ‍පොයි නැහැ. පහුගිය කා‍ලේ මම ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයත් එක්ක දීර්ඝ යුරෝපා සංචාරයක යෙදුණා. ඒ නිසා අලුත් ආරාධනා කිසිවක් බාරගන්න බැරිවුණා. මම කලින් රංගන දායකත්වය ලබාදීපු චිත්‍රපට හෝ ටෙලි නාට්‍යත් පසුගිය කා‍ලේ ප්‍රේක්ෂකයන් හමුවට ආවේ නැහැ. ඒ නිසා වෙන්න ඇති මම දැන් කලාවෙන් ඈත්වෙලා කියලා සමහරු හිතෙනවා ඇත්තේ.

වේදිකාවේදී ඔබ කාලයක් තිස්සේ ලෝරන්ස්ගේ මනමාලි නාට්‍යයටම කොටුවෙලා කියලා කීවොත්?
ලෝරන්ස්ගේ මනමාලි කියන්නේ මගේ සැමියා සුජීව ප්‍රියලාල්ගේ නාට්‍ය නිර්මාණයක්. වසර හතරක් තුළ ලෝරන්ස්ගේ මනමාලි මේ වෙනකොට ඉතාම සාර්ථක ගමනක් ඇවිල්ලයි තියෙන්නේ. මේ වෙනකොට නාට්‍යයේ දර්ශන වාර 371ක් පවත්වලා තියෙනවා. නාට්‍යය වේදිකාගත කළා දැන් ඇති කියලා අපට හිතුණත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු අසීමිත ප්‍රතිචාර නිසාම අපට ඒ දේ කරන්න බැරිවුණා. ලෝරන්ස්ගේ මනමාලිට ලැබෙන මේ ප්‍රතිචාර ගැන හුඟක් සතුටුයි. ළඟදීම අලුත් නාට්‍යයක් වේදිකාවට ගේන්නත් බලා‍පොරොත්තුවක් අපේ හිතේ තියෙනවා. ඒ ගැන වැඩිදුර විස්තර පසුව කියන්නම්.

ඔබත් සුජීවත් එකතුවෙලා නිර්මාණය කළ ‘සුපර්ණා’ චිත්‍රපටයට මොකද වුණේ?
‘සුපර්ණා’ චිත්‍රපටයේ වැඩ නිම කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. එය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකටම ඉදිරිපත් කරන්න අපට පුළුවන්කම ලැබුණා. චිත්‍රපටයෙන් කතාබහ කරන්නේ ජාන මංකොල්ලය ගැනයි. මම හිතන්නේ ඒ තේමාව වෙන කවරදාටත් වඩා අද අපේ රටට හුඟක් ගැළපෙනවා. ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙන ඕනෑම වෙලාවක ‘සුපර්ණා’ තිරයට ගේන්න අපි සූදානම්.

‘සුපර්ණා’ චිත්‍රපටය වෙනුවෙන් ඔබ හිසත් බූ ගෑවා. ඒ කරපු කැපකිරීමේ හැටියට චිත්‍රපටය ගැන ලොකු ලොකු බලා‍පොරොත්තු ඔබ තුළ ඇති නේද?
චිත්‍රපට වෙනුවෙන් මම අදටත් විවිධ කැපකිරීම් කරනවා. ඒත් මම ඔය කරපු දේ කැප කිරීමක් විදිහටම හඳුන්වන්න මම කැමති නැහැ. තමන් රඟපාන මේ චරිතය සඳහා අධ්‍යක්ෂවරයා බලා‍පොරාත්තු වෙන හැඩය ලබාදීම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විදිහට අපි කළ යුතුම දෙයක්. එතනදී අධ්‍යක්ෂවරයා කීවොත් හිස බූ ගාන්න කියලා අපි ඒ දේ කළ යුතුයි. මම රඟපාන චරිතයට සාධාරණයක් ඉටුකිරීම සඳහා ඒ වෙලාවේ කළ යුතුව තිබුණ දේ තමයි මම කළේ. ‘සුපර්ණා’ වෙනුවෙන් හිස බූ ගාපු දවස්වල ලැබුණු සමහර ආරාධනා මට ප්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වුණා. මොකද මම කැමති නෑ විග් එකක් දාගෙන රඟපාන්න. දැන්නම් මගේ කොණ්ඩය කලින් වගේම වැවිලයි තියෙන්නේ.

අපේ නළු නිළියන්ගේ වෙහෙස මහන්සියට සතුටු වෙන්න පුළුවන් වෙන විදිහේ ගෙවීමක් ඔවුන්ට ලැබෙනවා කියන්න පුළුවන්ද?
ඒ ගැන නම් කියන්න හරිම කනගාටුයි. අද සමහර ප්‍රවීණ රංගන ශිල්පීන් ඉතාම අඩු මුදලට රඟපාද්දී එහෙන් මෙහෙන් අහුලාගත් නළු නිළියන්ට විශාල ගෙවීම් ලැබෙනවා. මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. අපේ කලාවට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන ස්ථාවරයේ මම හැමදාමත් ඉන්නේ ඒ නිසයි. එහෙම තිබුණානම් නළු නිළියන් වර්ග කිරීමකට ලක් කරලා ඔවුන් වෙනුවෙන් නිශ්චිත වටිනාකමක් නියම කරන්න පුළුවන්.

ඔය කියන විදිහට ඔබ නම් කවදාවත් අඩු මුදලට රඟපාන්නේ නැති හැඩයි?
අ‍පොයි නැහැ. රංගන ශිල්පිනියක් විදියට මට නිශ්චිත වටිනාකමක් තියෙනවා. ඒ අනුව මම නියම කරගන්නා මුදලට අඩුවෙන් කවදාවත් මම රඟපාන්න යන්නේ නැහැ. අනික හැමෝම දන්නවා මම රුපියල් පන්සීයක් ගත්තොත් ඒ වෙනුවෙන් පන්දාහක වැඩ කරන ශිල්පිනියක් බව. හැබැයි යාළු මිත්‍රකම් වගේ විවිධ හේතුන් මත මම ඕනෑතරම් නොමි‍ලේ රඟපාලා තියෙනවා. මොකද අඩු මුදලකට විකිණෙනවාට වඩා නොමි‍ලේ රඟපාන එක මට නම්බුවක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!