Gossip

එයා මගේ පෙම්වතිය වෙන්න කලිනුයි මම නළුවෙක් වුණේ – පුබුදු චතුරංග

පුබුදු චතුරංග කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්. ඒවගේම ඔහු දායක වුණු සිනමා නිර්මාණවලටද ඉහළ ප්‍රතිචාර හිමිවුණා. ඒවගේම පසුගිය දවස්වල පුබුදු ගැන අලුත් කතාබහක් ඇතිවුණා. ඒ සෝමරත්න දිසානායකගේ “ජංගි හොරා” චිත්‍රපටය ගැන මාධ්‍යයට හෙළි කිරීමත් සමගයි. ඉතින් මේ ගැන වගේම පුබුදුගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

බොහෝ විට රිදී තිරයේ පෙම්වතා විදිහට දැකපු පුබුදුට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වෙනස්ම විදිහේ අභියෝගයක් ලබා දුන්නා කියලා ආරංචියි?
ඔව්. සෝමරත්න දිසානායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන එක මට ගොඩක් විශේෂ අත්දැකීමක් වුණා. නමුත් ඒ විතරක් ‍නෙවෙයි එහි තිබෙන විශේෂත්වය. අන්ඩර් පෑන්ට්ස් තීෆ් චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණෙත් වෙනස් විදිහේ චරිතයක්.

චිත්‍රපටයෙන් කියැවෙන්නේ අමුතුම විදිහේ හොරෙක් ගැනයි කීවොත් නිවැරදි නේද?
හොරෙක් කිව්වට ඔහු හොරෙක්මත් ‍නෙවෙයි. ඔහු එක්තරා මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක්. ඒ වගේම ඔහු සංගීතඥයෙක්. තමන්ගේ මානසික ව්‍යාධිය නිසා මේ තරුණයා යට ඇඳුම් හොරකම් කරන්නත් පෙළඹෙනවා.

මේ විදිහේ වෙනස් චරිත බාරගනිද්දී ඒ ගැන දෙපාරක් හිතන්නේ නැද්ද?
වැඩිපුර ඒ ගැන කතා බහ නොකෙරුනාට මේ වගේ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය සමාජයේ ඉන්නවා. රංගන ශිල්පියෙක් විදිහට සමාජයේ ජීවත් වන චරිතම තමයි අපි ප්‍රති නිර්මාණය කරන්නේ. අපේ රඟපෑම් දැකලාවත්, විවිධ අඩුපාඩු තියෙන අය ඒවා නිවැරදි කරගන්නවා නම් ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ.

වෙනස් විදිහේ චරිත තෝරා ගනිද්දී පෙම්වතියගෙන් එහෙම බලපෑමක් නැද්ද?
අ‍පොයි නෑ. මොකද, ඇය මගේ පෙම්වතිය වෙන්න කලින්නේ මම නළුවෙක් වුණේ.

මේ දිනවල තිරගත වන සීමා නෑ ආකාසේ චිත්‍රපටයෙන් නම් පුබුදු සම්ප්‍රදායික පෙම්වතා විදිහටමයි නේද ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ?
එහෙම කියන්න බෑ. ඒක බොහොම සංකීර්ණ මනෝ භාවයකින් යුත් පෙම්වතකුගේ චරිතයක්. ඒ විතරක් ‍නෙවෙයි ඒ චිත්‍රපටයෙනුත් සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙනවා.

සිනමාවෙන් වැඩිපුර ජනප්‍රිය වුණාට ඔබ වේදිකාවත් අමතක නොකළ නළුවෙක්?
ඔව්. නරි බුරති, ජයසිරිට පිස්සු සහ ඒකා සාක්කුවේ නමැති වේදිකා නාට්‍ය තුනත් එක්ක මම මේ දිනවල රට වටේ යනවා.

වේදිකා නාට්‍ය වෙනුවෙන් කළ යුතු කැපවීම සහ වැය කළ යුතු කාලය වැඩි වීම වගේ හේතු නිසා බොහෝ නළු නිළියන් වේදිකාවේ රැඳෙන්න කැමති නැහැ. ඇයි ඔබ ඊට වඩා වෙනස් මගක යන්නේ?
හුඟක් නළු නිළියෝ එවැනි අදහස් දරන බව ඇත්ත. නමුත් මම විශ්වාස කරන විදිහට රංගන ශිල්පියෙක් තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න වේදිකාවේ අභ්‍යාසය ලබා ගත යුතුයි. වේදිකාවේ රංගනයෙන් ලැබෙන පන්නරය ටෙලි නාට්‍යයවල රඟපාලා ලබාගන්න අමාරුයි. ඒ නිසයි මම වේදිකාවට ගොඩාක් ආදරය කරන්නේ.

මේ දිනවල සිනමාව පැත්තෙන් නියැළි සිටින වැඩ කටයුතු ගැනත් කතා කරමුද?
ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, සහ කුස පබා වැනි ආකර්ෂණීය චිත්‍රපට තිරයට ගෙනා අලංකුලම චිත්‍රපට ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට මේ දිනවල මම දායක වෙනවා. චිත්‍රපටයේ නම ආදර හීනය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඒ විතරක් ‍නෙවෙයි, එහි තිර රචනයත් මගේ. මේ චිත්‍රපටයෙන් ලංකාවේ සිනමා රසිකයන්ට ලබන වසරේදී දැවැන්ත සිනමා අත්දැකීමක් ලබාගත හැකි වෙනවාට සැකයක් නැහැ.

එතකොට පුබුදුගේ පෞද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්නේ කවදාද?
විවාහ මංගලෝත්සවය ලබන වසරේ මුල් භාගයේදී විතර පවත්වන්න මමත් මගේ පෙම්වතියත් මේ වෙන කොට සැලසුම් කරලයි තියෙන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!