Gossip

එදා දැනුණු අපහසුතාවය තාමත් මට මතක් වෙනවා – ලබන අවුරුද්දේ තුන්වැනියෙක් බලාපොරොත්තු වෙනවා – බිමල් ජයකොඩි

බිමල් ජයකොඩි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. විවිධ චරිත හරහා ජනතාව අමතන ඔහු ඔහුගේ අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි

2017 අවුරුද්ද කොහොමද?
අපි ඉතින් කලාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා අවුරුද්ද ගෙවුණා දැනුනේවත් නැහැ. සාමාන්‍ය කියමනක් තියෙනවානේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී කාලය ගෙවිලා ගිහින් කියලා. ඉතින් මටත් ඒ වගේ තමා 2017 අවුරුද්ද. වේගවත් ජීවිතයත් එක්ක 2017 අවුරුද්දේ තිබ්බ වැඩ කොටස කර ගත්තා.

මේ අවුරුද්ද පටන් ගනිද්දී තිබ්බ බලාපොරොත්තු එහෙම මතකද?
මෙහෙමයි, විශේෂ බලාපොරොත්තු කියලා නැහැ. තිබ්බේ මම කරන කලා කටයුතුවලට සාධාරණයක් ඉටුකිරීම සහ පෞද්ගලික ජීවිතේ මට තිබුණු වැඩ කටයුතු හොඳින් කර ගන්න එක.

ඒවා කොයි තරම් දුරට ඉටු කරගන්න පුළුවන් වුණාද?
මම සමහර දේවල්වලට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් කර ගන්න පුළුවන් වුණා. 100ට 100ක්ම නෙවෙයි නමුත් ගොඩක් දුරට ඒවා ඉටු කරගන්න මට පුළුවන් වුණා. ඉතින් 2017 මට සාර්ථක අවුරුද්දක් කියලා කියන්න පුළුවන්.

මේ අවුරුද්දෙන් ඊළඟ අවුරුද්දට අරන් යන බලාපොරොත්තු තියෙනවා ද?
මෙහෙමයි, මේ අවුරුද්දේ මම ඉෂ්ඨ කර ගන්න තිබ්බ බලාපොරොත්තු අතරින් එකක් තමා මේ ඉන්න නිවහනට අමතරව නිවසක් හදා ගන්න එක. ඒකට මට මේ අවුරුද්ද ඇතුළත කරගන්න ඕන ටික කරගත්තා. ඊට අමතරව ඒකේ ඊළග අවුරුද්දේ කරගන්න තියෙන වැඩ ටික තියෙනවා. ඒ වගේම තමා මේ අවුරුද්දේ මම වැඩ ටිකක් තෝරා බේරාගෙන කළේ. ඉතින් මේ අවුරුද්දේ නියැලුණු නිර්මාණත් එක්ක ඒවා දැකලා ඒ හරහා මට ඊළග අවුරුද්දේ අලුත් කලා කටයුතු කිහිපයක් සූදානම් වෙමින් තියෙනවා.

2017 අවුරුද්දේ අලුතින් ජීවිතයට එකතු වුණ දේවල් මොනවද?
කලා කටයුතු වලින් ගත්තම මගේම කියලා ගීතයක රූප රචනාවක් කළා. ඒ වගේම මේ අවුරුද්දේ මම කරදරයක් නැතිව ජීවත් වුණා. ඒ කියන්නේ මට කරදරයකුත් නැහැ. මගෙන් කාටවත් කරදරයකුත් නැහැ. ඒ ගැනත් තියෙන්නේ නිහතමානී සතුටක්.

මඟහැරුණු දේවල් සහ ඒ තුළින් සිතට දුකක් තියෙන දේවල් තියෙනවා ද?
මෙහෙමයි, අඩු වැඩි වශයෙන් පුංචි පුංචි දේවල් දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් ආපහු බලද්දී අපරාදේ මේක මීට වඩා හොඳට කරන්න තිබ්බා කියන එක. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්, ඕනෙම පුද්ගලයෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ඒවා හැබැයි ජීවිතේ ඉදිරියට අරන් යන්න ඕනේ වෙන දුක් වන කාරණා නම් නෙවෙයි. 2017 අවුරුද්ද මම ගොඩක් හරි තීරණ ගත්ත අවුරුද්දක්.

ක්ෂේත්‍රය තුළදී හරි එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතය තුළ හරි හමුවුණු විශේෂිත අය ඉන්නවා ද?අපි ඉන්න ක්ෂේත්‍රය තුළ හැමදාමත් අපිට අලුත් අය මුණගැහෙනවා. අපි නිර්මාණකරණයේදීත් නිරන්තරයෙන් අලුත් අය එක්ක වැඩ කරනවා. විශේෂිත දේ තමා අපේ නිර්මාණ රස විඳින ප්‍රේක්ෂකාගාරය දවසින් දවස අලුත් වෙනවා. ටිකක් මම කලාත්මකයි කියන පැත්තේ වැඩවල වැඩිපුර හිටිය කෙනෙක් විදියට මට හිටිය ප්‍රේක්ෂකාගාරය වඩා වැඩි ප්‍රේක්ෂකාගාරයක් ලැබුණා.

2017 තුළ ලැබුණු නිර්මාණ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?
ඒක ගැන නම් ඉතින් අර හැමදාමත් තියෙනවා වගේ 100ට 100ක් තෘප්තිමත් නොවුණත් මම හිතන්නේ මම සාර්ථකයි කියලා. මට ලැබෙන ප්‍රතිචාර එක්ක මට එහෙම හිතෙනවා. ඒ වගේම තමා 2017 අවුරුද්ද මට තව පැත්තකින් සුවිශේෂී වෙනවා. ඒ තමා මම රඟපෑ චිත්‍රපට තුළින් මේ අවුරුද්දේ තිබ්බ සම්මාන උළෙලවල්වලදී හොඳම නළුවාට සහ හොඳම සහය නළුවාට මම නිර්දේශ වුණා. ඉතින් ඒකත් මම හිතනවා ඒ මේ අවුරුද්ද වගේම ඊට කලින් (2016) අවුරුද්ද සාර්ථකව පසු කිරීමේ ප්‍රතිඵල කියලා. එතකොට මේ අවුරුද්දෙත් මම දායක වුණු නිර්මාණවල ප්‍රතිඵල බලන්න වෙන්නේ ලබන අවුරුද්දේ. මේක චක්‍රයක් වගේ දෙයක්. සමස්තයක් විදියට ගත්තොත් මම පසුතැවෙන ප්‍රමාණයට වඩා සතුටු වන ප්‍රමාණය වැඩියි.

මේ අවුරුද්දේ වැඩියෙන්ම අපහසුතාවට පත් වෙච්ච අවස්ථාවක් තියෙනවා ද?
තියෙනවා. ඒක සම්බන්ධයෙන් නම් මම කියන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ තමා මේ අවුරුද්දේ මම නර්තන ප්‍රසංගයකට සහභාගී වුණා. එදා දැනුණු අපහසුතාවය තාමත් මට මතක් වෙනවා. හැබැයි ඉතින් මම ඒකත් මේ අවුරුද්දේ සාර්ථක පියවරක් විදියට දකිනවා. මම මෙතෙක් ඉදිරිපත් නොවුණු අවස්ථාවකට මම ඉදිරිපත් වුණා. ඉතින් එතකොට තමා මට දැනුණේ මීට වඩා ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඒ පියවර තබන්න ඕනේ කියන එක. කොහොමත් මම ප්‍රසිද්ධ වේදිකාවේ ඉතින් නර්තනයට නම් ඒ තරම් දක්ෂකම් දක්වන කෙනෙක් නෙවෙයි.

2017 අවුරුද්ද ඉතිරි කළ අමතක නොවන මතකයන් මොනවද?
මම කනගාටු වෙන සිදුවීම් අඩුයි. මම බොහොම කල්පනාවෙන් දෙපාරක් හිතලා තමා හැම මොහොතකම ජීවත් වෙන්නේ. ඒක ඉතින් වාසනාව තමා. මම විශ්වාස කරනවා ඒ වාසනාව මට තියෙනවා කියලා.

අර අලුතින් කළා කිව්ව සින්දුව රසිකයින් අතරට තාම දුන්නේ නැත්තේ. තවම ඒකට සුදුසු වෙලාව ආවේ නැති නිසා ද?
අනේ නැහැ. මේක වෙන්න ඇති හොඳම වෙලාව. මම හැමවෙලාවෙම අර කියන පුංචි පුංචි අතපසුවීම් විතරයි මට තියෙන්නේ කියල මම හිත හදා ගන්නෙත් මේ නිසා වෙන්න ඇති. ඒකෙ යම් ප්‍රමාදයක් තිබ්බා. මට ඒකෙ පද රචනය ලැබිලා සංගීතවත් කළේ ගිය අවුරුද්දේ මැද වගේ. ඊට පස්සේ ඒකට රෑප රචනාවක් කළේ මේ අවුරුද්දේ මැද. දැන් ඒකෙ අවසන් වතාවට සංගීත සංයෝජනය කරලා ඉවරයක් වුණේ මේ වසර අග. හැබැයි මම ඉතින් ඒක ඊළඟ අවුරුද්දට අරන් යන්නේ නම් නැහැ. මේ දෙසැම්බර් මාසේ ඒක අනිවාර්යෙන්ම මගේ රසික රසිකාවියන්ට අහන්න ලැබෙයි.

අවසාන වශයෙන් කියන්නකෝ 2018 බලාපොරොත්තු?
2018 දැනට කියල තියෙන බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. එකක් තමා අවුරුද්දේ මුලම ජනවාරි මාසේ වැඩ පටන් ගන්න අරුණ ජයවර්ධනගේ අලුත් චිත්‍රපටයේ මට ලැබුණු චරිතය ඒක මෙතෙක් කල් කරපු හැම චරිතයකම පොඩි පොඩි ලක්ෂණ තියෙන වෙනස් වූ චරිතයක්. ඒ චරිතය මතක හිටින විශ්වසනීය චරිතයක් බවට පත් කරන එක. ඒ වගේම තමා මගේ පෞද්ගලික ජීවිතය ගත්තම මමයි සුජානියි දෙන්නම අපි අපේ තුන්වැනියා බලාපොරොත්තු වෙනවා. ඒකත් මේ 2018 අවුරුද්ද තුළ සාක්ෂාත් වෙයි කියන බොහොම විශ්වසනීය බලාපොරොත්තුව ඇතුව ඉන්නවා. ඒ එක්කම ඉතින් මගේ මවුපියන් එක්ක සහ මගේ නෑදෑයින් සහ මිතුරන් එක්ක මේ සමාජයේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!