Gossip

“එදා උදේ ඔහු මත්පැන් පානය කළා. කාමරේ දොර වහගත්තා.. පුතේ පුතේ කියලා දොරට තට්ටු කළා” – රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ මරණය ගැන ඇත්ත කතාව මෙන්න

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මරණය ගැන මේ වෙද්දි ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.
මේ ඔහුගේ මරණය ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ ලිපියක්.

නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි සිනහව, මුහුණ පුරා වැවූ කෙටි රැවුල ඔහුගේ රූ සොබාවට ගෙන දුන්නේ අමුතුම කලඑළියකි. එම නිසා යහළුවන් අතර ඔහු කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්විය. පාසල් සමයේ සිට බොහෝ අය ඔහුට පැවසුවේ “උඹට තියෙන්නේ නළුවෙකුගේ මුහුණක්‌” කියා ය. ඒ තරමටම ඔහු ලස්‌සන ප්‍රියමනාප අයෙකු විය.

කිසිවෙකුට නොකීවත් නළුවකු වීමේ ආශාව ඔහුගේ සිත තුළ පැළපැදියම් වී තිබිණි. ඔහු පාසල් ගියේ මහනුවර ධර්මරාජ විදුහලටය. එම විදුහලේ පාසල් නාට්‍ය කණ්‌ඩායමේ ඔහු ප්‍රබල චරිතයක්‌ විය. උපතින්ම රැගෙන ආ සුන්දරත්වයට අමතරව රඟපෑමේ හැකියාවක්‌ද ඔහු තුළ තිබිණි.

නොසිතූ මොහොතක පුංචි තිරයේ සුළු චරිතයකට රඟපෑමට අවස්‌ථාවක්‌ ඔහුට හිමිවිය. ලද එම අවස්‌ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තේය. එම නිසා එහි ප්‍රතිඵල ඔහුට ඉක්‌මනින්ම ලැබිණි. කලක්‌ යද්දී ඔහු මෙරට ජනප්‍රිය ටෙලි නළුවන්ගේ ලැයිස්‌තුවේ ඉහළින්ම සිටියේය. එතැනින් නොනැවතුණු ඔහු රිදී තිරයද ජය ගත්තේය.

විටෙක ඔහු පෙම්වතෙකි. දුෂ්ටයෙකි. තවත් විටෙක විහිළුකාරයෙකි. ඒ ඔහුගේ රංගන ජීවිතයයි. ලැබුණු සෑම චරිතයක්‌ම හැකි උපරිම අයුරින් ඔහු රඟපෑවේය. බොහෝ අධ්‍යක්‍ෂවරු පවා පැවසුවේ ලැබුණු සෑම චරිතයකටම ඔහු සාධාරණය ඉටුකළා කියාය. එම නිසා මෙරට ටෙලි සහ චිත්‍රපටි රසික රසිකාවියන්ගේ හදවත්වල ඔහු නිරන්තරයෙන්ම රැඳී සිටියහ. රඟපෑමට අමතරව ගීත ගායනා කිරීමේ හැකියාවක්‌ද ඔහුට තිබිණි. එම නිසා කලක්‌ ඔහු රඟපෑම අතහැර ගීත ගායනා කිරීමටද යොමුවිය.

කාලයාගේ ඇවෑමෙන් සියල්ල වෙනස්‌ විය. එය ලෝක න්‍යායකි. මොහුටද එය පොදුවිය. කාලයත් සමඟ ඔහු පරයමින් නවක නළුවෝ කරළියට පැමිණියහ. එම නිසා පෙර තිබූ ජනප්‍රියත්වය ඔහුට නොලැබිණි. එහෙත් කිසි දෙයකින් ඔහු දුක්‌ නොවීය. ලැබෙන සියලු දේ ඔහු සතුටින් බාර ගත්තේය.

පසුගිය වසර කිහිපය තුළ බොහෝ දෙනෙක්‌ ඔහු ගැන කතා නොකළහ. අවම වශයෙන් ඔහු ජීවත් වූවාද නැද්ද යන්න පිළිබඳවත් කිසිවෙක්‌ දැන නොසිටියේය. යළිත් එක්‌වරම ඔහු ගැන බොහෝ අය කතා කතා කිරීමට පටන් ගත්හ. ඒ පසුගිය 23 වැනිදා සිටයි.

එලෙස කතා කිරීමට පටන් ගත්තේ රංගනය ගැන නොව ඔහුගේ අවාසනාවන්ත මරණය ගැනයි. මෙතෙක්‌ සඳහන් කළ ඔහු මෙරට ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේය.

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ නුවර අනිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දැනට වසර කිහිපයකට ඉහත විවාහ විය. ඒ ඔහු පුංචි තිරයේ ජනප්‍රියව සිටි අවධියේය. ඔහු විවාහ වූයේ කලක්‌ තමා ආදරය කළ තරුණියක සමගයි. විවාහයෙන් වසරකට පමණ පසු ඔවුන්ගේ පුංචි කැදැල්ලට දියණියක්‌ද එක්‌විය. කලක්‌ ඔවුහු සතුටින් පවුල් ජීවිතය ගත කළහ.

එලෙස කලක්‌ ගතවිය. ඉන්දිකගේ ජීවිතයෙන් සතුට පලා ගියේය. එන්න එන්නම ඔහුට උරුම වූයේ දුකම පමණි. තම ආදරණීය බිරිඳ සහ එකම දුව විදෙස්‌ රටක පදිංචියට ගියහ. ඇය තම දියණිය සමග එලෙස ගියේ දෙදෙනා අතර ඇතිවූ විරසකයක්‌ නිසාද යන්න අපි හරියාකාරව නොදන්නෙමු. එහෙත් ඇය ඉන්දිකව අතහැර තම දියණිය සමග ගියාය. ඇය එවැනි දරුණු තීරණයක්‌ ගන්න ඇත්තේ ඉවසන්න බැරිම තැන වන්නට ඇත.

බිරිඳ සහ දියණිය තමන් අතැර ගිය පසු ඉන්දික තම පියා සමග නුවර අනිවත්ත තම නිවසේ ජීවත් වූය. එම කාල වකවානුවත් සමඟ ඉන්දික පුංචි තිරයෙන්ද වීසි වී ගියේය. වසර කිහිපයක්‌ තුළ රඟපෑමට කිසිදු නාට්‍යයක්‌ ඔහුට නොලැබිණි. රඟපෑම අතහැරිය ඔහු ගායකයකු වශයෙන් ගීත ගායනා කිරීමට පටන් ගත්තේය. එහෙත් එයද ඔහු සිතූ තරම් සාර්ථක නොවීය.

ඉන්දිකගේ තවත් එක්‌ ලක්‍ෂණයක්‌ තිබිණි. ඒ කිසිදු ප්‍රශ්නයක්‌ කිසිවෙකුටත් නොකීමය. සිතට දරාගත නොහැකි දරුණු ගැටලුවක්‌ වුවද ඔහු තම සිත තුළම සිර කරගෙන සිටියේය. අවම වශයෙන් නිරන්තරයෙන් තමා ළඟ සිටින පියාටද ඔහු කිසිවක්‌ නොකියයි. යමක්‌ කමක්‌ තේරෙන වයසේ සිටම ඔහු එසේය. ඔහු සෑම වේලාවේම සිතනුයේ තමන්ගේ ප්‍රශ්න තමන් විසින්ම විස¹ගත යුතු බවයි.

මොන ප්‍රශ්න ආවත් ඔහු තම යහළු යෙහෙළියන් අමතක නොකළේය. ලද සෑම මොහොතකම ඔවුන් ඇසුරු කළේය. ඔවුන් සමඟ විනෝද විය. ඉන්දික ළඟින්ම ඇසුරු කළ මිතුරන් කිහිප දෙනෙක්‌ සිටියහ. ඔවුන් සමග ගීතයක්‌ ගායනා කරමින් මත්පැන් පොදක්‌ තොල ගෑමටද මොහු දැඩි කැමැත්තක්‌ දැක්‌වූවේය. සමහර විට ඉන්දික තමාගේ සිත තුළ තිබෙන දුක කිසිවකුටත් නොකියා එලෙස යහළුවන් සමග එකතුවී දුක තුරන් කර ගන්නට ඇත. එලෙස ලොවටම සිනාමුසු මුහුණක්‌ පෙන්නුවත් ඉන්දික සිටින්නට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකින් වන්නට ඇත. එය මනාව ඔප්පු වනුයේ දැනට මාස හයකට පමණ ඉහතදීය. ඒ ඔහු කිසියම් ඖෂධ අධි මාත්‍රාවක්‌ පානය කිරීම නිසාය. එහිදී ඔහුට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදුවිය.

දිනය පසුගිය 23 වැනිදාය. ඉන්දිකගේ පියාද නිවසේ සිටියේය. එදින උදෑසන සිට ඔහු මත්පැන් පානය කළේය. ඒ කුමන කරුණක්‌ නිසාද යන්න දන්නේ ඔහුම පමණි. සිය පුතා සමහර දිනවලට එලෙස සිටින නිසා පියා ඒ ගැන වැඩි තැකීමක්‌ නොකළේය.

ඉන්දික තම කාමරයට වැදුණේය. දොර වසා ගත්තේය. තමා ආසම කරන ගීත කිහිපයකට ඉතා ආසාවෙන් සවන් දුන්නේය. ඔහු එදින එම ගීත දමා තිබුණේ අහල පහල ගෙවල්වලට පවා ඇසෙන පරිද්දෙන්ය. ඉන්දික එම මොහොතේ සිටින්නට ඇත්තේ ජීවිතය ගැන කලකිරීමෙන් වන්නට ඇත. ඉතා ශබ්දයෙන් ගීත අසන්නට ඇත්තේද ඒ නිසාම විය යුතුය. ඔහුට තම ආදරණීය පියා, බිරිඳ, දරුවා සහ සියලු හිත මිතුරන් එපා වන්නට ඇත. ජීවිතය ගැන අන්තයටම කලකිරුණ පසු තවදුරටත් ජීවත් වීමේ ආශාව ඔහුගේ සිතේ නැතිවන්නට ඇත. මියගියහොත් ප්‍රශ්න සියල්ලෙන්ම ගැලවිය හැකි යෑයි ඔහු බොහෝ දුරට සිතන්නට ඇත. පියා, බිරිඳ තම ලෙයින් මෙලොව ජනිත වූ එකම දියණිය සහ හිත මිතුරන් අනේක වාරයක්‌ ඔහුට මතක්‌ වන්නට ඇත. එහෙත් තවදුරටත් ජීවත්වන්නට ඔහු කැමැති නොවීය.

ඒකාන්තයෙන්ම ජීවිතය නැති කරගන්නවා යෑයි ඔහු සිතන්නට ඇති. කාමරයේ සිටියේ ඔහුම පමණි. සමහර විට මරුවාද ඔහු ආසන්නයේ රැඳී සිටින්නට ඇත. ඉන්දික සියල්ලන්ගෙන්ම සමුගෙන ජීවිතය නැති කරගන්නට ඇත. ඒ පිළිබඳව සියල්ල දන්නේ මියගිය ඉන්දිකම පමණි.

පැය කිහිපයක්‌ ගතවිය. කාමරය තුළට ගිය ඉන්දිකගෙන් කිසිදු ශබ්දයක්‌ නැත. වෙනදා ඉන්දික දහවල් කාලයේ කාමරයට වී එතෙක්‌ වේලා ගත කරන්නේ නැත. ඉන්දිකගේ පියාටද එය විශාල ප්‍රහේළිකාවක්‌ විය. කිහිප වරක්‌ “පුතේ… පුතේ…” කියා ඔහු කාමරයේ දොරට තට්‌ටු කළේය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොමැත. ඔහුගේ සිතට සියුම් බියක්‌ දැනුණි. දොර කඩා ඔහු කාමරය තුළට ගියේය.

එක්‌වරම දුටු දෙයින් ඔහු තැති ගත්තේය. තත්ත්පර කිහිපයක්‌ ඔහු ගල්ගැසී සිටියේය. පුතා වෙනදා මෙන් නොව කිසිදු හැල හොල්මනක්‌ නොමැතිව වැටී සිටියේය. කුමක්‌ හෝ නපුරු දෙයක්‌ සිදුවී ඇති බව ඔහුට දැණුනි. දරු සෙනෙහස ඉවසා ගැනීමට නොහැකිව ඔහු බෙරිහන් දුන්නේය. එහෙත් පුතාගේ ප්‍රාණය නිරුද්ධ වී ඇතැයි සිහිනෙකින්වත් ඔහු නොසිතුවේය. වහාම තම ආදරණීය පුතාව නුවර මහ රෝහල වෙත ගෙන යැමට ඔහු කටයුතු කළේය. එහෙත් ඒ වන විටත් සියල්ල සිදුවී අවසන්ය. ඉන්දික ගිනිගේ යළි නොඑන ගමන් ගොහින්ය.

ක්‍ෂණිකව රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ මරණය ගැන ෆේස්බුක්‌, සමාජ වෙබ් අඩවි ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්‌සේ ප්‍රචාරය විය. එම නිසා රටම ඒ ගැන දැනගත්හ. බොහෝ අය දක්‍ෂ රංගන ශිල්පියකු මියගියා යෑයි කියමින් දුක්‌වූහ.

මියයැමට පෙර ඉන්දික තවත් එක්‌ දෙයක්‌ කර තිබිණි. එය විශිෂ්ට ගනයේ ක්‍රියාවකි. ඒ ඔහු තම ඇස්‌ ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය වෙත දන්දී තිබීමයි. ඒ වෙනුවෙන් ඔවුන් ඉන්දිකගේ දේහය අසල උපහාර පිණිස පත්‍රිකාවක්‌ද තබා තිබිණි.

මරණ පරීක්‍ෂණයේ දී මියයැමට ආසන්නතම හේතුව තවමත් සොයාගෙන නොමැත. නිල නොලත් ආරංචි මාර්ග පවසනුයේ ඖෂධ අධි මාත්‍රාවක්‌ ලබා ගැනීම නිසා මියගිය බවයි. එහෙත් තවම එය ඔප්පු වී නොමැත. වැඩිදුර පරීක්‍ෂණය සඳහා ඉන්දික ගිනිගේ ගේ සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂක ළඟට යවා තිබේ. තව දින කිහිපයකින් ඒ ගැන වාර්තාවක්‌ ලැබේ. එවිට රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මියගිය ආකාරය ගැන නිවැරැදිව දැනගත හැකිය.

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පසුගිය 26 වැනිදා සවස මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේ දී මිහිදන් කෙරුණි. දේහය මිහිදන් කිරීමට පෙර ඔහුගේ පියා අවමංගල සභාවේදී ඉතා හැඟුම්බර කතාවක්‌ කළේය. ඒ මෙලෙසින්ය.

“දරුවාගේ දේහය පියාගේ කරමතින් ගෙනයැමට සිදුවීම තරම් තවත් දුකක්‌ පියෙකුට මෙලොව නොමැත. ඉන්දික මියගිය දවසේ මටත් ඔහු සමඟ යා හැකිව තිබුණා නම් හොදයි නැතිනම් මගේ ජීවිතය ඔහු වෙනුවෙන් පුදන්නට තිබුණා නම් හොඳයි.”

ඉන්දික ඔබ ඉක්‌මන් වුණා වැඩිය. ජීවිතය ගැන තව බොහෝ කල්පනා කළ යුතුව තිබිණි. එසේ වූවානම් අදටත් ඔබ ජීවතුන් අතරය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!