Gossip

“උසාවියේදී ඇප දෙනවට විරුද්ධ වෙන්න එපා සර්.කාටවත් කියන්න එපා සර්.මං රුපියල් ලක්ෂ පහක් දෙන්නම්.වැඩේ කරලා දෙන්න.” – අන්තවාදීන්ට යට නොවූ හොරොව්පතානේ OIC

පොලිස් නිලධාරින්ට බොහෝ අවස්ථාවල එල්ල වන්නේ චෝදනාය. එහෙත් රටේ නීතිය, සාමය, පමණක් නොව ඕනෑම ව්‍යසනයකදී ආරක්ෂාව වෙනුවෙන් මුලින්ම පෙරට එන්නේ පොලිස් නිලධාරින්ය.
පාස්කු දින ප්‍රහාරයත් සමඟ රටේ විවිධ පෙදෙස්වලින් විවිධ පුවත් මැවේ. මෙයද එවැනි කතාන්දරයකි. ඒ පසුගිය අටවැනිදා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාට අල්ලස් දීමට තැත් කළ අයෙකු අල්ලස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.
පසුගිය 28 වැනිදා සහරාන් නමැති අන්තවාදී ත්‍රස්තවාදියාගේ සගයකු බවට තහවුරු වූ අබ්දුල් මජිඩ් මොහොමඩ් නියාස් නමැත්තා හොරොව්පොතාන, මුක්කරවැව පදිංචි මවුලවිවරයෙකි.
ඔහු පාසල් ගුරුවරයකු ද වෙයි. හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.
උසාවි නියෝගයක් මත දින තුනක් හොරොව්පොතාන පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නැවතත් පසුගිය පළමු වැනිදා කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ අතරේ පසුගිය 30 වැනිදා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණියේ අත්අඩංගුවේ පසුවූ මවුලවිවරයාගේ සහෝදරියගේ පුත්‍රයා වන 26 හැවිරිදි අබ්දුල් ගපුර් මොහොමඩ් ‍සිෆාන් නමැත්තාය.
උපාධිධරයකු වන ඔහු මවුලවිවරයා‍ට පිටරටවලින් ලැබෙන මුදල් යොදා අල්පලා නමැති සංවිධානයෙන් සිදුකරන ව්‍යාපෘතිවල මුදල් පරිපාලනය කළ පුද්ගලයායි.
“සර්… නියාස් මාමා නිදහස් කරලා දෙන්න… මම සර් කියන දෙයක් කරන්නම්… උසාවියේදී ඇප දෙනවට විරුද්ධ වෙන්න එපා සර්… කාටවත් කියන්න එපා සර්… මං රුපියල් ලක්ෂ පහක් දෙන්නම්… වැඩේ කරලා දෙන්න..” සිෆාන් ස්ථානාධිපතිවරයා හමුවේ වැඳ වැටුණේය.
ලක්ෂ පහේ ගතමනාව ගැන කන වැකුණු සැණින් ස්ථානාධිපතිවරයා අදිටන් කරගත්තේ අල්ලස් දීමට තැත් කළ සිෆාන්ට ‘හොඳ පාඩමක්’ ඉගැන්වීමටයි. වහාම අල්ලස් නිලධාරීන් දැනුවත් කළ පොලිස් ස්ථානාධිපතිවරයා හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරි සනත් බණ්ඩාර දැනුවත් කිරීමෙන් පසු වයඹ, උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, අනුරාධපුර නියෝජ්‍ය ‍පොලිස්පති සඳුන්ගහවත්ත සහ අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණගේ උපදෙස් මත සිෆාන් කොටුකර ගැනීමට සූක්ෂ්මව කටයුතු යෙදුවේය.
ඒ අතරේ සිෆාන් නැවතත් පසුගිය පස්වැනිදා හොරොව්පොතාන පොලිසියට පැමිණියේ තම යෝජනාව ස්ථිර කරගැනීමටය.
“සර්…. මගේ යෝජනාවට කැමැතියිනේ… මං එහෙනම් අටවැනිදා පාන්දරම පොලිසියට එනවා… හැබැයි සර් ලක්ෂ දෙකහමාරයි මුලින් දෙන්න පුළුවන්… ඉතුරු ටික වැඩේ ඉවරවුණාම..”
ඔහුට ප්‍රතිචාර නොදැක්වූ ස්ථානාධිපතිවරයා, තමා හමුවීමට අටවැනිදා සිෆාන් එන බව කියමින් වැටලීමට එදිනට පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරින්ට දැන්වීය.
ඒ අනුව පසුගිය අටවැනිදා පෙරවරුවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේදීම අන්තවාදය, ත්‍රස්තවාදය වපුරන තවත් අන්තවාදියකු කොටුකර ගැනීමට හැකි වූයේ හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා නිසි ලෙස රාජකාරිය ඉටුකිරීම නිසාය.
පොලිස් ස්ථානාධිපතිවරයා මුදලට ගිජු නොවී විමර්ශන ඉදිරියට ගෙනයෑම නිසා අන්තවාදය වැපිරූ මවුලවිවරයාගේ තවත් සහෝදරයකු වූ අබ්දුල් මජිඩ් මොහොමඩ් නසාර් නමැත්තාද කොටුකර ගැනීමට හැකිවූයේ සහරාන්ගේ දේශන ඇතුළත් සීඩී තැටි කිහිපයක්ද සමඟිනි.
මීට වසර කීපයකට පෙරදීද පොලිස් පරීක්ෂක රොෂාන් සංජීවට අල්ලසක් දීමට තැත් කළ මිනීමරුවකුට වැඩ වැරැදුණේ ස්ථානාධිපතිවරයා මුදලට ගිජු නොවී අපරාධකාරයා නීතියේ රැහැනට කොටුකර දීම නිසාය.
“ඒ සිද්ධිය වුණේ 2015 වර්ෂයේ… මං එතකොට සපුගස්කන්ද ස්ථානාධිපතිවරයා. වත්තල මාබෝලේ මිනීමැරුමක් වෙලා තිබුණා. එහි පරීක්ෂණ වත්තල පොලිසියෙන් කළේ. පසුව විමර්ශන මට පැවැරුණා. එම ඝාතනයට අදාළ සැකකරුවන් කිහිප දෙනෙක්ම කොටුවුණා. ප්‍රධාන සැකකරු වුණේ වත්තල උපනගරාධිපතිවරයා.
ඔහු රිමාන්ඩ් කරලා ඉඳිද්දි දවසක් මං ගියා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට බන්ධනාගාරයට. මිනිහා එදා මට යෝජනා කළා, මාව… රිලීස් කරන්න‍‍… ලක්ෂ හතළිහක් දෙන්නම් කියා. ඇඩ්වාන්ස් ලෙස ලක්ෂ 15ක් දෙන්නම්. මහර උසාවිය ළඟට සල්ලි ගෙනත් දෙන්නම් කියලත් කිව්වා.
අන්තිමට උසාවිදා මිනිහා එයාගේ මස්සිනායි, මල්ලිවයි එව්වා මුදලත් සමඟ මහර අධිකරණ භූමියේ රථගාලට. මං ඒ වන විට අල්ලස් නිලධාරින්ට සියල්ල පවසලා තිබුණේ. දෙන්නම එදා අල්ලස් නිලධාරින්ට කොටුවුණා. පස්සෙ උපනගරාධිපතිවරයා මහාධිකරණයේදී සියල්ල පිළිගත්තා.”
ස්ථානාධිපතිවරයා සිද්ධිය විස්තර කළේය.
සිය රාජකාරිය නිසි පරිදි ඉටුකරන මෙවැනි නිලධාරින් මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රාජ්‍ය සේවයටම ආදර්ශයකි.
“පොලිසියේ විතරක් නොවෙයි රටේ හැමෝම තමන්ගෙ රාජකාරිය අවංකව නිසි පරිදි ඉටුකළ යුතුයි. මොකද අපි හැමෝම රටේ ජනයාගේ බදු මුදල්වලිනුයි ජීවත්වෙන්නෙ. එම නිසා විශේෂයෙන් පොලිස් නිලධාරින් වුණාම අපි මහජනයාගේ අවශ්‍යතා නිසි ලෙස ඉටුකළ යුතුයි. අපෙන් සිදුවන පොඩි අතපසුවීමකින් රටට මහත් විනාශයක් සිදුවිය හැකියි. ඒ ගැන හැමෝම සිහි තබාගත යුතුයි. එම නිසා මං නැවත නැවතත් මුදලට, වරදානවලට ගිජුකම්පානා නිලධාරින්ට කියන්නෙ රට ගැන හිතන්න කියායි.” ස්ථානාධිපතිවරයා පවසයි.
පොලිස් පරීක්ෂක රෝෂාන් සංජීව යනු මීට කලකට පෙර ජීවිතයේ මහත් ‍ශෝකාන්තයකට මුහුණ දුන් අයෙකි. 2016 වසරේ මැයි 26 වැනිදා දියණියගේ ස්වාමියා අතින් පිහි පහරකට ලක්ව බිරියත් දියණියත් දෙදෙනාම ඔහුට අහිමි විය.ස්ථානාධිපතිවරයා මේ වන විට මියගිය දිය‍ණියගේ කුඩා දරුවා හා දෙවැනි දියණියත් සමඟ දිවි ගෙවන්නේය.
දියණියගේ නොමනා ප්‍රේම සබඳතාවක් නිසා සිදුවූ විවාහයෙන් තම පවුලට අත්වූ ඉරණම මතු තවත් කෙනෙකුට අත් නොවීමට ඔහු අපූරු වැඩසටහනක් දියත් කර ඇත්තේය. හොරොව්පොතාන පොලිස් වසමේ පමණක් නොව රටපුරාම ඉල්ලුමක් තිබෙන එම වැඩසටහන ගැන අප ලියූ විශේෂාංග ලිපියක් පසුගිය ජනවාරි 20 දා සිළුමිණේ පළවිය.
“සාමාන්‍යයෙන් කෙනෙක් තමන් මුහුණ දුන් අභාග්‍යසම්පන්න සහ සමාජය බැහැර කරන අත්දැකීමක් තවත් කෙනෙකු සමඟ බෙදාහදාගන්න කැමැති නැහැ. ඒත් නොමඟ යන එක් දරුවකු හෝ මං මුහුණ දුන් ඛේදවාචකයේ අත්දැකීම ඇසුරෙන් ගලවා ගැනීමට මට අවශ්‍ය වුණා. එය මියගිය මගේ බිරියටත්, දියණියටත් කරන ලොකු පිනක්. නතර වුණු ජීවිතය නැවත පටන්ගෙන මෙවැනි දෙයක් හෝ සිදුකරමින් සමාජයට පිහිටක් වෙන්නට හැකිනම් යන සිතුවිල්ලෙන් මා කටයුතු කරනවා” ඔහු එහිදී කීය.
මෙවැනි රාජ්‍ය නිලධාරින් පොලිස් සේවයට පමණක් නොව සමස්ත සමාජයටම වැඩි වැඩියෙන් අවැසි යුගයකි මේ. එහෙයින් රොෂාන් සංජීව වැනි පොලිස් නිලධාරින් අගය කිරීම සැමගේ යුතුකමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!