Gossip

“උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න ඉඩ තිබ්බේ නැහැ. උඹේ කටේ ඉතුරු වුණු අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කළේ”

ඉන්දිරාජා හස්තියා කියන්නේ අපේ රටේ හැමෝගෙම හදපිරි බැතියෙන් බුහුමන් ලබන පිංවත්ත හස්තිරාජයෙක්.
2006 වසරේ සිට අවසන් රන්දෝලි පෙරහැරේදී දළදා කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා 1953 වසරේදී ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපත ලැබුවා.
පිංඇති හස්තියෙකු ලෙස සැලකෙන නැදුන්ගමුවේ රාජා මහනුවරට පාගමින්නම පැමිණීමද විශේෂත්වයක්.
මේ මතු බුදුවන්නට පෙරුම් පුරනා නැදුන්ගමුවේ රාජා ගැන මුහුණුපොතේ ලියවුණු අපූරු සටහනක්.

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා. එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් වුණා.
වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.
උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු වුණු අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.
අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා.
මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත් උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙයි.
උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්.
ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම”ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න.
ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි” කියපු කළුමාමත් මාරයි. උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුනේ..
කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා. මහ රන්දෝලියට නැකත ලං වෙනවා.
අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා.
නිකන්ම නෙවෙයි.. ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීනම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන. උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි.
මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්.
නැදුන්ගමුව, උඹත් පිං දීපන්..
නීලම්මහර වෙද හාමුදුරුවන්ගේ ඉඳන් හර්ෂ ධර්මවිජය වෙද රාලහාමි වෙනකල් උඹ අද ඉන්න තැන ඉන්න උඹත් එක්ක හිටපු හැමෝටම.
උඹව ඇස් දෙක වගේ බලාගන්න කළු මාමටයි, ඉන්දික අයියටයිත් එක්කම..

-කවිඳු හඳපාන්ගොඩ-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!